ඈත අතීතයේ සිටම අපේ රටේ පැවති පැරැණි ග්‍රාමීය කර්මාන්තයක් ලෙස කිතුල් කර්මාන්තය හැඳින්විය හැකිය. අතීතයේ වී ගොවියා කුඹුරේ වැඩ අවසන් කොට සවස නිවෙසට පැමිණ සප්පායම් වූයේ කිතුල් රා කෝප්පයකිනි. ඒ තමන්ගේ ගෙවත්තේ ඇති කිතුල් ගසක් මැද සකස් කර ගත් රාවලිනි.

එදා සිටම කිතුල් පැණි සහ කිතුල් හකුරු ග්‍රාමීය නිවෙස්වල අඩුපාඩුවක් නැතිවම තිබිණි. මේ වන විට කිතුල් නිෂ්පාදන වාණිජ කර්මාන්තයක් වී අවසන් ය. අපේ රටේ කිතුල් පැණි සහ හකුරුවලට පිටරටවල ද ඇත්තේ හොඳ ඉල්ලුමකි. බදුල්ලේ විජේසිරි බණ්ඩාර මහතා සමාජ ව්‍යවසායකයකු ලෙස කිතුල් කර්මාන්තයේ යෙදෙන්නෙකි. මේ ඔහුගේ කතාවයි.
- ඔබ කරන දේවල් සහ ඒ සඳහා ඔබ යොමු වුණ ආකාරය පිළිබඳ ව පැහැදිළි කළොත්?
මම දැන් කරන්නේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන. මට රුහුණු විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධියක් තිබෙනවා. මම මේ ව්‍යාපාරය කරන්න පටන් අරගෙන අවුරුදු හතරක් පමණ. කලින් අර්ධ රාජ්‍ය ආයතනයක විධායක නිලධාරියකු ලෙසත් ඉන් පසු රාජ්‍ය නොවන ආයතනයකත් සේවය කළා. මේ ව්‍යාපාරය පටන් ගන්න ඕනෑ නිසයි මම රැකියාවෙන් අයින් වුණේ. රාජ්‍ය නොවන ආයතනයේ සේවය කරද්දි ගම සමඟ වැඩ කරන්න සිදු වුණා. එතැන දී මම දුටුවා මේ කිතුල් කර්මාන්තය. මෙය ග්‍රාමීය කර්මාන්තයක්. කිතුල් කියන්නේ හොඳ දේශීය නිෂ්පාදනයක් බව මම තේරුම් ගත්තා. කිතුල් ශාකය වෙනත් රටවල නැහැ. කිතුල් කර්මාන්තයේ නියැළෙන ගොවීන් හරිම දුක් මහන්සියෙන් තමයි මේ වැඩේ කරන්නේ. කිතුල් නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලුත් මේ අයට තිබුණා. මම එතැන දී තේරුම් ගත් දෙයක් තමයි මේ ව්‍යාපාරය අන්තර්ජාතික වශයෙන් ගෙන යා හැකි බව. මේ වෙන කොට අවුරුදු 25ක් වෙනවා. තවමත් ඌව පළාතේ මේ කර්මාන්තය එදා පැවති ආකාරයටමයි අදටත් තිබෙන්නේ. ඒත් මේ නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. තවමත් කිසිවකුත් සාම්ප්‍රදායික මට්ටමින් කිසිවකුත් මෙහි නියැළෙන්නේ නෑ.

මම දුටුවා බදුල්ලා දිස්ත්‍රික්කය තුළ මෙය වාණිජ මට්ටමින් ආරම්භ කළ හැකි බව. ඒ නිසා මම ඒ දේ කරන්න යොමු වුණා. සාම්ප්‍රදායික ගොවීන්ගෙන් ගන්නා පැණි යොදා ගෙන මම මේ වෙන කොට හකුරු සහ පැණි නිෂ්පාදනය කරනවා. මෙය සාම්ප්‍රදායික කර්මාන්තයක් වුණාට මම මේ සඳහා නව තාක්ෂණය යොදා ගන්නවා.
- මේ සඳහා කිසියම් අගය එකතු කළ නිෂ්පාදනත් ඔබ සකස් කරනවා ද?
නැහැ. එවැනි අගය එකතු කිරීමක් කරන්නේ නැහැ. නව තාක්ෂණය පමණයි එකතු කර තිබෙන්නේ.
- නව තාක්ෂණය යටතේ සකස් කරන කිතුල් පැණි සහ කිතුල් හකුරු දේශීය වෙළෙඳපොළ සඳහා ද විදේශීය වෙළෙඳපොළ සඳහා ද?
මම දේශීය වෙළෙඳපොළටත් විදෙස් වෙළෙඳපොළටත් යන දෙකටම යවනවා. ඇත්තටම ශ්‍රී ලංකාවේ වගේම පිටරටවලටත් මේ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. මම තාම කෙළින්ම විදෙස් වෙළෙඳපොළට බඩු යවන්නේ නැහැ. වෙනත් අය හරහායි යවන්නේ. එංගලන්තය, මැලේසියාව සහ ජර්මනිය වැනි රටවලට මගේ මේ නිෂ්පාදන යවන්න මට පුළුවන්කම ලැබී තිබෙනවා.
- මේ සඳහා කිතුල් පැණි සපයා ගන්නේ කොහොම ද? ඔබ වටා කිතුල් ගොවියන් සිටිනවා ද?
බදුල්ල දිස්ත්‍රික්කය තුළින්ම තමයි මට අමුද්‍රව්‍ය ලැබෙන්නේ. මේ සඳහා තෝරා ගත් ගම්මාන කිහිපයක් තිබෙනවා. තෝරා ගත් ගොවි පිරිසකුත් සිටිනවා. මේ සඳහා ගොවි සමිති තිබෙනවා. ඔවුන් තමයි මට අමුද්‍රව්‍ය සපයන්නේ.

- මේ ව්‍යාපාරයත් සමඟ ඔබ කිසියම් පිරිසකට රැකියා දී තිබෙනවා ද? කොහොම ද මේ කටයුතු සිදු වන්නේ?
මෙය සෘජු සහ වක්‍ර රැකියා කියා වෙන් කරන්න පුළුවනි. සෘජු රැකියා පහකුත් ගොවීන් හැරුණාම වක්‍ර රැකියා හයක් දී තිබෙනවා.
- මෙම ග්‍රාමීය කර්මාන්තය තෝරා ගැනීමේ දී ඔබ මුහුණ පාන ගැටලු මොනවා ද?
මෙය කර ගෙන යද්දී ප්‍රධානම ගැටලුව තමයි හොඳ අමුද්‍රව්‍ය සොයා ගැනීම. බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි හොඳ කිතුල් හකුරු සහ හොඳ කිතුල් පැණි නැහැ කියන දෙය. ඊට ප්‍රධාන හේතුව තමයි පැණිවලට විවිධ දේවල් මිශ්‍ර කිරීම. එය අපට තිබෙන අභියෝගයක්. ඒකට හේතුව විදියට මම දකින්නේ මේ කර්මාන්තකරුවන් කිතුල් ගොවියන්ට සාධාරණ මුදලක් ගෙවන්නෙ නැති වීම. අඩු මුදලට ඉල්ලන නිසා ගොවියන් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය අඩු කරලා දෙනවා. අපි මේ දේ වෙනස් කළත් තවමත් ඒ අභියෝගය අපට තිබෙනවා.
මෙය කර්මාන්තයත් වුණාට තේ වතු, රබර් වතු, පොල් වතු වගේ කිතුල් වතු නැහැ. කිතුල් ගස් වැවෙන්නේ වැසි වනාන්තර ආශ්‍රිතව. මේවා සතුන් මඟින් රෝපණය වෙන ඉබේ වැවෙන ගස්. ඒත් මේ විදියට රෝපණය වෙන ඒවා සංරක්ෂණය නොවීමත් ගැටලුවක්. මේ නිසා වනය තුළ තිබෙන කිතුල් ගහණය එන්න එන්නම අඩු වී යනවා. ගස් වැවෙන්නෙත් බොහෝ විට ළඟා වෙන්න අමාරු තැන්වල. ඒ වගේම තරුණ පරම්පරාව මේ කර්මාන්තයට නැඹුරු වීම අඩු මට්ටමක පැවතීම තවත් ගැටලුවක්.
- මේ කර්මාන්තය සඳහා ඔබ නව තාක්ෂණය යොදා ගන්නා බව පැවසුවා. එය කෙරෙන්නේ කොහොම ද?
කිතුල් පැණි හෝ හකුරු වැඩි කල් තබා ගන්න බැහැ කියන දේ කවුරුත් දන්න දෙයක්. ඒවා දිය වෙනවා. තෙලි දියෙන් හදන පැණිවල ඉක්මණින් බැක්ටීරියා වර්ධනය වෙනවා. ඒකයි දිය වෙන්නේ. මෙය අපට ලොකු ගැටලුවක්. බස් එකක පැණි බෝතලයක් අරන් ගියොත් එය පුපුරනවා. හකුරු නම් දිය වෙනවා. මෙය වළක්වා ගැනීම සඳහායි මම නව තාක්ෂණය යොදා ගන්නේ. මට ඒ සඳහා උදවු කරන ආයතන තිබෙනවා.
විශේෂයෙන් කියන්න ඔිනෑ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඒ සඳහා උදවු කරනවා. එම විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ අංශය විසින් එම තාක්ෂණ දැනුම මට ලබා දුන්නා. ඒ සමඟම මමත් යම් යම් දේවල් ප්‍රායෝගිකව අත්හදා බලලා දැනුම ලබා ගත්තා. දැන් මට පුළුවන් පැණි බෝතලයක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් කල් තබා ගන්න හැකි විදියට හදන්න. මේ සඳහා කිසිම රසායනික ද්‍රව්‍යයක් දමන්නේ නැහැ.

- ඌව විශ්වවිද්‍යාලය හැරුණු විට ඔබට මේ දේවල් කිරීමට සහයෝගය ලැබුණේ කාගෙන් ද?
කාර්මික සංවර්ධන මණ්ඩලය, ක්‍රිසරිස් ආයතනය, බ්‍රිතාන්‍ය කවුන්සිලය මේ සඳහා මට ලොකු සහයෝගයක් දුන්නා. කාර්මික සංවර්ධන මණ්ඩලය මඟිනුත් තාක්ෂණ දැනුම ලබා දුන්නා. ක්‍රිසරිස් ආයතනයෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ මෙම කර්මාන්තය කර ගෙන යැම සඳහා මූල්‍ය ආධාර දුන්නා. මට අවශ්‍ය මූලික උපකරණ සියල්ල මිල දී ගැනීම සඳහායි එය මට ලැබුණේ. යුරෝපීය සංගමයේ එන්ටප්‍රයිස් ව්‍යාපෘතිය හරහා තමයි මේවා ලැබෙන්නේ. සමාජ ව්‍යවසායකයෙක් බිහි කිරීම මෙහි එක ව්‍යාපෘතියක්. එය ක්‍රියාත්මක කරන්නේ බ්‍රිටිෂ් කවුන්සිලය සහ සර්වෝදයේ සීස් ආයතනය. මෙහි පුහුණුවීම් සහ වැඩමුළුවලට මම සහභාගි වුණා. සමාජ ව්‍යවසායකත්වය මම අහලා තිබුණට එය මොකක් ද කියලා දැනගෙන සිටියෙ නැහැ. එය ලෝකයේ නව ප්‍රවණතාවක්. ලෝකයේම ක්‍රියාත්මක වෙන්නේ සමාජ ව්‍යවසායන්.
- සමාජ ව්‍යවසායකයකු විදියට ඔබට සමාජයේ තිබෙන පිළිගැනීම සහ ප්‍රතිරූපය ගැන පැහැදිලි කළොත්?
අපේ රටේ ව්‍යාපාරවල සංස්කෘතියක් නැහැ. මමත් හොඳ ව්‍යාපාරිකයෙක් විදියට හැමෝම දකිනවා. ඇත්තටම අපි සමාජ ව්‍යවසායකයෙක් විදියට සමජාගත වෙලා නෑ. ඒ දේ අපිම කියලා අපේ වැඩපිළිවෙළ ගැන කිව්වාම ඕනෑම ආයතනයක් අප සමඟ ගනුදෙනු කරන්න කැමති වෙනවා. අප සමඟ ගනුදෙනු කරන පාර්ශ්වකරුවන් අපට ඉතා හොඳ ප්‍රතිචාර දක්වනවා. අපට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. සමාජ ව්‍යවසාය කියන දේ සමාජගත කරන්න ඔිනෑ. සමාජ ව්‍යවසායකයෙක් විදියට මම කරන්නේ මම උපයන ලාභෙන් කොටසක් මා සමඟ වැඩ කරන සාම්ප්‍රදායික කිතුල් ගොවීන්ගේ සුබ සාධනය සඳහා යොදවනවා.
- ඔබගේ අනාගත ඉලක්ක මොනවා ද?
මේ කිතුල් කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේණික නිෂ්පාදනයක් වුණාට මෙහි ව්‍යාප්ත වීම ඉතා අඩුයි. මගේ ඉලක්කයක් තමයි ලෝකයේ අනෙක් රටවලටත් අපේ කිතුල් පැණි සහ හකුරු ව්‍යාප්ත කිරීම. ඒ වගේම තේ වතු, රබර් වතු වගේ කිතුල් වතු මේ සමාජය තුළ ස්ථාපිත කිරීමත් මගේ තවත් ඉලක්කයක්. කිතුල් වගාව සංරක්ෂණය කිරීම සඳහා දායකත්වය දෙන්නත් මම වැඩපිළිවෙළක් සකස් කරනවා. අපේ රටේ මුඩු ඉඩම් ඕනෑ තරම් තිබෙනවා. මට මේ සඳහා රජයෙන් මැදිහත් වෙලා අක්කර දෙකක් ලබා දෙනවා නම් මට ඒ දේ කරන්න අපහසු නැහැ. වගා කිරීම සඳහා රජයෙන් ඉඩම් ලබා දෙන සම්මුඛ පරීක්ෂණයකටත් මම සහභාගි වුණා. ඒ සඳහා ව්‍යාපෘති වාර්තාවකුත් ඉදිරිපත් කළා. ඒත් තවම ඉඩමක් ලැබුණේ නැහැ.
විජේසිරි බණ්ඩාර බණ්ඩාර මහතාගෙන් කිතුල් කර්මාන්තය පිළිබඳ කිසියම් උපදෙසක් ගැනීම සඳහා ඕනෑම කෙනකුට info@dunhindanaturals.com යන ඊ මේල් ලිපිනය ඔස්සේ ඔහු හා අදහස් හුවමාරු කර ගත හැකිය.
චතුමී පිටිපන – දිනමිණ ඇසුරිනි