ලෝක ආහාර දිනය: අපි ‘ඉහළ යන බඩු මිලට පුරුදු විය’ යුතු ද ?

පසුගිය සෙනසුරාදා ලෝක ආහාර දිනය සැමරුණේ “ආහාර සුරක්ෂිතතාව ගැන පෙර නොවූ විරූ ව්‍යසනකාරී තත්ත්වයක්” ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවමින් තිබියදී සහ ලොව පුරා ආහාර මිල බරපතල ලෙසින් ඉහළ යාම ගැන බිය පළවෙමින් තිබියදීය.

“ඉතියෝපියාවේ, මැඩගස්කරයේ, දකුණු සුඩානයේ සහ යේමනයේ ලක්ෂ පහකට ආසන්න පිරිසක් සාගතයක් හා සමාන තත්ත්වයකට මුහුණ දී සිටිති. මෑත මාස කිහිපය තුළ බුර්කිනා ෆාසෝ සහ නයිජීරියාවේ ඇතැම් ජනකොටස් ද ඒ හා සමාන තත්වයකට මුහුණ දුන්හ,” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

එසේ සාගතයකට මුහුණ දීමට ඉඩ තිබෙන මිලියන 41ක ජනතාවක් වෙනුවෙන් වහාම අරමුදල් ලබීදෙන මෙන් ද එක්සත් ජාතීන් ඉල්ලා සිටියේය.

The Hunger Project නම් පුණ්‍යායතනය පවසන පරිදි ලොව පුරා වෙසෙන මිලියන 690ක ජනකායක් සාගින්නෙන් පෙළෙන අතර, එයින් 60% ක්ම කාන්තාවන්ය; එමෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තවත් මිලියන 850ක් දරිද්‍රතාවෙන් පෙලීමේ අවදානමක් පවතී.

මේ, ආහාර මිල ඉහළ යාම ලොව පුරා ජනතාවට බලපාන්නේ කෙසේද සහ එයට විසඳුම් වශයෙන් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ගෙන තිබෙන නිර්මාණශීලී පියවර පිළිබඳ විමසුමකි.

මුලින්ම ආහාර මිල ඉහළ යන්නේ මන්දැයි විමසමු.

ආහාර මිල ඉහළ යන්නේ ඇයි?

The pandemic led to a shortage of ketchup sachets as demand for takeaways soared

පශ්චාත්-වසංගත සමයේ සෑම ක්ෂේත්‍රයකම දක්නට ලැබුණ ඉහළ උද්ධමනය හේතුවෙන් ‘ඉහළ යන ආහාර මිලට පුරුදු වීමට’ ජනතාවට සිදුවනු ඇති බවට දැවැන්ත ජාත්‍යන්තර ආහාර සමාගමක් වන Kraft Heinz සමාගමේ ප්‍රධානී Miguel Patricio අනතුරු අඟවා තිබුණි.

ඉන්දියාවේ මුම්බායි නුවර Raah පදනමේ නිර්මාතෘ ආචාර්ය සාරිකා කුල්කාර්නි (Dr Sarika Kulkarni) ද එම අදහස අනුමත කරයි.

ආචාර්ය කුල්කාර්නි සහ Raah පදනම ඉන්දියාවේ ආදිවාසී ජනතාව වෙත වඩා යහපත් දිවි පෙවෙතක් ලබාදීම උදෙසා කටයුතු කරමින් සිටියි.

වසංගත සමය තුළ බොහෝ රටවල ආහාර බෝගවල සිට එළවලු තෙල් දක්වා වූ අමුද්‍රව්‍ය නිෂ්පාදනය බිඳ වැටුණි. වසංගත තත්ත්වය තරමක් දුරට පහව යාමෙන් අනතුරුව මෙම අමුද්‍රව්‍ය සැපයීම යළි ආරම්භ වුවද, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට බොහෝ නිෂ්පාදකයින් අසමත්වීම ආහාර මිල ඉහළ යාමට එක් හේතුවකි.

ඉහළ වේතන සහ බලශක්ති මිල ද නිෂ්පාදකයින් කෙරෙහි එල්ල වූ පීඩනයට දැඩි කිරීමට හේතු වී තිබේ.

ආහාර මිල, වෙළෙඳපොලේ ඉල්ලුම සහ සැපයුම් අතර පරතරය මත තීරණයේ කෙරෙන්නක් බව බීබීසී සමග අදහස් දක්වමින් කියා සිටි ආචාර්ය කුල්කාර්නි, “ලෝක ජනගහනය දිනෙන් දින වර්ධනය වෙමින් ආහාර සඳහා ඉල්ලුම ඉහළ යන අතරවාරයේ, ජල හිඟය, පසේ සාරවත්භාවය අඩුවීම, දේශගුණ විපර්යාස වැනි විවිධ හේතු නිසා කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා අක්කර ප්‍රමාණය අඩුවීම,” වැනි කරුණු ද එයට බලපාන බවත් පෙන්වා දුන්නාය.

“ගොවීන් බොහෝ අභියෝගවලට මුහුණදෙමින් ඉන්නවා. ඒක ඉහළ යන ආහාර මිලෙන් පෙන්නුම් කෙරෙනවා.”

ශ්‍රී ලංකාවේ තත්ත්වය

ආහාර මිල

ශ්‍රී ලංකාවේ ද ආහාර මිල ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර සහල්, තිරිඟුපිටි, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ගවල තොග මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ප්‍රමාණයකිනුත්, ධාන්‍ය හා පලතුරු ඇසුරෙන් නිපදවන අතුරු නිෂ්පාදනවල මිල එයටත් වඩා ඉහළ ගොස් ඇති බව විශේල්ෂකයෝ පවසති.

විශේෂයෙන්ම ගතව ගිය මාස කිහිපය තුළ අත්‍යවශ්‍ය ආහාර මිල එසේ ඉහළ යාම හමුවේ ආණ්ඩුව ඇතැම් ආහාර සඳහා පාලන මිලක් ද නියමකොට, විශේෂ හදිසි නීති රෙගුලාසි ද පැනවීය.

එහෙත් පාලන මිලක් නියම කරමින් ආණ්ඩුව නිකුත් කළ බොහෝ ගැසට් නිවේදන ඉක්මනින්ම යළි සංශෝධනය කෙරුණු අතර, විරුද්ධ පක්ෂ චෝදනා කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව පාරිභෝගික ජනතාව විඳින පීඩාව කෙරෙහි අවධානය යොමුකරනු වෙනුවට ව්‍යාපාරික ‘මාෆියාවකට’ අවශ්‍ය පරිදි කටයුතු කරන බවය.

විශේෂයෙන්ම සහල් මිල පාලනය කරන බවටත්, සඟවා තිබෙන සහල් තොග පවරා ගෙන වෙළෙඳපොළට මුදාහරින බවටත් ආණ්ඩුව ප්‍රතිඥා දී දින කිහිපයක් ගතවෙත්ම මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් මාධ්‍ය හමුවේ සහල් මිල නියම කිරීම ද සමාජ මාධ්‍ය හමුවේ දැඩි විවේචනයට ලක්විය.

එහෙත් රජය පවසන්නේ පාලන මිල ඉවත්කිරීම තුළින් ජනතාවට හිඟයකින් තොරව ආහාර වය ලබාගැනීමේ හැකියාව ලැබෙන බවත් වෙළදුන් අසාධාරණ ලෙස මිල ඉහල දැමුවහොත් නැවතත් මිල පාලනය කරන බවට පැවසීය.

‘ආහාර වෙනුවෙන් ලිංගික පහස’

එක අතකට පමණක් ආහාර

මානවීය කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් මාටින් ග්‍රිෆිත්ස් පවසන පරිදි, “සාගතය දොරකඩට පැමිණෙන විට, වෙනත් බොහෝ තර්ජනවලට වඩා වෙනස් ලෙසින් එය සීග්‍රයෙන් පැතිර යයි.”

ඉහළ යන ආහාර මිල සහ දරිද්‍රතාව හමුවේ විශේෂයෙන්ම පීඩාවට පත්වන්නේ කාන්තාවන් සහ දැරියන්ය.

“තමන්ගේ පවුල්වලට කන්න දෙන්න විදියක් නැතිව සමහර වෙලාවට ආහාර වෙනුවෙන් ලිංගික පහස පුදන්න නැත්නම ළමා විව්වහ වගේ දේවලට පවා යොමුවෙන්න සිද්දවෙන කියල කාන්තාවෝ අපිට කියනවා,” මාටින් ග්‍රිෆිත්ස් පැවසීය.

Farm Radio International සංවිධානයේ කැරන් හැම්ප්සන පවසන පරිදි, ආහාර මිල ඉහළයාම හේතුවෙන් ලොව පුරාම බරපතළමා දුෂ්කරතාවන්ට මුහුණ දෙන එක් කණ්ඩායමක් වන්නේ කුඩා පරිමාණ වගාකරුවන්ය.

“වර්තමානයේ ආහාර මිල ඉහළයාම ඔවුන්ට දෙපැත්ත කැපෙන කඩුවක් වගෙයි. එක පැත්තකින් තමන්ට වවන්න බැරි ආහාර ඔවුන්ට මිලට ගන්න සිද්ද වෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ වියදම් ඉහළ යාමත් එක්ක ඔවුන්ට හාමතේ ඉන්න සිද්දවෙන්න පුළුවන්,” ඇය කියා සිටියාය.

“අනිත් පැත්තෙන්, අඩුම තරමේ න්‍යායාත්මකව බැලුවොත් ආහාර මිල ඉහළ යනව කියන්නේ ඔවුන්ගේ ආදායමත් ඉහළ යනවා කියන එක. නමුත් ප්‍රායෝගිකව ඒක එහෙම වෙන්න නෑ කියල අපි දන්නවා.”

මේ අතර ආචාර්ය සාරිකා කුල්කාර්නි පවසන්නේ, ආහාර මිල ඉහළ යාම හේතුවෙන් දිළිඳු පවුල්වල දරුවන්ට කුසගින්නේ සිටීමට පමණක් නොව මන්දපෝෂණය වැළඳීම ඇතුළු බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බවය.

“ආහාර මිල ඉහළ යාම නිසා බොහෝ ප්‍රජාවන් කුසගින්න, සෞඛ්‍ය ගැටලු සහ දරිද්‍රතාව කියන විෂම චක්‍රයේ හිරවෙනවා.”

මේ අතර දත්ත සහ සාක්ෂි රැස්කොට දරිද්‍රතාව දුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින The Development Initiatives ගෝලීය සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා හර්පින්දර් කොලාකොට් (Harpinder Collacott) පවසන්නේ, ආහාර මිල ඉහළ යාම හේතුවෙන් ලොව පුරා දැනටමත් දරිද්‍රතාවෙන් පීඩා විඳින විශාල පිරිසක් අන්ත දරිද්‍රතාවට ඇද වැටෙනු ඇති බවය.

කළ හැක්කේ කුමක්ද?

Maria Mchele with her fellow farmers in Tanzania

දිනෙන් දින ඉහළ යන ආහාර මිල හමුවේ සංවර්ධිත රටවල ජනතාව තමන් මිලදී ගන්නා සුඛෝපභෝගී භාණ්ඩ අඩු කිරීමට, හෝ විදේශීය නිවාඩු සඳහා වැයකරන මුදල් කපා දැමීම වැනි කරුණු කෙරෙහි යොමුවිය හැකි වුවද, දිළිඳු රටවල ජනතාවට, විශේෂයෙන්ම කාන්තාවට සිදුවන්නේ එදිනෙදා ආහාර පත සපයා ගැනීම පිණිස ඇතැම්විට සිය සිරුර පවා විකිණීමටය.

මෙහිදී එක්සත් ජාතීන් සහ අදාළ රටවල ආණ්ඩු තවමත් සාම්ප්‍රදායික මාර්ග අනුගමනය කරමින් සිටියදී, ලොව පුරා ඇතැම් පුණ්‍ය සංවිධාන ඉහළ යන ආහාර මිල සම්බන්ධයෙන් නිර්මාණශීලී පියවර ක්‍රියාවට නගමින් සිටිති.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කූ ඩොන්ගියු කියා සිටියේ, “ආහාර සහ ජීවිකාව සඳහා සහන සමගාමීව ලබා දිය යුතුයි,” යනුවෙනි.

එහෙත් හර්පින්දර් කොලාකොට් පවසන පරිදි මූල්‍ය ආධාර ලබාදීම තවදුරටත් දිළිඳුකම පිටුදැකිය නොහැකිය.

“ආණ්ඩු, ආයතන, ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන එකතුවෙලා, දිළිඳු ජනතාව ගැන තමන්ගේ ප්‍රධානම අවධානය යොමුකරල මේ තත්ත්වය වෙනසක්රන ගෝලීය ක්‍රියාමාර්ගයක් අපිට අවශ්‍යයි,” ඇය බීබීසී සමග කියා සිටියාය.

මේ අතර ආචාර්ය සාරිකා කුල්කාර්නි පවසන්නේ, ග්‍රාමීය ජනතාවට වැසි වතුර රැස් කිරීමට හැකිවන පරිදි අවශ්‍ය උපකරණ බෙදාදෙමින්, බීජ සහ කෘෂිකර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය අනෙක් මූලික ද්‍රව්‍යවල මිල අඩුකරමින් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් හඳුන්වා දිය යුතු බවය.

එවැනි වැඩපිළිවෙලක් දියත්කරමින් Raah පදනම ගතවගිය හත් වසර ඇතුළත ගම්මාන 105 කට වැසි වතුර රැස් කිරීමේ පහසුකම් ලබාදෙමින් ඉන්දියාවේ 30,000ක් ගෝත්‍රික ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දී තිබේ.

“නව ක්‍රියාදාමයන් හඳුන්වල දීල අපි පූර්ණ කාලීන රැකියාවක් විදියට කෘෂිකර්මාන්තයේ යෙදෙන්න තරුණ පරපුර දිරිමත් කළා,” ආචාර්ය කුල්කාර්නි මා සමග කියා සිටියාය.

තුන්වෙනි ලෝකයේ රටවල ග්‍රාමීය ජනතාවට වෙනත් ප්‍රදේශවල ආහාර මිල, කාලගුණය හෝ දියුණු වගා ක්‍රම ඇතුළු ආහාර පිළිබඳ නිසි තොරතුරු නොලැබීම ආහාර ගැටලුවට එක් ප්‍රධාන හේතුවක් බව මේ අතර කැරන් හැම්ප්සන් (Karen Hampson) පෙන්වාදෙයි.

මේ තත්ත්වය වටහාගත් කැනඩාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන Farm Radio International උප-සහරා අප්‍රිකාවේ සුලු පරිමාණ ගොවීන්ට තොරතුරු ලබාදීම පිණිස ගුවන් විදුලිය යොදාගනියි.

“නිෂ්පාදන වැඩි මුදලකට විකුණන්නේ කොහොමද වගේ නිවැරදි තොරතුරු ලබාදීල ගොවිපොළ රේඩියෝවට මේ තත්ත්වය වෙනස්කරන්න පුළුවන්,” ඇය බීබීසී සමග කියා සිටියාය.

සිය ගුවන් විදුලි වැඩසටහන් මගින් නිවේදනය කළ කාලගුණය, වඩා යෝග්‍ය බීජ වර්ග සහ වෙළෙඳපොලේ මිල ගණන් ඇතුළු තොරතුරු සිය ජීවිකාවට මහෝපකාරී වූ බව මෑතදී පවතී සමීක්ෂණයකදී ගොවීන් හෙළි කළ බවත් ඇය සඳහන් කළාය.

අනාගතය?

A woman shows how they discuss, makes notes & record

දිනෙන් දින ඉහළ යන ආහාර මිල හමුවේ ලෝක නායකයින් ඉක්මනින් නිසි පියවර ගතහොත් බරපතල අර්බුදයක් වලක්වාගත හැකිවනු ඇති බව ක්‍රියාධරයෝ පවසති.

“අපි කාන්තාවන්ට, පුරුෂයන්ටසහ තරුණ ගොවීන්ට සවන්දුන්නොත්, ඔවුන්ගේ ප්‍රශ්නවලට කන්දීල ඔවුන්ට නායකත්වය ගන්න දුන්නොත්, අපි ප්‍රතිපත්ති සම්පාදනයට ඔවුන් දායක කරගත්තොත් සහ සමූපකාර වගේම ගොවි සංවිධාන ඔවුන්ගේ කටයුතුවලට සහය දුන්නොත්, මම හිතන්නේ හැමදාමත් බලාපොරොත්තුවක් තියෙනව,” යන්න ” යන්න කැරන් හැම්ප්සන් ගේ විග්‍රහය වේ.

ආචාර්ය කුල්කාර්නි ද පළකරන්නේ එවැනිම අදහසකි.

“අපි ගැටලු හඳුනාගෙන තියෙන නිසා අවශ්‍ය පිළියම් යොදන්න හැකිවේවි කියල අපිට බලාපොරොත්තුවක් වගේම කාලයට් තියෙනව,” ඇය කියා සිටියාය.

“නමුත් අපි මේ ප්‍රශ්න නොදැක්ක වගේ හිටියොත්, බලාපොරොතතුව අඳුරු වෙන්න පුළුවන්.”

බී.බී.සී ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *