අපේ රට පොල්වලින් ස්වයංපෝෂිත කළ හැකියි

පොල් මිල සහ පොල් තෙල් මිල ඉහළ යෑම සහ එම කර්මාන්තය නඟාසිටුවීමට ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ මෙන්ම සැලසුම් පිළිබඳ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

  • පොල් මිල ඉහළ ගොස් මිනිස්සුන්ට එලොව පොල් පෙනිලා ඉන්න වෙලාවක, පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම අභියෝගයක් නෙවෙයි ද?

මම මේ ආයතනයේ සභාපතිවරයා ලෙස පත් වෙන්නේ දෙවැනි වතාවට. ඒ නිසා මේ ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් වගේම පළපුරුද්ද මට තිබෙනවා. ඒ වගේම තමයි ඉතිහාසයේ කවදාවත් නොතිබුණු ලොකු වටිනාකමක් පොල් කර්මාන්තයට දෙන්න ජනාධිපතිවරයා මෙවර පියවර ගෙන තිබෙනවා. එතුමන් ඇමැතිවරයකු සහ රාජ්‍ය ඇමැතිවරයකු පවා ඒ සඳහා පත් කරලා එහි වගකීම් පවරලා කර්මාන්තය දියුණු කරන්න උපදෙස් දුන්නා . විශේෂයෙන්ම මේ කර්මාන්තය දියුණු කරන්න එම ඇමැතිවරුන්ගෙන් මට විශාල ශක්තියක් ලැබෙනවා. ඒ නිසා ඉතා පහසුවෙන් මට වැඩ කරගෙන යන්න හැකියාව ලැබී තිබෙනවා. මේ වෙනකොට මිනිස්සුන්ට පොල් මිල නිසා එලොව පොල් පෙනෙනවා කියලා මම හිතන්නේ නැහැ. අද වන විට පොල්වල සහ පොල් තෙල්වල මිල යම් පහළ යෑමක් සිදුවෙලා තිබෙනවා. ඉදිරියේ දී එම මිල තව තවත් පහළ යන බවට මට ලොකු විශ්වාසයක් තිබෙනවා.

  • පොල් ත්‍රිකෝණයක් පවා තිබෙන අපේ රටේ කවදාවත් නැති විදියට ඇයි මේ තරම් පොල් ඵලදාව පහළ වැටුණේ?

අපේ වාර්ෂික පොල් නිෂ්පාදනය මිලියන 3000යි. එහෙත් රටේ අවශ්‍යතාව මිලියන 4500යි. ඒ කියන්නේ මිලියන 1500ක අඩුවක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ පොල් නිෂ්පාදනයෙන් සියයට 70ක් දේශීය වශයෙන් පරිභෝජනයට යොදා ගන්නවා. සියයට 30ක් කර්මාන්තය සඳහා යොදා ගන්නවා. මෙහිදී එක් දෙයක් කිව යුතුයි. ඇතැම් තීරණ ගනිද්දි එය කලින් ගත යුතුයි. පසුගිය කාලයේ එලෙස තීරණ ගත්ත විදියක් නම් මම දැක්කේ නැහැ. මම නම් කියන්නේ පොල් අවාරයක් එද්දි අපි ආනයන බද්ද යම් මට්ටමකට අඩු කළ යුතුයි. එහෙම නොකළොත් අපේ දේශීය වෙළෙඳ පොළේ පොල් මිල ඉහළ යනවා. ඒ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ හොත් අපට පොල් මිල පාලනය කරගත හැකියි.

  • මේ විදියට පොල් මිල ඉහළ යන්නේ කර්මාන්තයට යොදා ගන්න පොල් ප්‍රතිශතය නිසා ද?

කර්මාන්තය සඳහා යොදා ගන්නේ නැත්නම් පරිභෝජනයට ප්‍රමාණවත් පොල් අප සතුව තිබෙනවා. හැබැයි අපි කර්මාන්තයට යොදා ගන්නා පොල් සියයට තිහෙන් පසුගිය වසරේ ඩොලර් මිලියන 661ක් උපයා ගන්න සමත් වුණා. මේ ඩොලර් 661 හොයන්නේ සියයට 30කින්. අතීතයේ ඉදලා අපි පොල් ගස හඳුන්වන්නේ කප්රුක කියලා. ඒ කියන්නේ පොල් ගසෙන් ප්‍රයෝජනයට නොගන්න කොටසක් නැති නිසා. එක් උදාහරණයක් කියන්නම්. ඒ වෙනදා විසිකරන කොහුබත් අද විදේශ විනිමය උපයන මාර්ගයක් කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. අපිට හිඟ පොල් ගෙඩි මිලියන 1500 නිෂ්පාදනය කර ගන්න පුළුවන් වුණොත් ගිය වසරේ උපයපු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් 661ක දෙගුණයක් කරගත හැකියි. මේ නිෂ්පාදනය කරන පොල් නිසි ලෙස බෙදිලා ගිය හොත් අපිට ඉන් වැඩි වාසි අත්කරගත හැකියි.

අනෙක් කාරණය තමයි අද වන විට ලෝකයේ ඉස්තරම්ම තෙල් වර්ගය පොල් තෙල් කියලා හොයාගෙන තිබෙනවා. ඔලිව් ඔයිල්වලට වඩා පොල්තෙල්වල ඉහළ ගුණත්වයෙන් යුතු ගුණාංග තිබෙනවා. හමට හොඳ ක්ලෝරික් ඇසිඩ්, ශරීරයට හිතකර ඕමේගා 3, ඕමේගා 6 මෙහි අඩංගු වෙලා තිබෙනවා. එම නිසා අපිට මේ මඟින් විශාල විදේශ විනිමයක් උපයා ගන්න පුළුවන්කම තිබෙනවා.

  • ඔබ පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ කිව්වට රටේ අස්සක් මුල්ලක් නෑර පොල් ගස් තිබෙනවා. එහෙම තියෙද්දි කොහොම ද පොල් නිෂ්පාදනය අඩු වෙන්නේ?

අපේ රටේ මේ වෙන කොට අවුරුද්දකට පොල් අක්කරයකින් ගෙඩි 250ක් විතර තමයි නෙළා ගන්නේ. ඒකට එක් හේතුවක් තමයි අපේ රටේ පොල් හිමියන්ගෙන් සියයට අනූවක් පොල් ගසට නිසි සාත්තුවක් දෙන්නේ නැහැ. වතුර දාන්නේ නැහැ. පොහොර යොදන්නේ නැහැ. පොල් ගසට නිසි විදියට වතුර පොහොර එක් කළා නම් අක්කරයකින් පොල් ගෙඩි 8000කට එහා ප්‍රමාණයක් ගත හැකියි. අපි ඒක අරලගංවිල තිබෙන ෆාම් එකෙන් ඔප්පු කරලා තිබෙනවා. ඒ ෆාම් එකේ අක්කර 1000ක් තිබෙනවා. එය පොල් ත්‍රිකෝණයෙන් පිට ශුෂ්ක කලාපයක තියෙන්නේ. එකෙන් අපි වසරකට පොල් අට දහසක් පමණ කඩනවා. එම නිසා ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා පොල් ගසට වතුර සහ පොහොර යොදන්න පොල් වතු හිමියන්ට උපදෙස් දෙන්න, ඒ අය දිරිගන්වන්න අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව අක්කරයකට වතුර දාන්න අපි රුපියල් පනස් දාහක සහන මුදලක් දෙන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවයි පොහොර සඳහාත් සහනදායී ක්‍රමවේද හඳුන්වා දෙන්නත් සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ වගේම අපේ රටේ භාවිතයට නොගත් වගුරු බිම් රැසක් තිබෙනවා. ඒවායෙහි ඇළි වැටි ක්‍රමයට වගා කරන්න පටන් ගෙන තිබෙනවා. එහි ඵලදාව ඉතාමත් හොඳයි. දවසකට පොල් ගසකට වතුර ලීටර් 40ක් දැම්මොත් එහි ඵලදාව තුන් ගුණයකින් වැඩි කරන්න පුළුවන්. අපි වැස්සෙන් පමණයි ජලය යොදවන්නේ. ඒ නිසා තමයි වැහි කාලයට පොල් පලදාව වැඩි වෙන්නෙත්, නියං කාලයට පොල් පලදාව අඩු වෙන්නෙත්.

  • පොල් තෙල් මිල ඉහළ යන්නත් පොල් නිෂ්පාදනයෙන් බලපෑමක් එල්ල වෙලා තිබෙනව ද?

අපේ රටේ නිෂ්පාදනය කරන පොල් තෙල් දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් ද නැද්ද කියලා මිනිස්සු දන්නේ නැහැ. මේ රටේ පරිභෝජන අවශ්‍යතාව ටොන් 240,000යි. අපට දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ 22,000ක් පමණයි. ඒ කියන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ සීයයට 10ක් පමණයි. ඉතිරි සියයට 90 ආනයනය කරන්න වෙලා තියෙනවා. මෙන්න මේ ආනයන බද්ද තමයි අපි ඉහළ පහළ දාන්නේ. පොල් වැඩිපුර තිබෙන කොට බද්ද ඉහළ දමනවා පොල් අඩු වෙන කොට බද්ද අඩු කරනවා. මෙම තීන්දු ගන්න ඕනේ අවාරේ පටන් අරන් මාස ගණන් ගියාට පස්සේ නෙවෙයි. ඒ තීන්දු තීරණ අවාරය පටන් ගන්න කලින් කරන්න ඕනෑ. මේ තීන්දු ගැනීමේ වගකීම තිබෙන්නේ පොල් සංවර්ධන අධිකාරියට. අපි පොල් මිල ඉහළ යන්න කලින් අවශ්‍ය බදු පැනවිය යුතුයි. එහෙම වුණොත් අපට මේ මිල පාලනය කරන්න පුළුවන්.

  • ඔබ ඒ චෝදනාව එල්ල කරන්නේ ඔබේ ම පාර්ශවයටම නේද?

මේ තෙල් සම්බන්ධව තීන්දු තීරණ ගන්න නෛතික බලය තිබෙන්නේ පොල් සංවර්ධන අධිකාරියට. පසුගිය කාලයේ එය නිසි වෙලාවට සිදු වුණේ නැහැ. ඒ ඇරත් ඒ දේවල් ගැන මම කතා කරන්න කැමැති නැහැ. නිසි වෙලාවට තීන්දු තීරණ ගන්න, ඒ අය කටයුතු කළා නම් මෙවැනි ප්‍රශ්න එන්නේ නැහැ. ආනයනික පොල් තෙල්වල මිල වැඩි කළාම දේශීය නිෂ්පාදකයත් ඔවුන්ගේ නිෂ්පාදනවල මිල වැඩි කරනවා. ඒ නිසා පොල් මිල ඉහළ යන කොට ආනයන බද්ද අඩු කිරීමයි අප කළ යුත්තේ. එහෙම වුණාම අපට මිල පාලනයක් කළ හැකියි.

  • පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව පොල් මිල තීරණය කිරීමට ගත් තීරණය ඇත්තටම සාර්ථක ද?

එය ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවෙයි. මොකද අපට පොල් ගෙඩියේ වට ප්‍රමාණය බල බලා පොල් ගන්න බැහැ. ඒක ගැළපෙන්නේ නැති ක්‍රමවේදයක්. අද කර්මාන්තය සඳහා පොල් ගන්නේ වට ප්‍රමාණය මැන මැන නො‍ෙවයි. ඔවුන් කිලෝ ගණනට, ටොන් ගණනට මැනලයි ගන්නේ. එහෙම කළා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පාරිභෝගිකයාට දරාගත හැකි මිලකට පොල් ලබාදීම තමයි රජයේ වගකීම. අපි දැන් එය කරමින් ඉන්නවා. මේ වන විට පොල් වගේම පොල් තෙල් මිලත් පහළ යමින් තිබෙනවා. අපි ඉදිරියේදී වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහත්තයත් එක්ක එකතු වෙලා ජනතාවට දරාගන්න පුළුවන් මිලකට පොල් තෙල් බෝතලයක් සතොස මඟින් දෙන්න කටයුතු කරනවා. ඒ දෙන පොල් තෙල් අපේ අධිකාරියේ රසායනාගාර තුළ තත්ත්ව පරික්ෂාවට ලක් කරලා සහන මිලකට දෙනවා.

  • සතොස මඟින් සහන මිලකට පොල් තෙල් බෝතලයක් දීමෙන් පොල් තෙල් මිල පාලනය කරන්න පුළුවන් කියලා ඔබ හිතනව ද?

එහෙම සතොස මඟින් දෙන කොට අනෙක් අලෙවි සල් ඒ මිලට දෙන්න පෙලඹෙනවා. සුපිරි වෙළෙඳ සල්, ඔවුන් තබා ගන්නා ලාභය යම් ප්‍රමාණයකින් හෝ අඩු කරලා ජනතාවට සහනදායී මිලකට පොල් තෙල් දෙන්න කටයුතු කරන්න කියලා අපි සාකච්ඡා කරනවා. මෙය අත්‍යවශ්‍ය භාණ්ඩයක්. පොල් තෙල් නැතුව වැඩ කරගන්න බැරි තත්ත්වයක් තිබෙනවා කියන දේ පිළිබඳව ඕනෑම කෙනකුට අවබෝධයක් තිබෙනවා.

  • පසුගිය කාලයේ බාල තෙල් ගැන ලොකු කතාබහක් තිබුණා. දැන් ඒ ගැන කතාබහක් නැත්තේ බාල තෙල් වෙළෙඳපොළේ නැති නිසා ද?

අපි මාධ්‍ය මඟින් කෑගහලා බොරතෙල්වල ප්‍රමිතිය අහනවා. එහෙත් අපි බොර තෙල් ගෙනත් පිරිපහදු කරලා වෙළෙඳපොළට දානකල් කවුරුවත් එය පරික්ෂා කරලා නැහැ. ඒ හින්ද තමයි මම මේ ආයතනයට පත් වුණ ගමන්ම රසායනාගාර පහසුකම් වැඩි කළේ. ඉදිරියේ දී අපි අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට අනුව තෙල් දෙන්න කටයුතු කරනවා. ඒ සහතිකය නොගන්න අයට අපි වෙළෙඳපොළට තෙල් දාන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මේ සියලු දෙනාගේම පොල් තෙල් සාම්පල් අරන් අපේ රසායනාගාර තුළ පරික්ෂාවට ලක් කරනවා. ඒවා සෞඛ්‍ය තත්ත්වලට සුදුසු නැත්නම් අයින් කරනවා. ඒ කර්මාන්තකරුවන්ට අවශ්‍ය තාක්ෂණ සහාය දෙනවා. ඔවුන් දිගින් දිගට වැරදි වැඩ කරනවා නම් ඒ අයගේ බලපත්‍රය අවලංගු කරන්න කටයුතු කරන්න අප පසුබට වෙන්නේ නැහැ.

  • ඉදිරියේදී පොල් නිෂ්පාදනය වැඩි කරන්න තිබෙන සැලසුම් මොනවා ද?

නිෂ්පාදනය වැඩි කරන්න ක්‍රම දෙකක් සැලසුම් කරලා තිබෙනවා. එකක් තමයි දීර්ඝ කාලීන ක්‍රමය. පොල් නැවත සිටුවීම, අලුතෙන් වගා කිරීම වගේම මහවැලි කලාපවල තිබෙන ඉඩම්වල වගා කරන්න කර්මාන්තකරුවන්ට අවස්ථාව දීම. ඒ අයගේ බලපත්‍රය දීර්ඝ කරන්නේ වගා කළොත් විතරයි. ඇතැම් අය කර්මාන්ත සඳහා ඉඩම් ගත්තට වගා කරන්නේ නැහැ. දෙවැනි එක තමයි කෙටි කාලීන ක්‍රම. මම පෙර කිව්වා සියයට අනූවක් පොල්වලට වතුර සහ පොහොර දාන්නේ නැහැ කියලා. ඒ නිසා එය දිරි ගන්වන්න අක්කරයකට වතුර දාන්න රුපියල් 50,000 දෙන්නත්, පොහොර සඳහා සහන දෙන්නත් කටයුතු කරනවා.

  • අපේ රට පොල්වලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනව ද?

රටේ පරිභෝජනයට අපි නිෂ්පාදනය කරන පොල් හොඳටම ඇති. එහෙත් අපි සියයට 30ක් අපනයනය කරනවා. අපි අපනයනය නැවත්තුව හොත් අපේ අවශ්‍යතාවට පොල් ඇති. ඒ විතරක් නෙවෙයි වැඩිපුරත් තිබෙනවා. හැබැයි අපනයනය අඩු කළ හොත් පොල් ගෙඩියක් රුපියල් 25කටවත් දෙන්න බැරි වෙනවා. මේ අපනයනය නිසා තමයි පොල් මිල මෙහෙම තිබෙන්නේ. අපි ඕනෑවට වඩා පොල් මිල අඩු කළ හොත් වගාකරුවා එය අත­්හරිනවා. මේ කර්මාන්තකරුවා, වගාකරුවා වගේම පාර්භෝගිකයා කියන තුන් දෙනාම ආරක්ෂා කරන්න ඕනෑ.

අපිට මේ වන විට මිලියන 1500ක පොල් අවශ්‍යතාවක් තිබෙනවා. අපි ඉදිරියේ දී කර්මාන්තකරුවට එය ආනයනය කරන්න ඉඩ දෙනවා. ඊට පස්සේ එහි අගය එකතු කිරීමක් කරලා නැවත පිට රටට යවනවා. සාමාන්‍යයෙන් ආනයනය කරලා ප්‍රති අපනයනය කරන කොට සියයට 35 සිට 50 දක්වා අගය එකතු කිරීමක් කරනවා. එහෙත් අපි පොල් ආනයනය කරලා ප්‍රති අපනයනය කළ හොත් සියයට හාරසියයක් අගය එකතු කළ හැකියි. ඉන් සියයට තුන් සියයක් ලාභ ලැබිය හැකියි.

නමුත් අපි පොල් ත්‍රිකෝණයේ එය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව කෘමීන්, විවිධ රෝග එන්න පුළුවන් නිසයි. එම නිසා අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපනයන සැකසුම් කලාපයක් ඇති කරලා කර්මාන්තයට අවශ්‍ය පොල් බිලියනයක් ගේන්න කටයුතු කරනවා. ඒ තුළින් තව ඩොලර් බිලියන එකක් මේ රටට උපයා දෙන්න කටයුතු කරනවා. එය උපාය මාර්ගික වාණිජමය තීන්දුවක්. එතකොට මේ රටේ නිෂ්පාදන කර්මාන්තකරුවට නොයන නිසා ඒ තුළින් පාර්භෝගිකයට සහන මිලකට පොල් දෙන්න හැකියාව ලැබෙනවා. එසේම එහි ඍජු රැකියා 5000ක් සහ වක්‍ර රැකියා 7500ක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ මඟින් අපේ පාරිභෝගිකයින්ට සහන මිලකට පොල් දීමටත්, පොල් අපනයනයෙන් විදේශ විනිමය උපයා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

අගෝස්තු මස 06 වැනි දින දිනමිණ පුවත්පත ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *