සෞඛ්‍යාරක්ෂිත ආහාර නිෂ්පාදනයේ දී ‘ගොවි ජනතාව සතු’ වගකීම් හා යුතුකම් මොනවාද ?

මෙළොව උපන් කවරෙකුට වුවද ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගීකම බව ධම්ම පදයේ දැක්වේ.  නිරෝගීකම යමෙකුගේ ජීවිතයේ සාර්ථක අසාර්ථක බව තීරණය කරනු ලබන ප්‍රබල සාධකයක් වනුයේ එය පවුලේ, නැතිනම් කුටුමුබයේ ආර්ථික මට්ටම තීරණය කරන ප්‍රධාන සාධකයක් වන බැවිනි.

නිතර නිතර රෝගවලට හෝ නිදන්ගත රෝගවලට දිර්ඝ කාලීනව ප්‍රතිකාර ලැබීමට සිදු වීම නිසා  පවුලේ ආදායම ඒ සඳහා වැය කිරීමට සිදුවනවා සේම යම් ආර්ථික වාසියක් ලඟා කර ගත හැකි කාර්යයක නියැලීමට තිබූ කාලය ද අහිමි වී යයි.

නිරෝගීකමට බලපාන විවිධ සාධක අතරින් සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර සඳහා හිමිවනුයේ  ප්‍රධාන ස්ථානයකි.  පෙර නොවූ විරූ ආකාරයෙන් කුඩා ළමුන්ගේ සිට සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් අතර විශේෂයෙන් පිළිකා හා වකුගඩු රෝග තත්ත්වයන් ඇති වීමට හේතු සලකා බැලීමේ දී ආහාරවල හා ජලයේ අඩංගු විවිධ රසායනික ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.

වර්තමානයේ මෙරට නිදන්ගත රෝග වන අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග හා පිළිකා වැනි විවිධ රෝග රැසකට හේතු ලෙස අප ගන්නා සෞඛ්‍යය අනාරක්ෂිත  ආහාර හා ජලය බව හඳුනාගෙන ඇත.  විවිධ පර්යේෂණයන්ට අනුව ශ්‍රී ලාංකික ආයු අපේක්ෂාව අඩු 75 පමණ වූව ද ඉන් සැලකිය යුතු කාලයක් බෝ නොවන රෝග හේතුවෙන් ඇති වන විවිධ සංකුලතා සහිතව දිවි ගෙවීමට සිදු වී ඇත. මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර පරිභෝජනය සිදු කරන රටවල් අතුරින් පළමු තැනට ශ්‍රී ලංකාව පත් ව ඇත.

ආහාර පාන වල සෞඛ්‍යාරක්ෂිත බවට හානි පමුණුවන විවිධ ක්‍රියාකාරකම් දෙස අවධානය යොමු කිරීමේ දී වගා කටයුතුවල දී අවශ්‍ය රසායනික පොහොර මෙන්ම අනෙකුත් කෘෂි රසායනයන් නිවැරදි මාත්‍රාවන් භාවිත කොට, නිවැරදි වේලාවට යෙදිය යුතුය. මන්ද යත් මෙම කෘෂිරසායන ද්‍රව්‍ය සමඟ බැර ලෝහ කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය පසට හා ජලයට එකතු වන බැවිනි. දීර්ඝ කාලයක් තිස්සේ  මෙලෙස එකතු වන රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර හා ජලය භාවිත කිරීම නිසා අදාළ ගොවි ජනතාව මෙන්ම අනෙකුත් පාරිභෝගික ජනතාවට ද දීර්ඝ කාලීනව විවිධ රෝග වලට ගොදුරු වේ. විශේෂයෙන් ම රජරට ප්‍රදේශය ආශ්‍රිතව බහුලව වාර්ථා වන වකුගඩු රෝගය සඳහා මෙය ප්‍රබල හේතුවක් ලෙස බලපා ඇත.    

තව ද මෑත කාලීන කෘෂි පළිබෝධනාශක භාවිතය පිළිබඳව සැලකීමේ දී බෝග සඳහා යම් කිසි රෝග තත්ත්වයක් මතුවීමටත් ප්‍රථම වගාව ආශ්‍රිත තවත් එක් අනිවාර්යය ක්‍රියාකාරකමක් ලෙස කෘෂි රසායන යෙදීම දැකගත හැකිය. එක් එක් අවශ්‍යතාවයට අනුව වඩාත් උචිත පළිබෝධනාශකය භාවිතා කරනවා වෙනුවට විවිධ පළිබෝධනාශක වර්ග කිහිපයක් එකට මිශ්‍ර කර යෙදීම ද සිදුවේ. තවද කෘෂි රසායන තිබූ ඇසුරුම් ක්‍රමවත් ලෙස බැහැර කිරීම ද සිදු නොවේ. අදාළ ඇසුරුම් හා ඉසීමේ යන්ත්‍ර ගංඟා, ඇළ, දොළ ආදියට බැහැර කිරීම, ඒවා තුළ පිරිසිදු කිරීම මඟින් ජලයට විෂ ද්‍රව්‍යයන් එකතු වීමක් සිදු වේ.

මෙවැනි ක්‍රියාකාරකම් නිසා අනවශ්‍ය ලෙස විෂ රසායනික ද්‍රව්‍යයන් පසට හා බෝගයට එක් වීමක් සිදු වේ. අධික  ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීමේ අහිතකර ඵල විපාකයන් ආහාර පරිභෝජනය කරන්නන්ට පමණක් නොව ඒවා බෝගවලට යොදන්නන් කෙරෙහි ද බලපෑම් කරයි. බොහෝ විට අත්දැක ඇති පරිදි කෙතරම් දැනුවත් කිරීම් විවිධ අංශ මඟින් සිදු කළත් තවමත් නිවැරදි ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් කෘෂි රසායන ද්‍රව්‍ය ඉසීමේ කාර්යයේ යෙදෙන්නේ ඉතා අතලොස්සකි.

පිළිකා රෝග තත්ත්වයන් ඇති වීම කෙරෙහි කෘෂි රසායන වල බලපෑම පූර්ණ වශයෙන්ම තහවුරු කිරීමට මෙතෙක් සිදු කර ඇති පර්යේෂණ සමත් වී නැතත් අධික ලෙස කෘෂි රසායනික භාවිතා කරන ප්‍රදේශ ආශ්‍රිතව පිළිකා රෝගීන් බහුලව වාර්තා වේ. අසල්වැසි ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ බතින්ඩා දුම්රිය ස්ථානයේ සිට රාජස්ථානයේ  ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා ගමන් ගන්නා දුම්රියකි. එමඟින් ගමන් ගන්නා පිළිකා රෝගීන් විශාල සංඛ්‍යාවක් වන අතර එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙතැයි සඳහන් වේ. ඒ හේතුවෙන් එයට “පිළිකා දුම්රිය” (Cancer Train) යනුවෙන් නම් පට බැඳී තිබේ. අන් ප්‍රදේශ වලට සාපේක්ෂළු පංජාබ් ප්‍රාන්තයේ රසායනික පොහොර හා කෘමි නාශක භාවිතය වැඩි බව සඳහන් වේ. අධික ප්‍රමාණවලින් කෘෂි රසායන භාවිතය හේතුවෙන් ජලය දූෂණය වී එහි අඩංගු නයිට්ට්‍රේට් ප්‍රතිශතය ඉහළ යාම පිළිකා රෝගය ඉහළ යාමට එක් හේතුවක් බැව් එහි කරන ලද පර්යේෂණ වලින් පසුව බතින්ඩාර් හි වෛද්‍ය අධ්‍යයන හා පර්යේෂණ පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එබැවින් අන් කවරදාටත් වඩා අවධානයෙන් යුතුව වගා කටයුතු ආරම්භයේ සිට අවසානය දක්වා එනම් අස්වනු නෙළීමට පෙර සේම පසුවත් සෑම ක්‍රියාකාරකමක දීම පරිසර හිතකාමී ලෙස හැකිතාක් අවම ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරමින් වගා කටයුතු සිදු කළ යුතුවේ.    

දිගු කාලයක් තිස්සේ කෘෂි රසායන භාවිතයට හුරු පුරුදු වීම හේතුවෙන් පූර්ණ වශයෙන් කාබනික ගොවිතැනට යොමු වීම නොහැකි වූවත් ක්‍රමයෙන් ඒ සඳහා යොමු වීම ඉතා වැදගත්ය.                                                                                                                       

ජනගහණය මෙතරම් අධික නොවන සහ වගාබිම් සහ වෙනත් වගාවට අවශ්‍ය සාධක සීමා සහිත නොවූ අතීතයේ දී වඩා පරිසර හිතකාමී ලෙස වගා කටයුතුවල නියුතු වීමට ගොවි ජනතාවට හැකියාව තිබුණි. අතීතයේ තම අස්වනු විවිධ වූ පළිබෝධකයින්ගෙන් සහ වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පඹයෙකු නොසිටවූ වගා බිමක් නොවූ තරම්ය.  එකල අස්වැන්න මඟින් පසින් ඉවත් වන්නාවූ පෝෂක නැවත පසට ලබා දෙනු ගැබුවේ තමන් විසින්ම නිපදවා ගත් කාබනික පොහොර භාවිතයෙනි.  එකල දණ්ඩි පැටව් වැනි කුඩා මසුන් ඇළ දොළවන සුලභව දක්නට ලැබුණි.  වර්තමාන තත්ත්වයන් යටතේ පූර්ණ වශයෙන් අතීත ක්‍රියාකාරකම් භාවිතයට ගැනීමේ හැකියාවක් නොමැති වුවත් හැකිතාක් පරිසර හිතකාමී ලෙස වගා කටයුතුවල නිරත වීමෙන් අනාගත පරපුරක නිරෝගීභාවය වෙනුවෙන් උතුම් කර්තව්‍යයකට දායක වීමට තවමත් ගොවි ජනතාවට හැකියාව තිබේ. 

වර්තමානයේ දී ජනගහන වර්ධනය අධික වීමත්, වගා කිරීමට ඇති ඉඩම් සීමා වීමත් නිසා පුර්ණ වශයෙන් අතීතයේ සිදුකළ අයුරින්ම පාරිසරික ගොවිතැනේ නියැලීමට අසීරු වූව ද, අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් පොහොර හා කෘෂිරසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් හැකි තරම් දුරට කාබනික පොහොර හා පළිබෝධ පාලන ක්‍රම වගා කටයුතුවල නියැලීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

රසායනික මෙන්ම කාබනික පොහොර දෙවර්ගය මිශ්‍ර කර දැමීම රසායනික පොහොර අඩුවෙනුත් කාබනික පොහොර වැඩි වශයෙනුත් යෙදීම යෝග්‍යය.  වරින් වර වගාව නිරීක්ෂණය කරමින් මූලික අවස්ථාවේ දී ම පළිබෝධ හානි හඳුනාගැනීමට හැකි වේ නම් කෘෂි රසායන භාවිතය අවම කර ගත හැකි වේ. තව ද අස්වැන්න නෙළීමට පෙර කෘෂි රසායන යෙදීමේ දී අදාල ඇසුරුම් වල ද බොහෝ විට සඳහන් කර ඇති පරිදි නියමිත කාලයකට පෙර එවැනි ක්‍රියාකාරකම් නතර කළ යුතු වේ. එයට හේතුව නම් එම රසායනික ද්‍රව්‍යයන්ගේ අහිතකර බව විනාශ වීමට යම් කාලයක් ගතවන බැවිනි. අස්වැන්න නෙළාගත් පසු ඒවා ගබඩා කර තැබීමේ දී විශේෂයෙන්ම ධාන්‍ය වර්ගයන් ගුල්ලන් වැනි කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ද විවිධ රසායනික ද්‍රව්‍යයන් බහුල වශයෙන් යෙදීම සිදුවේ.

මෙලෙස ශරීරයට අහිතකර විවිධ රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොර ආරක්ෂිත ආහාර හා ජලය ලබා දීමේදී ගොවි ජනතාව සතු වගකීම සුළුපටු නොවේ.  ගොවිතැන තම දිවි රකිනා ප්‍රධානතම හා එකම ආදයම් මාර්ගය වුවද ඊටත් වඩා තම තමන් අදහන්නාවූ ආගම දහමට අනුව මානව වර්ගයා කෙරෙහි දයාවෙන් හා මෛත්‍රීයෙන් යුතුව වඩා කල්පනාකාරීව වගා කටයුතු සිදු කිරීමට අපගේ අවධානය යොමු විය යුතුය.  වගකීම් සහිතව කෘෂි කාර්මික කටයුතු වල නියැලීම තුළින් නිරෝගී පරපුරක් බිහි කිරීමට සක්‍රීය දායකත්වය ලබා දෙමු.

ගීතානි සමරසිංහ, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *