‘අසමානතාවයන් අඩු කිරීම සඳහා කෘෂි ආහාර පද්ධති මූලික වෙනවා‘ – FAO අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් -19 වසංගතයේ දැඩි බලපෑම් හමුවේ ගෝලීය කෘෂි ආහාර පද්ධති සුමටව ක්‍රියාත්මක කිරීමට G 20 රටවල නායකයින් අඛණ්ඩව සහයෝගය දැක්විය යුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් කියු ඩොංගියු (QU Dongyu) මහතා පසුගිය 17 වැනිදා ඉතාලියේ ෆ්ලෝරන්ස් හි පැවති G20 කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම ආරම්භ කරමින් ප්‍රකාශ කළේය.

ඉහළ ඡායාරූපය – ෆ්ලෝරන්ස්හිදී පැවති G 20 කෘෂිකර්ම ඇමතිවරුන්ගේ හමුව.

කොවිඩ්-19 වසංගතය ගෝලීය කෘෂිකාර්මික අංශය කෙරෙහි ඇති කරන ලද අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත වූ මාස 18 තුළ G 20 හි තීරණාත්මක නායකත්ව භූමිකාව ගැන ක්යු මහතා ප්‍රශංසා කළේය. 

“අපේ සාමූහික ප්‍රයත්නයන් කෘෂි ආහාර පද්ධති විවෘත කර වෙළඳාම ගලා යන බව මට විශ්වාසයෙන් කිව හැකියි,” ඔහු පැවසීය.

‘‘කෙසේ වෙතත්, අභියෝග තවමත් පවතිනවා. විශේෂයෙන් වසංගතය පවත්නා අසමානතාවයන් පුළුල් කර තිබෙනවා. මේ හේතුවෙන්, නැගී එන වෙලඳපොළවල් හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එම ආර්ථිකයන්හි ඒක පුද්ගල ආදායම අහිමි වීම විශාල වශයෙන් සිදුව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. සමස්තයක් ලෙස ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවය ලෝක ජනගහනයෙන් සියයට 8.4 සිට සියයට 9.9 දක්වා ඉහළ ගොස් ඇති බවට අපගේ තක්සේරුවයි‘‘ කියු මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

FAO හි අධ්‍යක්ෂක ජනරාල්වරයා අවධාරණය කළේ, “විශේෂයෙන්ම ගැමි ප්‍රදේශ වල මෙම අසමානකම් අඩු කිරීම සඳහා කෘෂි ආහාර පද්ධති මූලික වන” බවට පැහැදිලි සාක්ෂි ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ සහ හයිටි හි සිද්ධීන් උපුටා දක්වමින් නව හා සංකීර්ණ අර්බුද අඛණ්ඩව මතුවන බව ද ඔහු අවධාරණය කළ අතර, ගැටලු සහිත ප්‍රදේශවල ගොවීන් සඳහා කඩිනම් සහය ලබා දෙන ලෙස ජී 20 සාමාජිකයින්ට සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ට ආයාචනා කළේය. 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉතාලියේ කෘෂිකර්ම ඇමති Stefano Patuanelli මහතා (ඉතාලිය විසින් ආරම්භ කරන ලද) FAO විසින් සංවිධානය කරන ලද Food Coalition සඳහා ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කළේය. (මෙය ඉතාලිය විසින් අදාළ සන්ධානය වෙනුවෙන් දරන දායකත්වයයි)

ස්වාභාවික සම්පත් අඩු ප්‍රමාණයක් භාවිතා කරන අතරම “ප්‍රතිවිරෝධතා සමථයකට පත් කිරීමට” සහ වැඩි පිරිසකට වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට නව තාක්‍ෂණයන්හි ඇති හැකියාව ගැන ඉතාලි කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රශංසා කළේය. 

“එය අප මත රඳා පවතී. අපි මෙය විශ්වාස කළ යුතුයි: අපි ක්‍රියා කිරීමට පටන් ගත යුතුයි. වචන ප්‍රමාණවත් නැත. රැස්වීම් ප්‍රමාණවත් නැත. අපට රජයන්ගෙන් නිශ්චිත ක්‍රියාමාර්ග අවශ්‍යයි” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

වසර 70 ක් තිස්සේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට සත්කාරකත්වය දැක්වීම සඳහා ඉතාලි රජය, ජනතාව සහ රෝම නගරයේ දීර්ඝ කාලීන ත්‍යාගශීලී බව සඳහන් කරමින් අධ්යක්ෂ ජනරාල්වරයා ඉතාලියට ස්තූති කළේය. “ඉතාලිය සිය ස්ථාවරයේ දිගටම ගමන් කරයි,” කියු පැවසීය.

රැස්වීම

කෘෂිකාර්මික හා ආහාර පද්ධතිවල තිරසාරභාවය පිළිබඳව අවධානය යොමු කෙරෙන ජී 20 නායකයින්ගේ දෙදින රැස්වීමට එහි සභාපතීත්වය දරන ඉතාලිය සත්කාරකත්වය සපයයි.

මෙම උත්සවයට පෙර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සූදානම් වීමේ රැස්වීම් වලදී පර්යේෂණ හා නවීකරණයේ කාර්යභාරය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ මෙවලම් වශයෙන් තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම නව අභිජනන ක්‍රම සහ ඩිජිටල් ලුහුබැඳ යාමේ අපේක්‍ෂිත භූමිකාව පිළිබඳ සිය දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගත්හ. 

ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සහ කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක වැඩමුළු දෙකක් ඉතාලිය විසින් සංවිධානය කළේය.

ලෝකයෙන් කුසගින්න සහමුළුන්ම තුරන් කිරීමේ ඉලක්කය, සෞඛ්‍ය පද්ධති ප්‍රවේශය තහවුරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව -2021 සහ COP26 සඳහා ජී 20 හි දායකත්වය පිළිබඳව ද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු කෙරේ. 

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය, ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල – IFAD නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

“හොඳ වැඩ හතරක් – Four Betters” වටා ගොඩනඟන ලද 2022 -2031 නව උපාය මාර්ගික රාමුවක් (Strategic Framework 2022-2031) ද ඇතුළත්ව,

  1. හොඳ නිෂ්පාදනය, Better Production
  2. යහපත් පෝෂණය, Better Nutrition
  3. යහපත් පරිසරයක් Better Environment,
  4. යහපත් ජීවිතයක් Better Life

ඇතුළුව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙ හි ප්‍රතිසංස්කරණ ගැන ද කියු මහතා පෙන්වා දුන්නේය.

කෘෂිකාර්මික ආහාර පද්ධති පරිවර්තනය කිරීමේදී සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සඳහා සිය සාමාජිකයින්ට සහයෝගය දැක්වීමට FAO සූදානම් බව ද ඔහු පැවසීය.

G 20 සහයෝගීතාවයේ වැදගත්කම හා වගකිව යුතු හා ඉලක්ක කරගත් ආයෝඡන පිළිබඳව එකඟ වී ප්‍රගතියයේ වේගය තව දුරටත් වේගවත් කරන ලෙස G 20 කෘෂිකර්ම ඇමතිවරුන්ගෙන් ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *