අපිට අරගල කරන්න, රට අල්ලන්න යන්න විදිහක් නැහැ. ගොවිතැන්බත් කරන්න තියෙනවා. අපි අහස් දියෙන් තමයි වගාව පටන් ගන්නේ. අපි තමයි ඉක්මනටම වගාව අවසන් කරන්නේ. සත්තු එන්න කලින් අපි අස්වැන්න ගෙට ගන්නවා.
ගලෙන්බිඳුනුවැව නාමල්පුර පහලයාය අක්කර පන්තිය ප්‍රදේශයේ ගොවීන් මේ දිනවල අහස් දියෙන් කැකුළමට වී වැපිරීම සඳහා බිම් සකසමින් සිටියි. වසර ගණනාවක සිට අහස් දියෙන් එක කන්නයට එක යායට එක වෙලාවකට වැඩ කිරීම නිසා ඔවුන් රසායනික පොහොර, කෘමිනාශක හෝ වල් නාශක යෙදීමෙන් තොරව සාර්ථක අස්වැන්නක් ලබා ගනියි.
ඒ පිළිබද අදහස් දක්වමින් ප්‍රදේශයේ පාරම්පරික දේශීය වී වගාකරුවෙකු වන කේ.ජි. ලක්ෂ්මන් විජේරත්න මහතා පැවසූයේ පළමු වැස්සත් සමග ඔවුන් නියර රැහීම අරඹන බවයි. සිය මුතුන් මිත්තන් අනුව යමින් අවස්ථා තුනක දී සී සෑම හා වතුර බැඳීම සිදුකරන ඔවුන් ඒ ඔස්සේ වල් මර්දනය සිදු කරයි.

රසායනික පොහොර ඉල්ලා බොහෝ ගොවීන් මහමග අරගල කරන පසුබිමක තමන් ඇතුළු ගොවීන් මේ වන විටත් කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීම් ආරම්භ කොට ඇති බව පහලයාය ප්‍රදේශයේ ගොවියකු වූ කේ .එන්. විජේරත්න මහතා අප සමග පැවසීය. ඔහු වැඩිදුරටත් සදහන් කළේ බෞද්ධයකු ලෙස බුදුරජාණන් වහන්සේට පූජා කරන මංගල අස්වැන්න කිසිදු ආකාරයේ වසවිසකින් තොරව පූජා කිරීම සිය අපේක්ෂාව බවයි.
තම ගම්මානයේ ගොවියන් රසායනික පොහොර නොමැතිව දේශීය වී සහ එළවළු වගාව සිදු කරන ආකාරය පිළිබඳව පලුගස්වැව නාමල්පුර ප්‍රදේශයේ පදිංචි කේ.ජි. ලක්ෂ්මන් විජේරත්න මහතා අප වෙත මෙලෙස අදහස් දැක්වීය.
“අපේ ප්‍රදේශයේ වැඩි දෙනෙක් ගොවිතැන් කරලා ජීවත් වෙන අය. මෙහෙ ගොවිතැන් වර්ග කීපයක් ම තියෙනවා. අහස් වැස්සට ගොවිතැන් කරනවා, හේන් ගොවිතැන් කරනවා, වී ගොවිතැන් කරනවා, එළවළු ගොවිතැන් කරනවා. ඒ වගේම අක් වැස්සට වපුරනවා, දූවිල්ලට වපුරනවා, කාබනිකව වගා කරනවා තවත් පිරිසක් රසායනික ද්‍රව්‍ය යොදා වගාකරනවා.
මගේ තාත්තා නැති වුණාට පස්සේ ගොවිතැන් කරන්න මම මැදිහත් වුණා. මම අවුරුදු දාහතක් තිස්සේ වගා කරනවා. මේ කාලය පුරාවටම මම රසායනික පොහොර කෘමිනාශක හෝ ඔය කියන වල්නාශක මොනවත් පාවිච්චි කරලා නැහැ. අක්කර දහයක් පුරාවට දේශීය වී වගා කළේ මගෙ හයියෙන්.
මිනිස්සු වල්නාශක ඉල්ලලා මොර දෙනවා හැබැයි කුඹුරකට වල්නාශක ගහලා පස විනාශ කරලා පසේ ඉන්න සතුන් විනාශ කරගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. වල් ගහ කියන්නේ ගොයම් ගහකට අත්‍යවශ්‍යම දෙයක්. ඒ විතරක් නෙවෙයි වල් ටික අවසානයේදී වගාවට ම පොහොර වෙනවා. ඒක අපේ මිනිස්සු දන්නේ නැහැ.

අපි අවස්ථා තුනක් සී සෑම සිද්ධ කරනවා. පළවෙනි පාර සම්පූර්ණයෙන්ම හාලා යම් මට්ටමකින් වතුර බැඳලා තියෙනවා. සතියක් යනකොට මුළු යායෙම තණකොළ ටික කුණු වෙනවා. දෙවෙනි පාර හාන කොට ඉතුරු වල් ටික විනාශ වෙනවා. ඊට පස්සේ නියර බැඳලා කාබනික පොහොර ටික දාලා ආපහු මඩ කරලා පැළ හිටවනවා. නැත්නම් වපුරනවා. එතකොට ඔය කියන තරම් වල් එන්නේ නැහැ. කාටහරි කියන්න පුළුවන් තුන් පාරක් වියදම් කරන්න සල්ලි නැහැ කියලා. හැබැයි අපි පණුවන්ටයි, වල් වලට ගහන තෙල්වලටයි, දියර පොහොරවලටයි වියදම් වෙන මුදල ගණන් හදලා බලපුහාම එක හීයක් වැඩි කරගන්න එක පාඩුවක් නෙවෙයි. ඒක මිනිස්සු දන්නෙ නෑ.
අනික තමයි මුළු යායම එකට වැඩ කරන්න ඕන .ඒක තමයි හැමදේටම වඩා හොඳම දේ. මොකද මිනිස්සු වගේ නෙමෙයි සත්තු. ඒ අය පැටවු දාන්නේ එකතු වෙන්නේ එක කාලෙකට විතරයි. අපේ පැරැන්නන් ඒ කාලේ හරියටම දැනගෙන තමයි ගොවිතැන් බත් කළේ. මේ සත්තු බෝ වෙන්න කලින් ගොවිතැන් බත් කරන්න තමයි අපේ ගොවින් කල් බලලා තියෙන්නේ.
නියම කාලය බලලා වගා කළහම ඔය කියන කෘමීන්ගේ හානි එන්නේ නැහැ. අඩුම තරමේ අපි වගේ අයගෙන් දැනුම අරගෙන ඒවා ජනතාවට ලබා දීලා මේක කළා නම් මිනිස්සු ඔහොම වෙන්නෙ නෑ. අඩුම තරමේ එක කන්නයක් ආදර්ශයක් හැටියට මුළු රටම එකතු වෙලා වගා කරමු.
හැබැයි අපේ අය පුරුදු වෙලා ඉන්නේ වෙනත් මොනවා හරි රස්සාවක් කරන අතරතුරේ ගොවිතැන් කරන්න. එක පැත්තකින් හාගෙන යනවා අනිත් පැත්තෙන් බීජ ගහගෙන යනවා. එතකොට තණකොළ ටික එනවා. කඩේ තියෙන වල්නාශක ගෙනල්ලා ටැංකිය බැඳගෙන ගහනවා. පොහොර ටික නෑ. රසායනික පොහොර ටික හැමතැනටම හලනවා. ආපහු ඇවිල්ලා භූතයා දාලා කපාගෙන යනවා. ගොවිතැන් කියන්නේ ඕකට නෙවෙයි. මේක හරියට බොයිලර් කුකුල්ලු හදනව වගේ වැඩක්. එහෙම ගොවිතැන්බත් කරන්න බෑ. මේවා බුද්ධ බෝග.

ඕනෑම කෙනෙකුට අපි ආරාධනා කරනවා. රසායනික කිසිවක් නැතිව ගොවිතැන් කරන හැටි පෙන්වලා දෙන්න අපිට පුළුවන්. දේශීය වී වර්ග මා ළඟ තියෙනවා. මේවා මහා පොලොවට හොඳට හුරුයි. එක වී ඇටයකින් පඳුරු විස්සක් එනවා. මේවා ලෝකෙ කොහේවත් නැති වී. ඒ වගේ ම තමයි එළවළු වගාව. මිනිස්සු පස හෝ ප්‍රදේශය හඳුනාගෙන නෙවෙයි වගාවට බහින්නේ. ඉස්සර වන්නිය පැත්තේ ගියාම තියෙන වගාවන් වෙනස්. නුවර කලාවිය පැත්තෙ මිනිස්සු කුරහන් වවනවා, තල වවනවා, කැකිරි හදනවා. මෙන්න මේ වගේ වෙනස් වගාවන් තමයි තිබුණේ.
දකුණු පැත්තට ගියාම තුඹ කරවිල, දිග මෑ කරල් වගේ බෝග තමයි වගා කළේ. එතකොට කන්ද උඩරට ප්‍රදේශ වලට ගියාම ඒ අය අපට කැරට්, ලීක්ස්, ගෝවා ආදී එළවළු දුන්නා. හොඳ කළමනාකරණයකින් වගා කරල අපේ මිනිස්සු ආහාරයට ගත්තා.
අනුරාධපුරයේ ,පොළොන්නරුවේ ,පදවියේ ,කැබිතිගොල්ලෑවේ යනකොට එහෙමත් නැත්නම් රටේ අනිත් පළාත්වල මිනිස්සු රජරට පැත්තෙ වන්දනාවේ එනකොට අරන් ගියේ තල පැකට් එකක්, කුරක්කන් කිලෝවක්, කව්පි කිලෝවක් මෙන්න මේ වගේ දේවල්. උතුරු පළාතේ ගියාම වෙනත් දේවල්. ජනතාව දන්නවා කන්ද උඩරට ප්‍රදේශ වලට සංචාරයක හරි වෙන මොකක් හෝ ගමනක් ගියාම මොනවද අරන් එන්නෙ කියලා මිනිස්සු දන්නවා. හැබැයි දැන් ලංකාවේ කොහේ ගියත් ඕනෑම තැනකින් ඕනෑම දෙයක් සල්ලි වලට ගන්න තියෙනවා. අපේ රටේ වගා ක්‍රමවේදය වෙනස් කිරීම් සඳහා කාලය ඇවිල්ල තියෙන්නේ. පළාතේ ආවේණික වගාවන් සිද්ධ කළාම ඔය කියන වල්නාශක කෘමිනාශක ඕනෙ නෑ.”
ගලෙන්බිඳුනුවැව පාරම්පරික ගොවි මහතෙකු වූ කේ.එන්. විජේරත්න මහතා ද මෙහිදී අප වෙත අදහස් දැක්විය.
“අපිට අරගල කරන්න, රට අල්ලන්න යන්න විදිහක් නැහැ. ගොවිතැන්බත් කරන්න තියෙනවා. අපි අහස් දියෙන් තමයි වගාව පටන් ගන්නේ. අපි තමයි ඉක්මනටම වගාව අවසන් කරන්නේ. සත්තු එන්න කලින් අපි අස්වැන්න ගෙට ගන්නවා. මැද කන්න වගා කරනවා. ඒ කන්නෙට මම දැම්මේ කුරක්කන්. කිව්වට විශ්වාස කරන්නේ නැහැ මගේ කුරහන්වල කරල් කපලා නැවත අවස්ථා හතරක් එකම ගහෙන් කුරක්කන් කැපුවා. ඕනෙනම් දැන් කුඹුරට ආවොත් ඕනෑම කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඒ තරම් ඵලදාවක් තියෙනවා.

මිනිස්සු මේක දන්නේ නැහැ. දවස් හතලිස් පහෙන්, මාස දෙකෙන් අස්වැන්න අරගෙන ආපහු වගාවකට යන්න තමයි හුරු වෙලා තියෙන්නෙ ආර්ථිකය නිසා වෙන්න ඇති. ඒත් අපේ පැත්තේ මිරිස් ගහක් හැදුවොත් අවුරුදු හතරක් කන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ පැත්තට ආවේණික එළවළු ටික හදා ගත්තම විශාල කාලයක් ඒකෙන් අස්වනු නෙලන්න පුළුවන්. අපේ පැත්තේ වම්බටු හැදුවම ඒකෙ ඵල දරලා ඉවර වුණාම නැවත කප්පාදු කරනවා. වැස්සට ආපහු දළු දානවා.
වස විස පුරවලා අපේ දරුවන්ට කන්න දෙන්න පුලුවන්ද? අපි වක්කඩෙන් වතුර ටිකත් බීපු මිනිස්සු. අපේ වෙල්වල තාමත් අපි වක්කඩට අත තියලා වතුර බොනවා. මොකද අපි වස ගහන්නේ නැහැ. අපි කුඹුරුවලට අදටත් ඇවිල්ල නියරේ තියෙන මෑ කරල් අමුවෙන් කාලා, බණ්ඩක්කා කරල් අමුවෙන් කාලා, කැකිරි ගෙඩිය වතුර තිබහට කාලා තමයි වැඩ කරන්නේ. මේවා අපට නම් සාමාන්‍ය දේවල්. බටහිර වගාව අපිට කියලා දෙන අයට මේවා හුරු නෑ තමයි. ඒ නිසා අපිට ඔය කියන රෝග එකක්වත් නෑ. හොඳට කන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. යක්කු වගේ අපේ මිනිස්සු වැඩ. ඔය රට පනහක ලෙඩ අපේ ගමේ මිනිස්සුන්ට නෑ. වකුගඩු රෝග කියලා අපේ එවුන් මැරිල නෑ. හැබැයි අපේ පැත්තේ බොහෝ දෙනෙක් මේ වන විටත් ඇවිදින මළකඳන් බවට පත්වෙලා. අපි කීපදෙනා ඉන්න ගමේ නැතුවාට, අවට ගම්වල අපි දකිනවා සිද්ධවෙලා තියෙන විනාශය.
අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා එක යායට එක වෙලාවකට වැඩ කරන්න මේ රට හුරු කරන්න කියලා. ගොවිතැන්බත් කරද්දි මේක ඉතා සූක්ෂම ලෙස වෙනස් කරලා තියෙන්නේ. ඔය කියන රසායනික කොම්පැනිකාරයන්ට ඕන විදිහට. කොම්පැනි කාරයෝ දන්නවා සත්තු එන කාලය, කෘමීන් හැදෙන කාලය. ඒ වගේම වැස්ස ඇවිල්ලා ජලාශ ගොවිතැන් විනාශ වන කාලය. දිලීර හටගන්න කාලය. අන්න ඒ කාලෙට තමන්ගේ නිෂ්පාදන ගොවීන්ට විකුණන්න තමයි මේවා කරන්නේ. ඉතා සූක්ෂම ලෙස සිද්ධ කරන මේ මහා අපරාධය ගැන සොයල බලන්න තරම් ගමේ ඉන්නේ ඉගෙන ගත්ත මිනිස්සු නෙවෙයි. හැබැයි අපි දන්නවා කන්නෙට කාලෙට වෙලාවට වැඩ කළේ නැත්නම් ගොයමට කුඹුරට වගාවට පැලට නියරට කමතට වෙන දේ.
සටහන හා ඡායාරූප – කාංචන කුමාර ආරිදාස