රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එම්.ජේ.බී අධිකාරි
- අස්වැන්න නිසි ලෙස ආරක්ෂා කළ යුතුයි.
- පැරැණි ගොවි ක්‍රම නැවත ගොඩනගමු.
- ගබඩා පහසුකම් වැඩි කිරීම කාලෝචිතයි.
- නිසි කලට අස්වැන්න කැපීම කරමු.
දේශීය ආර්ථිකයේ ජීවනාලිය කෘෂිකර්මාන්තය බව පැවසුවත් වී ගොවිතැනින් වී ගොවියාට සිය ආර්ථික බර සැහැල්ලු කර ගැනිමටත් රටේ සහල් වෙළෙඳ පොළ ජය ගැනීමටත් නොහැකි බවටත් වී ගොවිතැන පාඩු කර්මාන්තයක් බවට පත්ව ඇති බවටත් චෝදනා නැඟෙයි. මේ කතාවේ ඇත්ත නැත්ත සහ වී ගොවිතැනේ නැඟිටීමට බාධා පමුණුවන පසු අස්වනු තාක්ෂණයේ ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ.එම්.ජේ.බී අධිකාරි මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
- ශ්‍රි ලාංකේය ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. ඒ වගේම වගා බිම්වලින් වැඩි ප්‍රමාණයක් යොදාගෙන තිබෙන්නේ වී වගාවටයි. වී වගාවෙන් අපි අද ඉන්නේ කොතැන ද?
පෙරදිග ධාන්‍යාගාරය කියන නාමය ශ්‍රී ලංකාවට ආරෝපණය වුණේ අපේ ඉතිහාසයේ ස්වරණමය යුගයක් පැවති ඉතිහාසයට එක්වන කාල පරිච්ඡේදයක. නමුත් මේ හැඳින්වීම අදටත් අපිට නොගැළපෙනවා නොවෙයි. අපි අදත් සහලින් ස්වයංපෝෂිතයි. දේශීය පරිභෝජනය සඳහා අපි දැන් පිටරටින් සහල් ආනයනය කරන්නේ නෑ. අද ඇත්තේ පෙර මෙන් වූ යැපුම් කෘෂි කර්මාන්තයක් නොවෙයි. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ වූ වාණිජ කෘෂි කර්මාන්තයක්. ඒ හරහා ඇත්තේ බොහෝ යෙදවුම් භාවිතා කර වැඩි වියදමක් දරා කරනු ලබන වගාවන්. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු වැඩි වශයෙන් වී වගා කරනවා. අපගේ දේශගුණය, වාරි පද්ධතිය, පාංශු වයනය ආදී සියලු සාධක වී ගොවිතැනට සුදුසුයි. මේ නිසා සෑම වසරකම දේශීයව වී මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් පමණ ප්‍රමාණයක් අස්වනු නෙළා ගන්නවා. මේ සියල්ල අපගේ දේශීය පරිභෝජනයට තමයි ගන්නේ. නමුත් අපිට අතීතයේ තිබුණ පෙරදිග ධාන්‍යාගාරය කියන නාමය යළි ලබා ගන්න නම් අපි සහල් අපනයනය ටත් අපි සමත් විය යුතුයි. ඒක අද කරන්න බැරි කමක් නෑ. නමුත් අපි ඒ තැනට ළඟා වෙන්න අසමත් වී තිබීම ගැනයි කතිකාවක් ගොඩනැඟිය යුත්තේ.
- යල මහ දෙකන්නයම වී වගා කරන අපි ඇතැම් කාලවල වාර්තාගත අස්වැන්නක් ගත්තත් සහල් මිල ඉහළ යාම , සහල් හිඟය වැනි ප්‍රශ්නවලට මුහුණ දෙනවා.?
මේ සඳහා එක් හේතුවක් නෙමෙයි. හේතු ගණනාවක් තිබෙනවා. නමුත් ඉන් තවමත් අවධානයට ලක් නොවුණු කාරණයක් මෙහිදි මතු කරන්න කැමැතියි. ඒ තමයි නෙළාගත්ත අස්වැන්න අපි නිසි ලෙස මතුවට ආරක්ෂා කර ගන්නවා ද යන්න. මේ සා විශාල වූ අස්වනු ප්‍රමාණයක් අපි නෙළාගත්තත් මේ සියල්ල අප පරිභෝජනයට ගන්නවා ද නැත්තම් නෙළාගන්නා අස්වැන්නෙන් කොටසක් අප විසි කරනවා නම් මේ කාරණය තමයි පසු අස්වනු හානිය ලෙස හඳුන්වන්නේ. ගොවිබිමෙන් ගෙට ගත් අස්වැන්න පැරැණි ගොවියා ගබඩා කළේ අටුවක. අද අටුවක් දැක ගැනීමත් දුර්ලභයි.
- මේ ගොවි සංස්කෘතිය බිඳ වැටීම පසු අස්වනු හානියේ ආරම්භය කියන එක ද ඔබ කියන්නේ?
ඇත්තෙන්ම ඔව්. අපේ පැරැණි ගොවියා රට සහලින් ස්වයංපෝෂිත කරන ගමන ඉදිරියට අරගෙන ගියේ ඊටම ආවේණික වු තාක්ෂණික ශිල්ප ක්‍රමත් සමඟ. වී ගොවියා සතුව වෙනම භාවිතයක් වගේම සංස්කෘතියක් තිබුණා. වෙහෙස මහන්සි වී උපයා ගත් ධන ධාන්‍ය තවත් කන්නයක් එනතුරු ආරක්ෂා කර තැබුයේ අටුවක. පසු අස්වනු තාක්ෂණය ආරම්භ වෙන්නේ ගබඩාකරණයෙන්. මතුවට ගබඩා කර තැබීම කියන ශිල්ප ක්‍රමයෙන් අපි අද ඉන්නේ ඍණාත්මක තැනක.
- එදා වගේ අද ගොවීන් වී ගබඩා කරන්නේ නෑ. අස්වනු නෙළාගත් විට කුඹුරෙන්ම පටවන්නේ වෙළෙන්ඳාගේ ලොරියට. මේ සංස්කෘතිය හැදුණේ කොහොමද?
මේ සඳහා ඇතැම් අය විවිධ තර්ක හේතු මතු කරනවා. වැඩි දෙනෙක් කියන්නේ ණය ටික ගෙවා ගන්න කුඹුරෙන් ම අස්වනු ටික කඩේට දෙන බවයි. නමුත් මේ හුරුව බොහොම වැරැදි තැනකටයි ගොවියා රැගෙන ගොස් තිබෙන්නේ. මෙන්න මේ කියන සරල ක්‍රමයෙන් ණය බර හෝ පවුලේ ආර්ථික බර නිදහස් කර ගැනීමට උත්සාහ දැරීම නිසාම අද වී ගොවියා ආර්ථික වශයෙන් කඩා වැටීමකට ලක්ව තිබෙන බවයි අපි කියන්නේ. ඉන් ගොවියා අපේක්ෂා කරන ලාභයක් ලැබෙන්නේ නෑ. වියදම පමණයි පියවාගන්නේ.
- ඔබ කොහොමද එහෙම කියන්නේ.?
අස්වනුත් වැඩි නම් මිලත් හොඳයි නම් වී ගොවිතැනෙන් ගොවියාට ගොඩ එන්න බැරි කමක් නෑනේ. නමුත් අස්වනු ටික නෙළා කුඹුරෙන් ගොඩට එන ගොවියාගේ අතේ සතේ නැත්නම් මොකක් හරි වැරැද්දක් සිදු වෙමින් තිබෙනවා. අද මොකක්ද වෙන්නේ? යන්ත්‍ර සූත්‍රවලින් ප්‍රමිතිය සම්පූර්ණ වෙන්න පෙර අස්වනු ටික කපාගන්නවා. තෙත වී ටික අතට ගත්තම වෙළෙන්ඳා අඩු මිලට ඉල්ලනවා. වැඩි මිලක් එනතුරු ගෙදර තියාගන්න අටුවක්, ගබඩාවක් අද ගොවියා සතුව නෑ. ඒ නිසා වී ටික වෙළෙඳුන්ගේ මල්ලට දාලා හිස් අතින් ගෙදර එනවා. බාල බඩුවට අඩු මිලක් ලැබෙන න්‍යාය අපි කට වචනයට හුරු වුණාට දෛනික ජිවිතයේත් අපි කරන්නේ ඒ ටිකම බව අපි දන්නේ නෑ. අස්වනු ටික නිවෙසට ගෙනැවිත් තෙතමනය හිඳෙන තුරු වියළා මාස දෙක තුනක් ගබඩා කර තබනවා නම් වෙළෙඳපොළේ වී මිල ඉහළ යන විට අස්වැන්න විකුණා වැඩි මිලක් ගන්න පුළුවන්.
- නමුත් අද අස්වනු ගබඩා කිරීමේදී ගොවීන්ට නැති ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා.
ඔව්, එහි ඇත්තක් නැතුවා නෙවෙයි. නමුත් එහෙම වෙන්නේ ගබඩාකරණයේ දුර්වලතා නිසයි.ගබඩාකරණය කියන්නේ තනිකරම තාක්ෂණයක්. ඒක අපේ පැරැණි ගොවීන් හොඳට දන්නවා. ගබඩාකරණය හරියට කළේ නැත්නම් කාලයක් ගත වන විට වී බොල් වෙනවා. වි මලුවල බර අඩු වෙනවා. මීයන් වී කා දමනවා. ගුල්ලන් සහ ඉපියන් බෝ වෙනවා. වී කෙටීමේදී සහල් කැඩී යාම නිසා සහල් අස්වැන්න අඩු වෙනවා. කොටන ලද සහල්වල පණු කැදලි මතු වෙනවා. මේ ආදී සියලු හේතූන් නිසා නෙළාගත් අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් නොදැනුවත්වම අඩු වෙලා. නැතිනම් හානි වෙලා. මේ පසු අස්වනු හානියයි. එනම් අස්වැන්න නෙළාගත් පසු සිදුවන හානියයි.
- ලංකාවේ පසු අස්වනු හානිය ගණනය කළහොත් කොපමණ ප්‍රමාණයක් ද?
සෑම වසරකම අප ගන්නා ධාන්‍ය අස්වැන්නෙන් 12-13% ප්‍රමාණයක් පසු අස්වනු හානිය ලෙස විනාශ වෙනවා. වෙනත් ආකාරයකින් කිවහොත් මේ අගය මේ අස්වැන්න නෙළාගත් පසු භාවිතයට නොගෙන විසි කර දමන ප්‍රමාණයයි. මෙම හානිය ප්‍රමාණාත්මකව ගත් කල එය දළ වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 5-6ක් අතර ප්‍රමාණයක් . මෙම හානිය සියයට 1කින් අඩු කර ගත හැකි නම්, එම ඉතිරියෙන් අමතර සහල් මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සියයක් පමණ ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි. මෙම සහල් ඉතිරිය සාමාන්‍ය පවුල් අටදහසක් පමණ ප්‍රමාණයකට වසරක් සඳහා ප්‍රමාණවත් වෙන බවයි ගණනය කර තිබෙන්නේ
- පසු අස්වනු හානිය කියන්නේ රටේ ආර්ථිකය උඩු යටිකුරු කළ හැකි ව්‍යසනයක්. මේ ගැන තවත් මොනවද කියන්න තියෙන්නේ?
ඉවත දමන විනාශ වන භාවිතයට ගත නොහැකි වී අස්වැන්නට සරිලන ප්‍රමාණයක් අප අමතරව වගා කළ යුතුයි. ඉවත දමන්නට වගා කරනවාට වඩා අවශ්‍ය ප්‍රමාණය වගා කර ලබා ගන්නා අස්වැන්න ආරක්ෂා කර ගැනීම වඩාත් වාසිදායකයි. එවිට වගා ඉඩම් වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා භාවිතා කළ හැකියි. එමෙන්ම භූමිය සැකසීමේ සිට බීජ, පොහොර, කෘමිනාශක, වල් නාශක, කොළ මැඬීමේ යන්ත්‍ර කුලී, ඇසුරුම් ආදී සියලු යෙදවුම් සඳහා යන වියදම් සියල්ල ද ඉතිරි වෙනවා.
- පසු අස්වනු හානිය වළක්වා ගන්නේ කොහොමද?
බිම් සකසා, වී වපුරා, කිරිවැදී බණ්ඩි කරල් පැසී රන්වන් ගොයම් නැමී යන තෙක්ම අපි එය රැක බලා ගන්නවා. අස්වනු හානිය ආරම්භ වන්නේ ඉන් පසුවයි. එනම් අස්වනු නෙළීමේ අවස්ථාවේ සිටයි. අස්වනු නෙළිය යුත්තේ වී කරල් පැසුණු අවස්ථාවේදීයි. නමුත් වී කරලේ සියලු වී ඇට එකවර පැසෙන්නේ නෑ. වී වගාව සඳහා අස්වනු නෙළීම සුදුසු වන්නේ කරලින් 80-85% අතර ප්‍රමාණයක් හොඳින් පැසුණු පසුවයි. මෙයට වැඩියෙන් පැසීම වාසිදායක ලෙස සිතුනත් එවිට මුලින් පැසුණු වී ඇට හැලීම සිදු වෙනවා.
නොපැසුණු බීජ බොහෝ ගැටලු ඇති කරනවා. අප බොල් ලෙස හඳුන්වන්නේ මේවා. බොල් වැඩි වීම නිසා සහල් අස්වැන්න අඩු වෙනවා. කළු හෝ දුර්වර්ණ ඇට වැඩි වෙනකවා. කෘමි හානි වැඩියි. ගබඩා කාලය අඩුයි. සැකසීම අපහසුයි. ඒ නිසා නිසි අවස්ථාවේදී අස්වනු නෙළීම ඉතාම වැදගත්.
අස්වනු නෙලාගත් පසු සිදු වන්නේ කොළ මැඬීමයි. එනම් කරලින් ධාන්‍ය ඇට වෙන් කර ගැනීමයි. අද වන විට කොළ මැඬීමේ යන්ත්‍ර භාවිතය ඉතා සුලභයි. සුනාමි යන්ත්‍රය සඳහා කපාගත් ගොයම් කරල් ඇතුල් කිරීමේදී අස්වනු නෙළන අවස්ථාවට වඩා යම් තරමක් වේළී තිබීම ධාන්‍ය ඇට වෙන් කිරීම පහසු කරයි. මේ නිසා ගොයම් නෙළීමෙන් පසුව ඇතැම් විට දිනක් පමණ කුඹුරේම වී කරල් වියළීම සිදු කරනවා. නමුත් මෙහිදී වියළීම නිසා ධාන්‍ය ඇට හැලෙනවා. මෙය අවාසිදායකයි. අස්වැන්න අඩු වෙනවා.
දැන් බහුලව සිදුවන්නේ ගොයම් කැපීම සහ කොළ පෑගීම එකම අවස්ථාවේ සිදු කරන සංයුක්ත කොළ මැඬීමේ යන්ත්‍ර භාවිතයයි. භූතයා ගොයම් කපා ධාන්‍ය ඇට වෙන්කර එකතු කරන කුටීරයකට හෝ මලුවලට පුරවනවා. ක්‍රියාවන් දෙකක් එකම අවස්ථාවේදී සිදු කිරීම, ගොයම් කපා කොළ මැඬ ගැනීමට ගත වන කාලය බොහෝ අඩු වීම, කැපූ ගොයම් වෙනත් ස්ථානවලට රැගෙන යාම අවශ්‍ය නොවීම, කම්කරුවන්ගේ අවශ්‍යතාවය අඩු වීම, වියදම අඩු වීම, පිදුරු ක්‍රමානුකූලව කුඹුර මත ඇතිරෙන සේ යන්ත්‍රයෙන් ඉවතට වැටීම, හානිය අඩු වීම වැනි වාසි මෙහි තිබෙනවා. යාන්ත්‍රීකරණය මෙම සියලු කටයුතු පහසු මෙන්ම කාර්යක්ෂම ද කරනවා. නමුත් හානිය අති විශාලයි.
- කොහොමද එහෙම වෙන්නේ?
ඒ කියන්නේ මෙම වෙන් කර ගන්නා ධාන්‍යවල තෙතමන ප්‍රමාණය ගබඩා කිරීමට සුදුසු නෑ. අස්වනු නෙළන අවස්ථාවේ වීවල තෙතමනය 19-23% අතර අගයක් වෙනවා. නමුත් ගබඩා කිරීම සඳහා සුදුසුම තෙතමනය 14%කි. එනම් මෙම වැඩි තෙතමන ප්‍රමාණය හැකි ඉක්මනින් ඉවත් කළ යුතුයි. තෙතමනය වැඩි සෑම අවස්ථාවකදීම ධාන්‍ය ඇටයේ ශ්වසන වේගය වැඩිවෙනවා. අනෙකුත් ජීවී බීජයක සිදුවන පරිවෘත්තීය ක්‍රියා ද සීඝ්‍ර වෙනවා. මේ නිසා පෝෂණ හානියක් මෙන්ම ධාන්‍ය රත්වීම සහ අවපැහැ ගන්නවා. ධාන්‍ය තොගයේ බර අඩු වෙනවා. තෙතමනය වැඩි වන විට දිලීර හානිය මෙන්ම කෘමි සහ අනෙකුත් පළිබෝධ හානිද වැඩියි. මේ සියල්ල පසු අස්වනු හානිය වැඩි කරනවා.
- නිවැරැදිව ගබඩා කරන්නේ කොහොමද?
ගබඩා කිරිමේදී වී අසුරණ , ගබඩාව යන ත්‍රිත්වයම මනා පිරිසිදුතාවයෙන් වියළි තත්ත්වයෙන් තිබිය යුතුය. එවිට දිලීර, කෘමි හානි, වෙනත් පළිබෝධ හානි, ධාන්‍ය අවපැහැ ගැන්වීම්, ධාන්‍ය කෙටීමේදී වැඩියෙන් කැඩී යාම ආදී නොවිය යුතු දෑ බොහොමයක් වළක්වා ගත හැකියි. ධාන්‍යවලට අමතරව බොහෝ අනවශ්‍ය ද්‍රව්‍ය මේ සමඟ ගබඩාවී ඇති නම් ඒ මීයන්, කෘමීන් වැනි සතුන් හට ඉතා හිතකර තත්ත්වයක් වන බවත් අමතක නොකළ යුතුයි.
ගබඩාවට මීයන් ඇතුල් වන ස්ථාන වසා දැමිය යුතුයි. සියලු වා කවුලු, ජනේල සහ වහලයේ ඇති සිදුරු දැල්වලින් වසා හොඳින් වියළුණු වී, පිරිසිදු මළුවල දමා බිත්තියෙන් ඈත් කර, පොළවේ නොගෑවෙන ලෙස ලී රාමු මත ගබඩා කිරීම නිවැරැදි ක්‍රමයයි. එවිට කෘමි හානි, දිලීර හානි අවම වෙනවා. ධාන්‍ය අතරට පවනේ වියළා ගත් කොහොඹ කොළ, දෙහි කොල ආදිය මිශ්‍ර කර ගැනීමෙන් කෘමීන් ධාන්‍යවලින් ඈත් කර තැබිය හැකියි. නිරතුරුව ධාන්‍ය තොගය පරීක්ෂා කළ යුතුයි. මේ සියල්ලෙන් ධාන්‍යවල ආහාරයට ගැනීමට ඇති සුරක්ෂිතතාවය තහවුරු වනවා පමණක් නොව පසු අස්වනු හානිය ද ඉතා අවම වෙනවා. ධාන්‍යවල පසු අස්වනු හානියෙන් අඩක්ම සිදු වන්නේ ගබඩාව තුළදී බව වැඩි දෙනෙක් දන්නේ නෑ.
- ගොවියා අතින් පමණක් නෙමෙයි රජයේ ගබඩාවලත් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොග පිටින් විනාශ කරන අවස්ථා තිබෙනවා නේද?
ඔව්.ගොවියා අතින් වුණත් මහා පරිමාණ ගබඩාවක වුණත් සිද්ධ වෙන්නේ එකම ක්‍රියාවලියක්. ගබඩා කිරීම සහ ගබඩා කරන අස්වැන්නේ ප්‍රමිතිය නැත්නම් ඒ අස්වැන්න කාලයක් තබාගන්න බෑ. නමුත් නිවැරැදිව මේ කාර්ය කරනවා නම් වී අවුරුද්දක් පමණ කිසිදු ගැටලුවක් නැතිව සුරක්ෂිතව ගබඩා කර තැබිය හැකියි. මේ නිසා අපි අවධාරණය කරන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන කෘෂිකර්මාන්තය ඉහළ තැනකට ඔසවා තැබීමට නම් අනිවාර්යෙන්ම පසු අස්වනු තාක්ෂණය නිවැරැදිව භාවිතා කළ යුතුමයි.
දිනමිණ පුවත්පත ඇසුරිණි