අලි ඇතුන්ටත් සුරක්ෂිත ලෝකයක් බිහි කළ නොහැකිද ?

සත්ත්ව ලෝකය තුළ අලි ඇතුන්ට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. ඊට හේතුව සිව් පා සතුන් අතරින් සද්දන්ත ශරීරයකට හිමිකම් කීම සහ ආගමික කටයුතු සදහා මෙම සත්ත්වයින් යොදා ගැනීමයි.

අලි ඇතුන් වර්තමානය වනවිට සීඝ්‍ර ලෙස වද වී යාමේ තර්ජනයට ලක් වී සිටී. ස්වභාවික උවදුරුවලටත් වඩා මිනිසුන්ගේ නොසැලිකිමත් ක්‍රියා කලාපය සහ දැනුවත්ව  සිදුකරන ක්‍රියාවන් නිසා මෙම සතුන් මෙලෙස වද වී යාමේ තර්ජනයට ගොදුරු වී ඇත. ඒ නිසා අලි ඇතුන් අකාලයේ වද වී යාමෙහි වගකීමෙන් හරි අඩක්ම ගත යුත්තේ මිනිසුන් විසින්මය.

මිනිසුන් වනාන්තර එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වන අලි ඇතුන් ගම්වදී.  ගම්වදින අලි ඇතුන්ගෙන් බේරීම සදහා ඇතැම් ප්‍රදේශ වල විදුලි වැටවල් සවිකොට ඇත. ඊට අමතරව මිනිසුන් විසින් අලි ඇතුන් දඩයම් කිරීමටද පෙළඹී සිටී. එහිදී විවිධ උගුල් ඇටවීම, වෙඩි තැබීම සහ හක්කපටස් තැබීම සිදු කරති. මේ වැනි උගුල් වල ගොදුරු බවට පත්වන අලි ඇතුන් නිකරුනේ මරණයට පත් වේ.

අලි ඇතුන්ගේ ගැහැණු සත්ත්වයින් රංචු වශයෙන් ගැවසෙන නිසා එවැනි උගුල් වලට වැඩි වශයෙන් ගොදුරු නොවෙති. නමුත්  පිරිමි සතුන් තනිව සිටින නිසා ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාව වැඩි බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීම් වලදී අනාවරණය විය. එය ඉතාමත් ඛේදජනකය.

සැබැවින්ම අලියා සහ ඇතා වෙනස් වනුයේ අලියාට දළ නොතිබීමත් ඇතාට දළ තිබීමත් සාධක කොටගෙනය. එකී ඇතුන්ගෙන් බොහෝම සුළු කොටසකට ගජමුතු තිබිය හැකිය. මිනිසුන් තුළ පවතින මතයේ හැටියට නම් ගජමුතු යනු ඉතාමත් වටිනා දෙයකි. එනමුත් විද්‍යාත්මකව ගත්කල එහි කිසිදු වටිනාකමක් නොමැත. නමුත් මිනිසුන් තුළ පවතින එකී මතයෙහි ප්‍රතිඵලයක් ලෙස දළ ඇතුන් විශාල වශයෙන් මරණයට ගොදුරු වේ. ඇත් දළ සහ ගජමුතු ලබා ගැනීම සදහා මිනිසුන් තුළ පවතින අධික තෘෂ්ණාව මෙම අහිංසක සත්ත්වයන් මරණයට ලක් කරයි. මෙලෙස අලි ඇතුන් මිනිසුන්ගේ ගොදුරක් විය යුතුද? නමුත් අවාසනාවකට මෙන් සිදුවන්නේ ද එයමයි.

වර්තමානයේ අසන්නට ලැබුණු ඛේදනීය පුවතක් වනුයේ යාල ජාතික වනෝද්‍යානය තුළ ඇතෙකු මරා දමා එම සද්දන්තයාගේ දළ සහ වල්ගය කපා ගෙන ගොස් තිබූ පුවතකි. ඝාතනයට ලක් වූ ඇතා කොතරම් වේදනාවකින් පසුවන්නට ඇත්ද? මෙලෙස හිතක් පපුවක් නොමැති නොමිනිසුන් ක්‍රියා කරනුයේ මන්ද? රටේ පිළිගත් කවුරුත් දන්නා හදුනන ජාතික වනෝද්‍යානයක් තුළම මෙවැනි අපරාධයක් සිදුවේ නම් අන් ස්ථානයන් ගැන කථා කිරීමට අවශ්‍ය වන්නේ නැත. වගකිව යුත්තන් විසින් මෙවන් වූ අපරාධයන් සිදුවීම වැළැක්වීම උදෙසා දැන්වත් නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු නොවන්නේද?

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියට අනුව අලි ඇතුන් දඩයම් කිරීම, තුවාල කිරීම සහ මරණයට පත්කිරීම තහනම්ය. නමුත් අවසනායකට මිනිසුන් විසින් සිදු කරනුයේද එයමයි.  වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් නෙත ගැටීමෙන් අනතුරුව මිනිසුන් විසින් එම සතුන් දඩයම් කිරීම, තුවාල කිරීම සහ මරණයට පත්කිරීම යන තහනම් ක්‍රියාවන් සියල්ලම සිදු කරනුයේ කිසිදු බියකින, සැකයකින් හෝ චකිතයකින් තොරවය.  මෙවැනි අපරාධ සිදු කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුමය.

මෙකී පනතේ විසිවෙනි වගන්තියට අනුව යම් උපකරණක් හෝ ද්‍රව්‍යයක් යොදා ගැනීමත්, විදුලි සැර වද්දවා මරණයට පත් කිරීමත් වරදක් ලෙස පිළිගැන්. එවන් වරදක් කළ අයෙකුට මෙරට අධිකරණය විසින් දඩුවම් ලබා දීමට ප්‍රතිපාදන ඇත්තේය.වරදකරුවන් රුපියල් ලක්ෂ එකහමාරක සිට රුපියල් ලක්ෂ පහක් දක්වා දඩ මුදලකටද යටත් විය යුතුය. ඊට අමතරව වසරක් පහක් දක්වා සිරදඬුවමක්ද අධිකරණයට නියමද කළ හැකිය.

නමුත් වර්තමානය වනවිට මෙවැනි අලි ඇතුන් දඩයම් කරන්නන්ට සහ ඝාතනය කරන්නන්ට එරෙහිව නීතීය තදින්ම ක්‍රියාත්මක වෙනවාද යන්න තවමත් ගැටලු සහගතය. පවතින මෙවැනි වාතාවරණයක අලි ඇතුන් වද වී යාමේ තර්ජනය තවමත් අප සමාජය තුළ මුල් බැස ගෙන තිබෙන ප්‍රධානතම ගැටලුවක් වී පවතිනවා නිසැකය.

සටහන – අයි.පී.හිමාෂා කාවින්දි (කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *