‘කාබනික වගා සංග්‍රාමයට සුදුසුම අවස්ථාව තමයි මේ උදාවෙලා තිබෙන්නේ‘

රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ මහාචාර්ය සංජීවනී ගිනිගද්දර

  • කාබනික වගාව පටන් ගන්න හොඳම කාලය මේකයි කැපවීම අනාගත ආයෝජනයක්
  • මළදරු උපත් ඇතිවීමටත් රසායන පොහොර බලපානවා

මිනිසාට සොබාදහම සිය අභිමතයට අනුව වෙනස් කළ යුතු යැයි හැඟුණද මිනිසා හිතුවක්කාරි මඟක යන්නේ නම් සොබා දහම පෙරළා සිය විරෝධය පළ කරන්නේ විවිධාකාර ස්වරූපයටය. ක්ෂණිකව ඇති වන ස්වභාවික විපත් මෙන්ම කල් යල් බලා සොබාදහම විසින් මිනිසාට සිය විරෝධය පළ කිරීමට මැලි වන්නේ නැත. පරිසරයට වින කරන ගොවිතැන නිසා මේ වන විට පාරිසරික ප්‍රශ්න රැසක් මෙන්ම සෞඛ්‍ය ගැටලු ද මතු වී ඇත. මේ ගැටලුවලට සාධනීය ප්‍රවේශයක් ලෙස කාබනික වගා සංග්‍රාමය රජය විසින් හඳුන්වා දී ඇත. පාරිසරික සහ සෞඛ්‍ය ප්‍රශ්නවලට කාබනික වගාව විසඳුමක් ද යන්න පිළිබඳ රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ මහාචාර්ය සංජීවනී ගිනිගද්දර සමඟ කළ සාකච්ඡාවකි මේ.

  •  ක්ෂණිකව ඇති වී ක්ෂණිකව ම යටපත් වුණු කාබනික පොහොරවලට එරෙහිව පැන නැඟුණු ගොවි උද්ඝෝෂණ සමාජයේ යම් කථිකාවක් ඇති කළා. මේ ගොවි ඉල්ලීම් සම්බන්ධයෙන් ඔබ දක්වන අදහස මොකක් ද?

රජය මඟින් රසායනික පොහොර ගෙන්වීම මුළුමනින්ම අත්හිටු වන බවට ප්‍රකාශ කිරීමත් සමඟ රටේ විවිධ තැන්වලින් උද්ඝෝෂණ මතු වුණු බව අපි විවිධ මාධ්‍යය තුළින් දැක්කා. මේ ගොවි ඉල්ලීම් දේශපාලන මුහුණුවරක් ගත්තා ද නැති නම් සැබෑ ගොවි ඉල්ලීම් කියන එක සැක හැර දැන දැක ගැනීමටත් පෙර ඒවා යම් ආකාරයකට යටපත් වී යන ස්වරූපයක් දැක ගන්නට ලැබුණා. මේ නිසා ඒ ගැන නිගමනයකට එන්න අපහසුයි. නමුත් රසායනික පොහොර ඉල්ලා තැනින් තැන මතු වුණු ගොවි උද්ඝෝෂණවලින් රටේ සමස්ත ගොවි ජනතාවගේ හඬක් නියෝජනය වන බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ.

  • රසායනික පොහොර ඉල්ලා කරන උද්ඝෝෂණවලට වඩා කාබනික පොහොරවලට දේශීය කෘෂිකර්මාන්තය යොමු කරවීමේ අවශ්‍යතාව පිළිබඳ විවිධ ස්වරූපයේ කථිකා මතු වුණේ මිට බොහෝ කාලයකට පෙර නේද?

මේ ගැන රට තුළ උණුසුම් වාද විවාද මතු වුණේ රජරට ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන. විශේෂයෙන් ගොවි බිම් පිහිටි ප්‍රදේශවලින් ශිඝ්‍රයෙන් මතු වුණු හඳුනා නොගත් වකුගඩු රෝගයත් සමඟයි. පසුව එම තත්ත්වය කෘෂිකර්මාන්තය වැඩි වශයෙන් කරන ලංකාවේ සෙසු පළාත් වලින් ද මතු වන්නට පටන් ගත්තා. ඒත් එක්කම මේ පිළිබඳ පර්යේෂකයින් , බුද්ධිමතුන් විවිධ මත ඉදිරිපත් කළා. ඇතැම් අය පර්යේෂණ පවා සිදු කළා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පෙන්වා දුන්නේ කාලයක් තිස්සේ රසායනික තෙල් පොහොර පරිසරයට මුදා හැරිමත් සමඟ එම ආහාර පරිභෝජනයට ගැනීමත් සහ ගොවි බිම්වලට තෙල් පොහොර යෙදීමේ නිරන්තර කාර්යයක නියැළෙන ගොවි පවුල් වල අයත් අතර මේ හඳුනා නොගත් වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවයි. මේ අදහස යටපත් කරන්නට තරම් සමත් මතවාද තවම එළියට ආවේ නැහැ. මේ නිසාම මේ ගැන උනන්දුවන පිරිස් වස විස නැති කාබනික පොහොර යෙදු එළවළු පලතුරු සොයමින් වෙළෙඳ පොළ පීරන ප්‍රවණතාවක් මතු වුණා. ඒක තමයි ඇත්ත කතාව .

  • ඒ කියන්නේ අපි ම වගා කරන වස විස නහවන එළවළු පලතුරු ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක් සමාජයෙන් මතු වුණු බව ද?

එය අපිට උද්වේගකර ලෙස පෙනෙන දකින උද්ඝෝෂණවලට වඩා වෙනස් තත්ත්වයක්. මෙතෙක් අප අතර පැවැති ආහාර පරිභෝජන රටාව වෙනස් කර ගැනීමට ගත් උත්සාහයක් වගේ තමයි. අපිට මතකයි, මේ හඳුනා නොගත් වකුගඩු රෝගය පමණක් නෙමෙයි. පිළිකා රෝගීන් ද රැල්ලක් වගේ සමාජයෙන් මතුවුණු ස්වභාවයක් පසුගිය කාල වකවාණුවේ ඇති වුණා. මේ නිසා පාරිභෝගික ජනතාව වෙනදා තමන් ට හුරුපුරුදු කඩ මණ්ඩියේ වෙළෙඳසලෙන් එළවළු පලතුරු , සහල් ටික ගන්නවාට වඩා වස විස නැති එළවළු පලතුරු සහ දේශීය පැරැණි සහල් තිබෙන සුපර් මාර්කට් එකටත් ගොඩ වන ප්‍රවණතාවක් අපි දැක්කා. අදටත් එහි වෙනසක් නැහැ. ටිකක් මිලෙන් වැඩි වුණත් දේශීය සහල් පරිභෝජනය කරන අය ඕනෑ තරම් අපේ සමාජයේ ඉන්නවා. ගොවිබිම් තිබෙන ඇතැම් අය තම නිවෙසේ පරිභෝජනයට පමණක් හෝ කාබනික යෙදවුම් මඟින් එළවළු පලතුරු ටිකක් වගා කර ගන්න උත්සාහයක් දරන වටපිටාවක් බොහොම පැහැදිළිව අද දකින්ට ලැබෙනවා.

  • නමුත් පසුගිය සමයේ ගොවි උද්ඝෝෂණවලින් මතු කළේ රජය කඩිමුඩියේ ගෙන ආ රසායනික පොහොර කප්පාදුව නිසා ගොවියා කබලෙන් ළිපට වැටුණු බවයි. මේ ගැන ඔබේ අදහස කුමක් ද?

රජය මේ යෝජනාව ක්ෂණිකව ඉදිරිපත් කළ එකක් නම් නෙමෙයි. මිට වසර එක හමාරකට පමණ පෙර වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වස විසෙන් තොර කාබනික වගා ක්‍රමයකින් රට ස්වයංපෝෂිත කරන බවට සඳහන් කර තිබුණා. නමුත් එය ක්‍රියාත්මක කිරීමට රජය අවතීර්ණ වන විට ඇතැම් ගොවීන් සහ ඇතැම් පාර්ශ්ව වෙනත් අර්ථකථනයක් ආරෝපණය කර ගත්තා. එය හදිසියේ ගත් තීරණයක් බවට චෝදනා එල්ල කළා. අතපසුවීම සිදු වුණේ රජය හෝ ගොවීන් අතින් පමණක් ම නොවෙයි. කාබනික වගා සංග්‍රාමයට රට සුදානම් කරවීමේ මුලික කර්තව්‍යය පැවරි තිබෙන අයගෙනුත් ඒක වුණා.

  • එයින් ඔබ අදහස් කරන්නේ කුමක් ද?

රට කාබනික වගා ක්‍රමයකට අරගෙන යන බව රජය කිව්වා. තම තීරණය කවදා කිනම් මෙහොතකදී හෝ ක්‍රියාවට නංවන්න රජයකට පුළුවන්. රජය එළඹෙන මහ කන්නය සියයට සියයක් කාබනික වගාවට අවතිර්ණ කරවීමට කටයුතු කරමින් ඉන්නවා. ගොවීන් ට පැවරෙන්නේ රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණයට අනුව කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන යාමයි. නමුත් මේ දෙපාර්ශ්වය ඒ සඳහා වඩාත් ප්‍රශස්ත ලෙස සුදානම් කරවීමේ වගකීම පැවරෙන්නේ රජයේ දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල, විවිධ පර්යේෂණ ආයතනවලටයි. රට කාබනික වගාවට අවතිර්ණ කරවන්නේ නම් රසායනික පොහොර වෙනුවට යෙදිය හැකි කාබනික පොහොර මොනවාද, ක්ෂේත්‍රයේ දී මතුවන සහ මතුවිය හැකි ගැටලු මොනවා ද? කාබනික ක්‍රමයෙන් වගා කළ හැකි වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ වර්ග අප සතුව තිබෙනවාද, නැත්නම් නව ප්‍රබේද හඳුන්වා දෙනවාද, ඒ මොනවාද යන සියලු කාරණා සම්බන්ධයෙන් පුර්ව සුදානම පැවරී තිබෙන්නේ පර්යේෂණ හා ව්‍යාප්ති ක්ෂේත්‍රයටයි. අන්න ඒ වගකීම හරිහැටි ඉටු වුණේ නෑ කියන එකයි අපි අදහස් කරන්නේ. මේ නිසා ගොවීන් තුළ තිබෙන විශ්වාසය යම් තරමකට හීන වී තිබෙනවා.

  • මේ කාලය කාබනික වගා සංග්‍රාමයකට සුදානම් වීමට සුදුසු අවස්ථාවක් ද?

මේ තමයි සුදුසු ම අවස්ථාව. අපි මොකටද තවත් ඉදිරියට කල් දමන්නේ? ඇයි අපි එහෙම කියන්නේ. මේ වන විට කාලයක් තිස්සේ අපේ අත්වලින් ම වගා කර අපි නෙළා ගත් අස්වැන්නෙන් සකසා ගත් ආහාර පරිභෝජනය කර අපි ලෙඩ්ඩු වෙලා ඉන්නවා නම් අනාගත පරම්පරාවත් නන් ආකාරයේ රෝග රැල්ලකට ගොදුරු වෙමින් සිටිනවා නම් අපි මෙතෙක් ගමන් කරමින් සිටින මාර්ගය වෙනස් කර වෙනත් මාර්ගයකට අවතිර්ණ වීමට තවත් ඇයි පසු බසින්නේ. ඒ විතරක් ද? ලෙඩ වෙලා ඉන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. අද පරිසරවේදීන් සහ පාංශූ පර්යේෂකයින් කියන්නේ අපේ මහ පොළොව දැනටමත් විශාල අගතියකට ලක් වී ඇති බවයි. අපේ පස මියැදෙමින් යනවා නම් අපි ඇයි මේ රසායනික පොහොර මතම එල්ලි සිටින්නේ? අපි වෙනසක් සඳහා සුදානම් විය යුතුව තිබුණේ අද ඊයෙක නොවෙයි මිටත් පෙරයි.

  • කාබනික වගා සංග්‍රාමයට ක්‍රමයෙන් ගොවීන් එකතු වෙමින් ඉන්නවා. එහෙත්, ගොවීන්ට විසඳා ගත යුතු ගැටලු තිබෙනවා. රසායනික පොහොර වලට වඩා කෘමි සහ පළිබෝධ හානි මැඬීමට කළ යුතු දේ කවරක්ද යන්න පැහැදිලි කළොත්?

බොහොම සාධාරණ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න මතු කරන විට තමයි අපිට සාධාරණ උත්තර ලැබෙන්නේ. සැක සංකා පහව යන්නේ. අපි උදාහරණයක් ගමු. කවුරු හරි කෙනෙක් නිතර නිතර ලෙඩ වෙනවා නම් ඒ කියන්නේ අපේ ශරිරය තුළ යම් අසමතුලිතතාවක් තිබෙනවා කියන එකයි. අපි රෝගයකට ගොදුරු නොවී ඉන්නේ ශරීරයේ රෝගවලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණය ඉහළ නිසයි. අපි මේ උදාහරණය අපේ ගොවිතැනට ගලපා බලමු. අද පරිසරවේදීන් සහ පර්යේෂකයින් පවසන්නේ අපේ මහ පොළොවේ නීරෝගි බව ක්‍රමක්‍රමයෙන් හීන වෙමින් දුර්වල වෙමින් යන බවයි. මේ පසේ වගාවට හිතකර පාංශු ජීවින් හිඟයි. පසට එකතු වී ඇති විෂ ද්‍රව්‍ය බොහොමයි. මහ පොළොව හරියට රොඩ්ඩක් බවට පත් වෙමින් යනවා. පෝෂණ ගුණයක් නෑ. මේ පසේ හැදෙන ගහට වැළට රෝගවලින් ආරක්ෂා වීමට තරම් ආරක්ෂිත පෝෂණ ගුණයක් පසෙන් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා වට පිටාවෙන් එන රෝග පළිබෝධවලට ඉතා පහසුවෙන් බෝග ටික නිරාවරණය වෙනවා. ගොවි බිම්වල ලෙඩ රෝග වැඩියි කියන්නේ අපිට පණිවුඩයක් තමයි ඒ දෙන්නේ. නමුත් ගොවියෝ ඒක හරියට තේරුම් ගන්නේ නැතිව අත දිගෑරලා ආයෙමත් වගාවට තෙල් පොහොර නාවලා එනවා. මේ තමයි ඇත්ත කතාව. අපි මේ මහ පොළොවට සුදුසු පෝෂණ ගුණය දෙමින් එහි ජීවය ආරක්ෂා කරනවා නම් නම් බෝග ටික සුරක්ෂිතව වර්ධනය වෙනවා.

  • අපි මෙතක් යෙදුවේ රසායනික පොහොර. අපි වාර්තා ගත අස්වැන්නක් ගොවි බිම්වලින් ලබා ගත්තා. ඒ කියන්නේ පසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ටික අපි හරියට දෙනවා කියන එක නෙමෙයි ද?

මේ මහපොළාවට යම් ජීවයක් තිබෙනවා. පොස්පරස්, නයිට්‍රජන් පොටෑසියම් කියන මහා පෝෂක ටික කෘත්‍රිමව අපි මෙතෙක් පස ට දුන්නා. අපි බලහත්කාරයෙන් තමයි මෙතෙක් අස්වැන්න ගත්තේ. ගොඩ වැඩි වුණාට අස්වැන්නේ ගුණාත්මය නැහැ. ඒ වගේම වැදගත් කාරණය තමයි, පිළිබෝධ හානි වලින් බෝග ආරක්ෂා වෙන්නේ ක්ෂුද්‍ර පෝෂක වලින්. ක්ෂුද්‍ර පෝෂක හොඳින් පස උරා ගන්නේ පසේ ක්ෂුද්‍ර ජීවින් ඉන්නවා නම්. ක්ෂුද්‍ර ජිවීන් පසේ වර්ධන ය වන්නේ තනිකරම කාබනික යෙදවුම්වලින්. මහා පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක ප්‍රශස්ත ලෙස ලැබෙනවා, ඉහළ ගුණාත්මයෙන් යුතු අස්වැන්නක් ලැබෙනවා. රසායනික කෘෂිකර්මාන්තයෙන් මේ දෙවර්ගයම සමතුලිතව පසට ලැබෙන්න ඕනෑ.

  • සියයට පනහ බැගින් රසායනික සහ කාබනික පොහොර සම සමව යෙදිම වඩාත් උචිත බව බොහෝ දෙනෙක් පවසනවා?

ඒ ක්‍රමයත් සාර්ථක ක්‍රමයක් වුවත් අපේ ගොවීන් එහෙම කරයිද? වෙළෙඳ පොළේ රසායනික තෙල් බහුල තිබෙද්දි කාබනික යොදයිද? කල්පිටිය වැනි ප්‍රදේශවල දවස් පහෙන් පහට මිරිස්වලට කෘමිනාශක ගහනවා. වගා බිමේ ඉන්න සහ එන්ඩ ඉන්න පළිබෝධකයාටත් එක්කයි මේවා යොදන්නේ. ඒ වගේම ක්‍රම ක්‍රමයෙන් රසායනික පොහොර භාවිතයෙන් එකවර නොව ටිකෙන් ටික ඉවත් විය යුතු බවට ඇතැම් අය කිව්වත් ඒ කාර්යයත් අපේ ගොවින් අතින් වෙන්නේ නැහැ.

  • රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදනවා වගේම පරිසර හිතකාමි පළිබෝධ නාශකවලට අපිට යන්න බැරිද?

අපිට පුළුවන් කාබනික පළිබෝධ නාශක හදා ගන්න. එවැනි ප්‍රතිකාර අපි ළඟ තිබෙනවා. අපිට මුලින්ම පුළුවන් අපේ ගෙවත්තට වගා බිමට අවශ්‍ය පළිබෝධ නාශක ටික අපිට ම හදා ගන්න. ඉන් පසුව තවත් පිරිසකට මේවා වෙ‍ළඳපොළටත් ඉදිරිපත් කළ හැකියි. එවිට කාබනික පළිබෝධ නාශක වෙළෙඳපොලේ සුලභ වෙනවා. මෙවැනි භාවිතයන් ට ක්‍රම ක්‍රමයෙන් අපි අවතිර්ණ වන ගමන් අපේ අවසාන ඉලක්කය විය යුත්තේ පාරිසරික කෘෂිකර්මාන්තයට ප්‍රවේශ වීමයි. මෙය ecological agriculture ලෙස හඳුන්වනවා.

  • පාරිසරික කෘෂිකර්මාන්තය කියන්නේ කුමක් ද?

මෙය ලොව පිළිගත් සංකල්පයක්. මෙහිදි අපි අවධානය යොමු කරන්නේ පස සහ වගාබිම ගැන පමණක් නෙමෙයි. ගහකොළ, සතා සිවුපාවා , ගංගා ඇළ දොළ මෙන්ම ගොවීන්ගේ ක්‍රියාකාරකම් සියල්ලම පද්ධතියක් ලෙස ආරක්ෂා කර ගැනීමයි. එම පරිසර පද්ධතිය තුළින් ම වගාවට අවශ්‍ය පෝෂක කොටස් ලබා ගැනීමට ඉඩ හරිමින් කරන කෘෂිකර්මාන්තයයි. කාබනික කෘෂිකර්මාන්තය මිට සාධනීය ආරම්භයක්. පාරිසරික කෘෂිකර්මාන්තය කියන්නේ උච්චතම අවස්ථාවයි.

  • කාබනික වගා සංග්‍රාමය රටේ පෙනෙන නොපෙනෙන සෞඛ්‍ය ප්‍රශ්නවලට විසැඳුමක් වෙන්නේ කොහොම ද?

අපි වකුගඩු රෝග ගැන, පිළිකා ගැන කිව්වා. තවත් බහුලව තිබෙන ප්‍රශ්න තිබෙනවා. මළ දරු උපත් නිරන්තරයෙන් දැන් පෙරට වඩා වැඩියි. ඇතැම් දරුවන් උපදින විට ම විවිධ ආබාධවලින් පෙළෙනවා. අලුත විවාහ වුවන්ට දරු ඵල නෑ. කාන්තාවන් වඳ භාවයෙන් පෙළෙනවා. මේ සියල්ලටම අපේ ආහාර විහරණය ඝෘජුවම බලපානවා. අපේ ශරිරයට වස විසම ඇතුළු වන්නේ නම් සිදු නොවිය හැක්කේ කුමක්ද?

  • අපි මේ අවතිර්ණ වෙන්නේ කාලයක් අපේ ගොවීන්ගෙන් ඈත්ව පැවැති භාවිතයකට. කාබනික කෘෂිකර්මාන්තය රට තුළ නව වෙනසක් ඇති කරනවාට සැකයක් නෑ. ඒ ගමන ධනාත්මක පැත්තට යොමු කරවීමට ගොවියා සතු කාර්යභාරය කුමක් ද?

පළමුවෙන් ම අවශ්‍ය වන්නේ ඉවසීමයි. ඒ වගේම අපි කාබනික කෘෂි කර්මාන්තයට යා යුත්තේ ඇයි කියන එක බුද්ධිමත්ව අපි කල්පනා කළ යුතුයි. සාමාන්‍යයෙන් අපි වෙළෙඳපොළට ගිය විට තෝරා ගන්නේ හොඳම දේ. ගෙදරට ගෘහ උපකරණයක් ගත්තත්, යාන වාහන ගත්තත්, ඇඳුමක් ගත්තත් අපි හොඳම දේ තෝරනවා. නමුත් අපි අපේ කුසට දා ගන්න ආහාර මිලදී ගන්න විට අපි එහෙම කල්පනා කරනවා ද? නැහැ. ගුණාත්මය බලන්නේ නැහැ. අපි එහෙම නොකරන්නේ අපි අපේ සෞඛ්‍ය ගැන නොසළකන නිසයි. වස විස කවලා ජාතියම ලෙඩ කරන ක්‍රමයෙන් අපි මිදෙන්න ඕනෑ. අපි නවමු වෙනසකින් මේ ගමනට එක් විය යුතුයි.

සකුන්තලා ජයසිංහ විසින් අගෝස්තු 11 වැනි දින දිනමිණ පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවකි

ඉහළ ඡායාරූපය – කාබනික නගරයක් ලෙස නම්කර ඇති ලග්ගල නගරයේ කාබනිකව වගා කළ රටකජු වගාවක් – ඡායාරූපය – කාංචන කුමාර ආරියදාස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *