‘අලියි මිනිස්සුයි ඉන්නකන් මේ ගැටුම සම්පූර්ණයෙන් නතර කරන්න බෑ’ – රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක

ගජගා තාලයට පෙරහර සරනා ඇත් රජුන් දකින විට නළල් තල මතට එසවෙන දෑතින්ම, සිය වගාබිමට කඩා වදින සද්දන්තයින්ට එදිරිව බයිනෙත්තුව එසවෙන්නේ කුසගින්නට එහා ගිය ගින්නක් මිනිසාට නොමැති බැවිනි.

එදා මෙදා තුර ලාංකීය ඉතිහාසයේ බාලගිරි දෝශයෙන් බැට කන ප්‍රශ්න අතර අලි මිනිස් ගැටුමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඉතිහාසය පුරාවටම විවිධ සැලසුම් ගෙන එමින් මෙම ගැටලුව නිරාකරණය උදෙසා අනේකවිධ උත්සාහයන් දැරූව ද තවමත් ඊට ස්ථිරසාර විසඳුමක් ලැබී නොමැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව අලි මිනිස් ගැටුම නිරාකරණය උදෙසා වෙනම ම අමාත්‍යාංශයක් පිහිට වූ අතර එහි වගකීම, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වෙත පැවරිණි. එතුමා සිය වගකීම ඉටු කිරීම උදෙසා මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි ඔහුත් සමඟින් සංවාදයේ යෙදුනෙමු.

  • අලි මිනිස් ගැටුමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක් ද?

අලි මිනිස් ගැටුමේ ආරම්භය ගැන හරියටම කියන්න බැහැ. ඓතිහාසිකව අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මේ ප්‍රශ්නය පැවතුණා. මේ ප්‍රශ්නෙ පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලෙත් තියෙන්න ඇති, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලෙත් තියෙන්න ඇති, දැන් ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාලන කාලයෙත් තියනවා. රාජ්‍ය පාලන යුග වලදී ඉංග්‍රීසි පාලන යුග වලදී එහෙම නැත්නම් 1970 -1975 කාලවලදි නම්, අලියෙක් මරණවා කියන්නේ සාමාන්‍ය දෙයක්. විනෝදාංශයක් විදිහටත් අලි මරලා තියනවා. නමුත් අද ඒ එකක්වත් සිද්ධ වෙන්නේ නෑ. අලි ආරක්ෂා කරන වැඩපිළිවෙළක් තමයි දැන් තියෙන්නේ.

  • වර්තමානයේ අලි මිනිස් ගැටුම තියෙන්නේ මොනවගේ තැනක ද?

දැන් අලි ගහනය දවසින් දවස වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම ජනගහනයත් වැඩි වෙමින් පවතිනවා. මේ තත්වය තුළ අලි ගම්වැදීම සාමාන්‍ය දෙයක්. හේන් වගා කරලා තියෙන්නෙත් අලි කොටි ගහනය මැද්දේ ම තමයි. ඉතින් අලි එනවා කියන එක, හේන්වල මිනිස්සු මැරෙනවා කියන එක සාමාන්‍ය කාරණයක්. ඒත් ඒක දැන් විශේෂ දෙයක් වෙලා තියෙන්නේ සත්වවේදී සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන සහ දේශපාලන නියෝජිතයින් වන සත්වයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කිරීම හා විශේෂයෙන් අලින් ආරක්ෂා කිරීමට දරන උත්සාහය නිසා.

කොහොම වුනත් අදටත් අප්‍රිකානු මහාද්වීපයේ බොහෝ රටවල අපනයන ආදායමේ වැඩි කොටසක් රැදිලා තියෙන්නේ ඇත්දළ ව්‍යාපාරය මතයි. ඒත් ලංකාව ඇතුලේ හැම ජීවියෙකුගේ ම ජීවිත ආරක්ෂා කරන්න අපි උත්සාහ කරනවා.  මොකද බුදු හාමුදුරුවෝ දේශනා කරන්නෙත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා..! නීරෝගී වෙත්වා..! සුවපත් වෙත්වා..! කියලනේ.

  • අලි-මිනිස් ගැටුම අවම කරමින් අලින්ගේ සහ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?

අපි කිලෝමීටර් 4600ක් අලිවැට ගහලා තියෙනවා. ඒක බලාගන්න 4600ක බට හමුදාවක් යොදවලා තියනවා. නමුත් අලින්ගෙන් 5%ක් වගේ සංඛ්‍යාවක් තවමත් ගම් වදිනවා. ඒ නිසා අලි වැට ඉතා සාර්ථක පියවරක් නෙවෙයි.

  • අලි වැටට අමතරව අලි ගම්වැදීම නවත්වන්න ගෙන ඇති නව ක්‍රියාමාර්ග මොනවා ද?

අපි දැන් අලි අගල් කපන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම එල්ලෙන අලි වැටක් අපි අත්හදා බලලා තියනවා. ඒක සාර්ථකයි. ඒත් ටිකක් වියදම් අධිකයි. ඒකට අවශ්‍ය සමහර භාණ්ඩ කොරෝනා තත්වය යටතේ ආනයනය කිරීම ටිකක් අපහසුයි. ඒ වගේම අලි වැට ආරක්ෂා කරන්න අලින් ගම් වදින ඒ ඒ දිස්ත්‍රික්කවල, අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වාසය කරන සිවිල් පුද්ගලයින් 20,000ක් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ සේවයේ  යොදවා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. කොරෝනා තත්වය නිසා ඒ දේවල් සීමා වෙලා තියෙනවා. කොහොම වුනත් ඉදිරි සති කිහිපය තුළ බදවා ගැනීම් සිදු කරන්න අපි උත්සාහ කරනවා.

  • අලි මංකඩවල් විවෘත කිරීම මේ ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි ද?

අලි මංකඩවල් විශාල ප්‍රමාණයක් මිනිස්සු අල්ලගෙන ඉන්නේ. අලින්ගේ ගමනාගමනයට විශාල ප්‍රශ්න තියනවා. සමහර අලින්ට මේ කැලෙන් අනිත් කැලේට යන්න පාරක් ඇත්තෙම නෑ. ඉතින් අලින්ට එක තැනකින් තව තැනකට මාරුවෙන්න විදිහකුත් නැත්නම් එතැන කොටු වුනොත් උන්ට කන්න දෙයක් නැති වුන ගමන් කඩාගෙන එන්නේ ගම්වලට, කෑම සොයාගෙන. ඒක වළක්වන්න විදිහක් නෑ. අලි මංකඩවල් විවෘත කරන්න පුලුවන් වුනත්, එක අලි මංකඩක් විවෘත කරන්න රුපියල් කෝටි 25ක වගේ මුදලක් යනවා.

ඉතින් කටේ කයිවාරුවලට, පත්තරවල අකුරුවලට, ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා වල වචනවලට මේ ප්‍රශ්නෙ විසඳන්න බැහැ. විවේචන, විචාරක, උපදේශන තනතුරුවලට ගැලපෙන අය මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒත් විසඳුම් දීමේ ඥාන ශක්තියක් තියන අය හොයා ගන්න බැහැ.

මේ ප්‍රශ්නෙට විසඳුමක් ගැන කවුරුත් කතා කරන්න නෑ. මෙච්චර කල් කාටවත් විසඳන්න බැරි වුනා කියලා කියන්නෙත් නෑ.මේ ප්‍රශ්නෙ විසඳන්න නම් ප්‍රායෝගික තත්වයන්ට අවශ්‍ය මූල්‍ය සම්පත හා ශ්‍රම සම්පත සොයාගත යුතුයි. මේ වෙද්දී අපි අරගෙන තියන  විසඳුම් සහ ඉදිරියේ දී ගැනීමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග එක්ක අපිට පුලුවන් වෙයි අලි-මිනිස් ගැටුම යම් ප්‍රමාණයකට පාලනය කරන්න. හැබැයි අලියි මිනිස්සුයි ඉන්නකන් මේ ගැටුම සම්පූර්ණයෙන් නතර කරන්න බෑ.

සංවාද සටහන – නලන් අනුරුද්ධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *