‘ආක්‍රමණශීලී නිදිකුම්බා‘ විශේෂයක් පුත්තලමේ ගොවිබිම්වල !

දුටු තැන වනසා දමන්න – කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලීමක්

පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවි බිම් ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන ආක්‍රමණශීලී ශාඛයක් ලෙස හඳුනා  ගෙන ඇති Mimosa diplotricha  නම් වූ නිදි කුම්බා විශේෂය වල් නාශක යොදා විනාශ කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පවසන්නීය.

පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය Mimosa diplotricha  නම් වූ නිදි කුම්බා විශේෂය පරීක්ෂා කරන අයුරු

හලාවත, ආණමඩුව සහ මදුරන්කුලිය යන ප්‍රදේශ වල මෙම නිදි කුම්බා විශේෂය දක්නට ඇති බවද නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය පවසන්නීය.

අඩි 04 – 05ක් උසට වැවෙන මෙම ශාඛයේ රෝස පාට මලක් දක්නට ඇත. පොකුරු වශයෙන් හට ගන්නා බීජ වියලීමෙන් අනතුරුව පැතිර යාම සිදු වන බවට හදුනා ගෙන ඇත.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ වූ කාලයේ මෙම නිදි කුම්බා විශේෂය මෙරට ආක්‍රමණය කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි කෘෂිකර්ම නිලධාරීන් සදහන් කරයි.

මෙම ශාඛායේ බීජ වසර 20 – 30ක් අතර කාලයක් පොළවේ නිරුපද්‍රිතව රැදී සිටින බැවින් විනාශ කිරීම අසීරු වී ඇති බවද කෘෂිකර්ම නිලධාරීන් සඳහන් කරයි.

මෙම නිදි කුම්බා විශේෂය ඉතා කුඩා කාලයේදී එනම් මල් පිපෙන්නට පෙර ගලවා පුළුස්සා දැමීම ඉතාමත්ම සුදුසු ක්‍රමය වන නමුත් වැඩී ඇති ශාඛ විනාශ කිරීම සදහා වල් නාශක යෙදීමට තීරණය කළ බවද කෘෂිකර්ම නිලධාරීන් සඳහන්කරයි.

Mimosa diplotricha  නම් වූ නිදි කුම්බා විශේෂය වල් නාශක යොදා විනාශ කිරීම මේ වන විට ආරම්භ කර ඇති අයුරු

දැනට වගා නොකර අතහැර ඇති මුඩු බිම්වල මෙම ආක්‍රමණශීළී ශාඛය සීඝ්‍රෙයන් පැතිර යන බැවින් හැකි තරම් ඉඩම් වගා කිරීම තුළින්ම මෙම නිදි කුම්බා විශේෂය පැතිර යාම වළක්වා ගත හැකි බවද කෘෂිකර්ම නිලධාරීන් සඳහන්කරයි.

දැනට මෙම ශාඛය පැතිර යන බවට හඳුනා ගෙන ඇති ප්‍රදේශ වල ගොවීන් සහ පාසල් සිසු සිසුවියන් දැණුවත් කිරීමේ වැඩ සටහනක් ඉදිරියේදී ආරම්භ කරන බවද පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පවසන්නීය.

එමෙන්ම යම් බිමක මෙම නිදි කුම්බා විශේෂය දක්නට ලැබුණහොත් කඩිනමින් කෘෂිකර්ම උපදේශකවරයා දැණුවත් කිරීමට කටයුතු කරන ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සටහන සහ ඡායාරූප – ජූඩ් සමන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *