රැම්සා තෙත්බිම් සම්මුතිය හා ආනවිලුන්දාව අභය භූමිය

වර්ෂ 1971 පෙබරවාරි මස 02 වන දින ඉරානයේ රැම්සා නුවර දී තෙත්බිම් පරිසර පද්ධති සංරක්ෂණය පිළිබඳ ඉතා වැදගත් පියවරක් ගනු ලැබීය. ඒ අනුව ජලය ආශ‍්‍රිත පක්ෂීන්ගේ වාස භූමිය ඇතුළු ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් හඳුනා ගැනීම හා ආරක්ෂා කර ගැනීම සඳහා වන විශ්ව සම්මුතියට එළැඹීම මෙහිදී සිදුවූ විශේෂතම සිදුවීමයි.

දැනට මෙම රැම්සා සම්මුතියට පාර්ශ්ව 138 ක් අත්සන් තබා ඇති අතර මීට ඇතුළත් තෙත් බිම් සංඛ්‍යාව 1369 කි. මේ යටතේ හෙක්ටයාර් මිලියන 119.6 ක බිම් ප‍්‍රමාණයක පිහිටි තෙත් බිම් රැුම්සා සම්මුතියෙන් ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත්බිම් ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.

ශ‍්‍රී ලංකාව මෙම සම්මුතියට 1991 වර්ෂයේ දී අත්සන් තැබූ අතර දැනට ශ‍්‍රී ලංකාවේ රැුම්සා තෙත් බිම් ලෙස බූන්දල ජාතික උද්‍යානය (1991, වන්කාලේ අභය භූමිය කුමන කුරුළු අභය භූමිය, ආනවිලූන්දාව පුරාණ වැව් සංකීර්ණය ඇතුළත් තෙත් බිම් අභය භූමිය (2001-08-03 මෙන්ම මාදු ගඟ කඩොලාන සහිත ගං මෝය පිළිගෙන ඇත.

ආනවිලුන්දාව අභය භූමිය හා රැම්සා තෙත් බිම

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වන සත්ව හා රුක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1997 ජුනි 11 වන දින ආනවිලූන්දාව අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලදී. ඉන් අනතුරුව 2001 අගෝස්තු මස 03 වන දින අන්තර් ජාතික වශයෙන් වැදගත් (විශේෂයෙන් පර්යටනය කරන ජලජ පක්ෂීන් සඳහා) රැම්සා තෙත් බිමක් ලෙස මෙය නැවත නම් කිරීම සිදුවිය. මේ සඳහා හේතු සාධක වූයේ මෙහි පවතින ජෛව විවිධත්වයේ පොහොසත්කම, පර්යටනය කරන පක්ෂීන්ගේ ආහාර බිමක් ලෙස ක‍්‍රියාකිරීමත්, ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමත් ය.

අභය භූමියේ මායිම් ලෙස උතුරින් බත්තුළු ඔය – උඩප්පුව මහා මාර්ගය ද, නැගෙනහිරින් හලාවත – පුත්තලම දුම්රිය මාර්ගය ද, දකුණින් සෙංගල්ඔය හා බටහිරින් පාරු ඇල ( ඕලන්ද ඇල0 ද වේ. මෙහි විශාලත්වය හෙක්ටයාර 1400 ක් පමණ වේ.

භූ ලක්ෂණ හා භූමි පරිභෝජනය

මිනිසා විසින් එල්ලන්ගා වාරි ක‍්‍රමයට සකසන ලද පෞරාණික වැව් පද්ධතියකින් සමන්විතය. වැසි ජලය රැස්කරණ කුඩා නොගැඹුරු වැව් 07 කින් සමන්විත වේ. උපරිම ගැඹුර මීටර් 04 ක් 05 ක් පමණ වේ. මෙම වැව් නම් පින්කට්ටිය, මරදන්සෝලේ, ආනවිලූන්දාව, සුරුවිල හා මයියාව යන වැව් ද ජලය රඳවා ගැනීමේ ධාරිතාව අඩු වැව් වන වෙල්ලවල හා ඉරක්කාවෙල හෙවත් ඉහළ වැව ද වේ. ප‍්‍රධාන වැව 12-15 ත් අතර ප‍්‍රමාණයේ ඒවා වන අතර, සමස්තයක් ලෙස හෙක්ටයාර් 200 ක පමණ භූමි භාගයක පැතිර පවතී.

වැව් පද්ධතියට බටහිරින් හෙක්ටයාර් 412 ක පමණ ප‍්‍රදේශයක පැතිරුණු පාරම්පරික වෙල් යායකි. වෙල් යායට බටහිරින් ඇති පාරු ඇල ( ඕලන්ද ඇල) දෙපස බහුල වශයෙන් ඉස්සන් වගාව සඳහා යොදාගෙන ඇත. ස්ථාන කිහිපයක පමණක් කඩොලාන ප‍්‍රජාව, ලවන හැල් හා වගුරු දක්නට ලැබේ. වැව් බැම්මට හා වෙල් යායට මැදිවී ආනවිලූන්දාව හා සුරුවිල පුරාණ ගම්මාන පිහිටා තිබේ. වැව් පද්ධතියට නැගෙනහිරින් ද්විතීක ලඳු කැලෑ සහිතව එහි පෝෂක ප‍්‍රදේශය (තාවුල පිහිටා ඇති අතර හොඳින් වැසි ලැබෙන කාලයේ දී මෙම ප‍්‍රදේශය ජලයෙන් යටවේ.
වැව් තාවුල්ලට නැගෙනහිරින් හලාවත – පුත්තලම දුම්රිය මාර්ගයට ආසන්න ප‍්‍රදේශයේ අභය භූමිය තුළ පවතින ඉඩම් බහුල වශයෙන් ජනාකීර්ණ වී ඇත. මෙම අභය භූමිය තුළ හා අවට වාසය කරන පවුල් 1500 ක් පමණ වූ ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු හා ජීවන රටාව මෙම තෙත් බිම් පද්ධතිය හා නිතැතින්ම බැඳී පවතී.

දේශගුණය

ආනවිලූන්දාව පහතරට වියළි කළාපය තුල පිහිටා ඇති අභයභූමියකි. මධ්‍ය වාර්ෂික වර්ෂා පතනය මි.මී 1000-1500 ත් අතර වේ. මෙම අභය භූමියට වැඩිම වර්ෂා පතනයක් ලැබෙන්නේ අන්තර් මෝසම් කාලසීමාව තුළ ය. (ප‍්‍රධාන වශයෙන් ඔක්තොම්බර් – නොවැම්බර් හා මාර්තු – අප‍්‍රියල් යන මාස වලය) මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 කි. උපරිම මාසික උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් වන අතර අවමය සෙල්සියස් අංශක21ක් ලෙස වාර්තා වේ.

ජලවහනය

ප‍්‍රධාන ජල සැපයුම වන්නේ වැසි ජලය හා රතඹලාඔය ද්‍රෝණිය (වර්ග කි.මී. 215ක) ඔස්සේ ගලා එන ජලය ය. මීට අමතරව දැඳුරු ඔයෙන් ජලය ලබා ගන්නා වාරි ඇලක් මගින් ද වැසි කාලයේ ජලය සැපයේ. මෙසේ ලැබෙන ජලය පහිනි එබ ප‍්‍රධාන සොරොව් 04 ක් හරහා වැව් අතර බෙදාහරිනු ලැබේ. වැව් වල ඉහළම ජල ධාරිතාවය නොවැම්බර් – දෙසැම්බර් කාලසීමා වේ පවතින අතර එම කාලයේ දී වැඩි ජලය මයියාව වැවේ පිටවානෙන් සෙංගල් ඔය හරහා මෙන්ම, පහිනිඑබ සිට පිට ඇල හරහා පාරු ඇල වෙත ගලා බසී.

ඓතිහාසික වටිනාකම

ආනවිලුන්දාව වැව් පද්ධතිය 12 වන සියවසේ දී සිරිලක එක්සේසත් කළ මහා පරාක‍්‍රමභාහු රජතුමාගේ වාරි ව්‍යාපෘතියක් ලෙස වාර්තා වේ. අභයභූමිය තුළ පවතින වෙල් යාය ද පාරම්පරික ක‍්‍රමවේදයන් අනුව වගා කෙරුනු පුරාණ වෙල් යායක් වන අතර, එකල කොට්ටබද්ද නමින් හැඳින්වුනු ප‍්‍රදේශය තුළ (වර්තමාන ආරච්චිකට්ටුව) විශාල ජනාවාසයක්ව තිබූ බවට වාර්තා ඇත.

ජෛව විවිධත්වය

  • පරිසර පද්ධති විවිධත්වය

අභයභූමිය තුළ හා අවට ජීවීන් සඳහා වාසස්ථාන සපයන පරිසර පද්ධති වර්ග 03 ක් මූලික ලෙස හඳුනාගත හැකිය. එනම් මිරිදිය තෙත්බිම් පරිසර පද්ධති, කිවුල්දිය (වෙරළබඩ* තෙත්බිම් පරිසර පද්ධති, තෙත්බිම් ආශ‍්‍රිත භ‍්‍රාමික හා කෘෂිකාර්මික පරිසර පද්ධති වේ. එම පරිසර පද්ධති තුළ හමුවන වාසස්ථාන හා රුක්ෂලතා දර්ශ පහත දැක්වෙන පරිදි විස්තර කළ හැකිය.

  • මිරිදිය තෙත්බිම් පරිසර පද්ධති

වැව් (පාවෙන හා අනෙකුත් ජලජ වෘක්ෂලතා දර්ශ, වගුරු බිම් හා ඒ ආශ‍්‍රිත කලකදී ජලයෙන් යටවෙන තෘණ භූමි හා පන් ශාක සහිත වගුරු බිම්. කිවුල්දිය තෙත්බිම් පරිසර පද්ධති කඩොලාන, ලවන හැල් (වගුරු හා ඒ ආශිත කලකදී ජලයෙන් යටවෙන තෘණ භූමි, පාරු ඇල ( ඕලන්ද ඇල) මඩ තැනි ඊට අයත් වේ.

  • භ‍්‍රාමික හා කෘෂිකාර්මික පරිසර පද්ධති

වැව් බැම්ම ආශ‍්‍රිත වාසස්ථාන / වෘක්ෂලතා දර්ශ, කලකදී ජලයෙන් යටවන කුඩා වනාන්තර, ලඳු කැලෑ හා තෘණ භූමි, වැව් තාවුල්ලෙහි හමුවන වෘක්ෂලතා දර්ශ, ඇල මාර්ග ආශ‍්‍රිතව වෘක්ෂලතා දර්ශ, කුඹුරු හා අතර මැදිව පිහිටි වෘක්ෂලතා, ගෙවතු (පොල් වගාව ප‍්‍රමුඛ* හා වෙනත් වගා ඒ අතර වේ.

  • ශාක විවිධත්වය

මෙම ආනවිලුන්දාව අභය භූමිය තුළින් ශාක විශේෂ 264 ක් හඳුනාගෙන ඇත. මේ අතරින් විශේෂ 110 ක් ගස්වර්ග ද, විශේෂ 54 ක් පඳුරු ශාක ද, විශේෂ 68 ක් පැළෑටි වර්ග ද වන අතර වැල් වර්ග 30 ක් හා අපි ශාක වර්ග 02 ක් ද වාර්තා වේ. මුළු විශේෂ සංඛ්‍යාව අතරින් විශේෂ 22 ක් පමණ ජලාශ‍්‍රිත ශාක වේ. ඖෂධීය වටිනාකමක් ඇති ශාක විශේෂ බොහොමයක් ද මේ තුල වාර්තා වී ඇත. අභය භූමියෙන් හඳුනාගත් පුපුළු නම් විශේෂය ශ‍්‍රී ලංකාවට ආවේණික ශාකයකි. දේශීය වශයෙන් තර්ජනයට ලක්වූ ශාක වන කෙකටිය විශේෂයක් හා කළුවර ශාකය ද අභය භූමිය තුළින් වාර්තා වේ.

  • සත්ත්ව විවිධත්වය

අභය භූමිය තුළින් පෘෂ්ටවංශී සත්ත්ව විශේෂ 274 ක් වාර්තා වේ. මින් 237 ක් දේශීය විශේෂ
(ශ‍්‍රී ලංකාව තුළින් හමුවන සියළු දේශීය පෘෂ්ටවංශිකයන්ගෙන් 39‍්‍ර ක්* විශේෂ 37 ක් පර්යටනය කරන පක්ෂි විශේෂ ද වේ. මේ අතරින් විශේෂ 10 ක් ශ‍්‍රී ලංකාවට ආවේණික වන අතර විශේෂ 19 ක් දේශීය වශයෙන් තර්ජනයට ලක්වූවන් වේ.

ආනවිළුන්දාව අභයභූමිය තුළින් මිරිදිය මත්ස්‍ය විශේෂ 29 ක් ද, කිවුල්දිය මත්ස්‍ය විශේෂ 18 ක් ද, උභය ජීවී විශේෂ 09 ක් හා උරග විශේෂ 30 ක් ද වාර්තා වේ. මේ අතරින් මත්ස්‍ය විශේෂ 04 ක් (රැවුල් දණ්ඩියා, මගුරා, දංකොල පෙතියා හා ඉපිලිකඩයා) උභයජීවී විශේෂයක් (ලංකා බැඳි මැඩියා, උරග විශේෂ 02 ක් හා සිකනලූන් ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. මෙම තෙත් බිම් පද්ධතිය දේශීය පක්ෂි විශේෂ 131 කට මෙන්ම පර්යටනය කරන පක්ෂි විශේෂ 37 කට වාසස්ථාන හා ආහාර බිම් සපය යි.

ශ‍්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් වන වළි කුකුලා සහ අළු කෑඳැත්තා මෙම අභයභූමියෙන් වාර්තා වී ඇති අතර, ශීත කාලයේ ලංකාවට පර්යටනය කරන ජලාශ‍්‍රිත පක්ෂීන් වර්ග විශාල වශයෙන් ද මෙහි දක්නට ලැබේ. මීට අමතරව ක්‍ෂීරපායී විශේෂ 20 ක් මෙහි වාර්තා වේ. වඳවීමේ තර්ජනයට ලක්වූ විශේෂ වන හඳුන් දිවියා ඇතුළු වල් බළලූන් මෙන්ම උණහපුළුවන්ගේ සැළකිය යුතු ගහණයක් පැවතීම ද, මෙම ආනවිලූන්දාව අභය භූමියෙහි විශේෂත්වයකි. මෙහි ක්ෂිරපායී විශේෂ අතර වන රිළවා ලංකාවටම ආවේණික වේ.

ඉහත විස්තර කරන ලද සත්ව විශේෂ අතරින් මත්ස්‍ය විශේෂයක්, උභය ජීවී විශේෂයක්, උරග විශේෂ 04 ක්, පක්ෂි විශේෂ 09 ක් හා ක්ෂිරපායි විශේෂ 04 ක් දේශීය වශයෙන් තර්ජනයට ලක්වූවන් වීම මෙම අභය භූමියේ ජෛව විවිධත්ව වටිනාකම තවදුරටත් තහවුරු කරයි. ආනවිලූන්දාව අභය භූමියෙහි අපෘෂ්ඨවංශීන් අතරින් සමනල විශේෂ 74 ක් වාර්තා වී ඇති අතර, ඉන් ලංකා කුරුළුපිය පැපිලියා විශේෂය ශ‍්‍රී ලංකාවට ආවේණික ය.

දේශීය වශයෙන් තර්ජනයට ලක්වූ සමනල විශේෂ 12 ක් ද මෙම අභයභූමියෙන් වාර්තා වේ. කුරුළු පර්යටනය හා ආනවිලූන්දාව නැගෙනහිර යුරෝපීය සයිබීරියානු කළාපයේ හා බටහිර යුරෝපයේ සමහර ප‍්‍රදේශ මෙන්ම ආසියානු ප‍්‍රදේශයන්හි සිටින පක්ෂී විශේෂ සිසිර සෘතුවේ දී එකම මගක් ඔස්සේ දකුණට පියාසැලීම හා ශීත කාලය අවසන් වූ පසු එමග ඔස්සේ ම යළිත් තම නිජබිම කරා පියා සැලීම කුරුළු පර්යටනය යි.

සිසිරයෙහි දැඩි ශීතල දේශගුණයෙන් හා හිමපතනයෙන් ද, එමගින් ඇතිවන ආහාර හිගයෙන් ද බේරීමට මොවුහු මෙලෙස පර්යටනය කරති. රාත‍්‍රී කාලයේ තාරකා ආශ‍්‍රයෙන් ද, දිවා කාලයේ සූර්යයාගේ පිහිටීම හා කඳු, ගංගා ආදී නොයෙකුත් භූ ලක්ෂණ උපයෝගී කර ගනිමින් ද මොවුන් එකම මාර්ගයක් ඔස්සේ පර්යටනය කරන බව විශ්වාස කරයි. ශ‍්‍රී ලංකාවට පර්යටනය කරන පක්ෂීන් ප‍්‍රධාන මං 03 ක් ඔස්සේ පැමිණේ. ඒවා නැගෙනහිර පියාසර මග, බටහිර පියාසර මග හා අන්දමන් ¥පත් පියාසර මග නමින් හැඳින්වේ. මොවුහු උතුරේ ශීත සෘතුව ආරම්භයේ දී අගෝස්තු මස ශ‍්‍රී ලංකාවට පැමිණීම අරඹන අතර මාර්තු, අප‍්‍රියල් දක්වා මෙහි ගතකර අභිජනනය සඳහා යළිත් සිය නිජබිම් කරා පියාසර කරති.

ඉන්දියාවෙන් දකුණට පර්යටනය කරන පක්ෂීන් සඳහා අවසන් නවාතැන්පල වන්නේ ශ‍්‍රී ලංකාවයි. බටහිර පියාසර මග ඔස්සේ පැමිණ මන්නාරම ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් ලංකාවට ඇතුළුවන පක්ෂීන්ට හමුවන පළමු නවාතැන්පලක් හා ආහාර බිමක් ලෙස ආනවිලූන්දාව තෙත්බිම ඉතා වැදගත් තැනක් උසුලයි. මේ වන විට මෙහි පර්යටනය කරන පක්ෂි විශේෂ 37 ක් පමණ වාර්තා වී ඇති අතර ඉතා විශාල ගහනයක් ලෙස දැකිය හැකි වල් තාරාවන් විශේෂ (උදා :- ගගානි සේරුවා, උල් පෙඳ සේරුවා ඇතුළු ජලාශ‍්‍රිත පක්ෂීන් මේ අතරින් විශේෂ ස්ථානයක් ගනී.

ආනවිලුන්දාව තෙත්බිමෙහි පැවැත්මට හා ජෛව විවිධත්වයට පවතින තර්ජන

තෙත්බිමට නිසිපරිදි ජලය නොමැති වීම හා ජල කළමනාකරණයේ පවතින දුර්වලතා ප‍්‍රධාන තැනක් ගනී. එසේම තිරසාර නොවන අයුරින් ශාක හා ශාක නිෂ්පාදන පරිසර පද්ධතියෙන් එකතු කිරීම හා ඉවත් කිරීම ද, පක්ෂීන් වෙඩි තැබීම හා ඉබ්බන්, තලගොයින් ආදී සතුන් දඩයම් කිරීම ද, මිනිසා විසින් සිතාමතා කරනු ලබන ගිණි තැබීම් ද, අභයභූමිය තුළ හා එයට ඉහළින් ජල පෝෂක ප‍්‍රදේශ වල කෘමිනාශක හා වෙනත් රසායනික ද්‍රව්‍යය භාවිතය ද මෙහි සමස්ත පැවැත්මට තර්ජනයක් වී තිබේ,

ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන ආනවිලූන්දාව තෙත්බිම් අභයභූමිය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම ඔබේත්, මගේත් යුතුකමක්ව පවතී. මේ සඳහා අපි සැවොම එකට අත්වැල් බැඳගනිමු.

සටහන – කේ. ඩී. පීරිස්

ඡායාරූප – ජූඩ් සමන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *