එක්සත් ජනපද දේශගුණික නියෝජිත ජෝන් කෙරී ඉන්දියාවේ සංචාරයක

දේශගුණික අර්බුද විසඳීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද ජනපතිවරයාගේ දේශගුණය පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 12 වන දින) ඉන්දියාවේ සංචාරයක නිරත වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

සිය සංචාරයේදී ජෝන් කෙරී (John Kerry) මහතා  ගෝලීය දේශගුණික අභිලාෂ ඉහළ නැංවීම සහ ඉන්දියාවේ පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දියානු රජයේ නියෝජිතයන් සහ පෞද්ගලික අංශ ප්‍රධානීන් හමුවීමට නියමිත ය. 

ඔහුගේ සංචාරයේදී එක්සත් ජනපදය සහ ඉන්දියාව දේශගුණික ක්‍රියාකාරී හා මූල්‍ය බලමුළු ගැන්වීමේ සංවාදය (Climate Action and Finance Mobilization Dialogue) ආරම්භ කරනු ඇත. මෙය 2021 අප්‍රේල් මාසයේ දේශගුණය පිළිබඳ නායකයින්ගේ සමුළුවේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්(Joe Biden) සහ ඉන්දීය අගමැති  නරේන්ද්‍ර මෝදි(Narendra Modi) විසින් නිවේදනය කරන ලද “එක්සත් ජනපද-ඉන්දියා න්‍යාය පත්‍රය 2030” හවුල්කාරිත්වයේ ප්‍රධාන මාර්ග දෙකෙන් එකකි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියට (United Nations Framework Convention on Climate Change – UNFCCC) අදාළව පැවැත්වෙන දේශගුණික පාර්ශ්වයන්ගේ සම්මන්ත්‍රණය (Conference of the Parties) COP26 සමුළුවට පෙර ඇමරිකානු විශේෂ නියෝජිතයාගේ සංචාරය මඟින් එක්සත් ජනපදයේ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික දේශගුණික උත්සාහයන් ශක්තිමත් කරනු ඇත. 

COP26 යනු 2021 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවයි. මෙවර පැවැත්වෙන්නේ එහි 26 වන වාර්ෂික සමුළුවයි. එක්සත් රාජධානියේ සභාපතිත්වය යටතේ කෝප්26 සමුළුව 2021 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 12 දක්වා එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි දී පැවැත්වීමට නියමිතය.

ගෝලීය උණුසුමට එරෙහි සටනේදී විකල්ප බලශක්තිය නිපදවීමේ අවදානම් අවම කිරීම සඳහා එක්සත් ජනපදය මූල්‍ය බලමුළු ගැන්වීමට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව 2021 අප්‍රේල් මාසයේදී එක්සත් ජනපද විශේෂ නියෝජිතයා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා පැවැත්විණ. පසුගිය සතියේ ඇමෙරිකානු විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා ජපානයේ හා චීනයේ සංචාරයක ද නිරත විය.

India News Network ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *