කාබනික නිපැයුමෙන් ලෝකයම ජයගනිමු !

කාබනික ගොවිතැන පිළිබඳ කතා කිරීමේදී අත්‍යවශ්‍ය වන කාරණාවක් වනුයේ කාබනික නිෂ්පාදන අලෙවි කිරීම සඳහා කාබනික වෙළෙඳපොළක් තිබේ ද යන්නයි. කාබනික වෙළෙඳපොළක් ශ්‍රි ලංකාවේ මීට පෙර තිබුණේ ද සහ මේ වන විට එහි තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරිම මෙම ලිපියේ අරමුණ වේ.

ශ්‍රී ලංකාවේ කාබනික වෙළෙඳපොළට වසර තිහක පමණ ඉතිහාසයක් තිබේ. ශ්‍රී ලංකාවේ නූතන ක්‍රමවේදයන් අනුව කාබනික ගොවිතැන ආරම්භ වනුයේ 1983-1985 වසරවලදීය. විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගත් සහතික කරන ලද කාබනික නිෂ්පාදනයක් මෙරට තුළ නිෂ්පාදනය වූයේ මෙවන් කාල වකවානුවකය. එහෙත්, කාබනික ලෙස දේශීය වෙළෙඳපොළටද ඒ පිළිබඳ මූලික වශයෙන් අඩිතාලමක් වැටුණේ 1995 දී ‘ගලහ ගැමි සේවා සෙවන’ සංවිධානය විසින් බවුලාන නමැති ගම්මානයේ සිටි කම්කරු ගොවීන් විසින් ආරම්භ කරන එළවළු වගාවකිනි. මෙම එළවළු ප්‍රමිතියක් යටතේ ඇසුරුම් කොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයටත් මහනුවර ප්‍රදේශයේ මේවා මිල දී ගත හැකි පිරිසකටත් සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ගැමි සේවා නිෂ්පාදන සමඟ විකුණනු ලැබිණි.

කාබනික ගොවිතැනේ මුල් පියවර

ගොවීන් සහ පාරිභෝගිකයන් අතර සම්බන්ධය ඇති කිරීම සඳහා 1998 වර්ෂයේදී පමණ නව වැඩපිළිවෙළක් ආරම්භ වී තිබේ. ඉන්පසු මහනුවර කටුකැලේ ප්‍රදේශයේදී ද අලෙවි සලක් පටන් ගෙන තිබේ. නුවරඑළිය දක්වා විහිදී ගියේ මෙම වැඩපිළිවෙළයි. වර්තමානයේ පවතින කාබනික ගොවිතැනේ මූලික අවස්ථාව වන්නේ මෙම වැඩපිළිවෙළයි.

මේ සම්බන්ධව උනන්දුවක් දැක්වූ නුවරඑළිය ප්‍රදේශයේ කණ්ඩායමක් විසින් 1998 වසරේදී එකෝ ෂොප් නම් අලෙවි සලක් ආරම්භ වූයේ නුවරඑළිය ෆාම් පදනමේ මූලිකත්වයෙන් වතුකරය ආශ්‍රිත ගම්මානවල ගොවීන් සමඟ කාබනික ගොවිතැන පිළිබඳ මූලික ව්‍යාපෘතියක් කිරීමෙන් පසුවය. මෙහි ප්‍රතිඵලයක් ලෙස නුවරඑළිය පොලිසිය අසලින් ආරම්භ වූ එකෝ ෂොප් පසුව කාර්ගිල්ස් සුපිරි වෙළෙඳසල ඉදිරිපිට ස්ථානයකට ගෙන එන ලදී. නුවරඑළියට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගැනීම මෙම වෙළෙඳපොළ ආරම්භ කිරීමේ අරමුණ විය.

එමෙන්ම 2002 වසරේදී රංජිත් සිල්වා මහතාගේ මූලිකත්වයෙන් බම්බලපිටියේ ලෝරිස් පාර දේවස්ථානයේ මුල් වරට කාබනික පොළක් පැවැත්විණි. මෙම ස්ථානය කොළඹදී බොහෝ දෙනාගේ අවධානය යොමු කරවන ලද ස්ථානයක් බවට පත් විණි. මෙම ස්ථානයේ අලෙවි වූයේ, ගම්වලින් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් කතාබස් කොට කාබනික ගොවිතැන ආරම්භ කරන ලද සමිති සංවිධාන මූලිකත්වයෙන් කොළඹට ගෙන එන ලද කාබනික නිෂ්පාදනයන්ය. ඉරිදා දේව මෙහෙය අවසානයේ එන පිරිස් මෙම ද්‍රව්‍ය මිලට ගැනීම සිදු විණි. පසුව කෙටි කලෙකින් ප්‍රවාහන වියදම් වැඩි විමේ ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් මෙම වැඩිපිළිවෙළ නතර විණි.

ඉන්පසු 2002 වසර අවසානයේ කෑගල්ල මානව සංවර්ධන මධ්‍යස්ථානය විසින් එම ආයතනය ඉදිරිපිට වෙළෙඳසලක් පවත්වන ලදි. ගොවීන්ගේ දේශීය වී වර්ග ප්‍රචලිත කිරිමේ වැඩපළිවෙළේ පුරෝගාමියකු ලෙස සිටි පොඩි නිළමේ මහතා මෙහි පෙරමුණ ගෙන තිබිණි. ඔහු ශ්‍රී ලංකාවේ දේශීය වී සම්බන්ධව පර්යේෂණ පවත්වා දේශීය වී සහ කෘෂි සම්පත් රැකීමේ ජාතික සංවිධානය බිහි කොට එහි ක්‍රියාකාරින් ලෙස සේවය කළ දිස්ත්‍රික් මට්ටමේ පුද්ගලයන්ගේ සුවඳැල්, මඩතවාලු, කළුහීනැටි, කුරුළුතුඩ සහ පච්චපෙරුමාල් වැනි වී වර්ගවලට විශේෂ අවධානයක් යොමු කොට ඊට සරිලන පර්යේෂණ කණ්ඩායමක් ද සමඟින් මෙම පර්යේෂණය ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කොට තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පොඩි නිළමේ මහතා එම ස්ථානය දේශීය සහල් අලෙවි කරනු ලබන මධ්‍යස්ථානයක් ලෙස එම ස්ථානය පත් කර ඇත. ඉන් කෙටි කලකට පසුව මහනුවර ප්‍රදේශයේ ‘ෂොප් මා’ යනුවෙන් නව අලෙවි සලක් පටන් ගෙන තිබේ.

කාබනික පොහොර මගින් වගා කළ කුඹුරක් – ඡායාරූපය – තිලක් කන්දේගම

ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය

මේ ආකාරයට වසර ගණනාවක් ගිය පසු ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයට මේ සඳහා අතපෙවීමට සිදු විය. මෙරට මිනිසුන් සුපිරි වෙළෙඳසල් සංකල්පයට පුරුදු වීම නිසා 2010 වසරේ සිට කරන ලද අධ්‍යයනයකින් පසුව 2012 වසරේදී එම අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස රට ඇතුළේ දේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට කටයුතු සකස් කෙරිණි. මෙහිදී පාරිභෝගිකයාගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය විණි. ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය විසින් මේ සඳහා තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල අධ්‍යයන චාරිකා කොට විවිධ කණ්ඩායම් මුණගැසීමෙන් පසු මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ. තායිලන්තයේ පැවති ටොප් සුපර් මාර්කට් ජාලය විසින් පවත්වාගෙන යන ලද එළවළු සහ පලතුරු අලෙවියේ දක්නට ලැබුණු විශේෂ දැනුම්වත් කිරිමේ වැඩපිළිවෙළ මෙහිදී විශේෂ අවධානයට ලක් විණි.

පසුව ශ්‍රී ලංකාවේ පවතින සුපිරි වෙළෙඳසල් සමඟ කතාබස් කොට මෙම ආයතනවල සිටින එළවළු පලතුරු වගකීම දරන ලද කළමනාකරුවන් මොරටුවේ ගොවිපළකට රැගෙන ගොස් දැනුම්වත් කොට තිබේ. ඔවුන්ගේ එකඟතාවන්ට අනුව ඔවුන්ගේ අලෙවි කළමනාකරුවන් සහ සුපිරි වෙළෙඳසල්වල කළමනාකරුවන් සහ අනෙක් සේවකයන් ද මේ පිළිබඳ දැනුම්වත් කිරීම් ද කෙරිණි. ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය විසින් නුවරඑළිය, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවලදී මෙම දැනුම්වත්කිරිම් සිදු කෙරිණි. මෙහිදී විශේෂයෙන් කාබනික ගොවිතැන සම්බන්ධ දැනුම්වත් කිරිම් සහ පාරිභෝගිකයන් මෙන්ම අලෙවිකරුවන් දැනුම්වත් කරන ආකාරය ද ඇතුළත් විණි. මෙහිදී කාබනික සහතික කිරිම් සම්බන්ධව ද සාකච්ඡා කෙරිණි. මුල් වටයේදී මේ සඳහා සම්බන්ධ වනු ලැබුයේ ගොවීන් තිදෙනක් සහ කණ්ඩායම් දෙකක් පමණි. වැලිමඩ මිහිමඬල ගොවි පළෙහි අතුල ප්‍රියන්ත, නුවරඑළිය නවරත්න හෙට්ටිආරච්චි මහතා සහ වැලිමඩ ප්‍රදේශයේ විසූ ස්වීඩන් කාන්තාවක ද මෙම ගොවීන් තිදෙනා අතර විය. මෙම තිදෙනාගේ නිෂ්පාදන සහ අනෙක් ගොවිපළ දෙකේ නිෂ්පාදන මුල් වරට කාබනික අලෙවි ජාලයට ඇතුළු කරන ලදී. ඉන්පසුව විවිධ කණ්ඩායම් මේ සඳහා එකතු විය.

කාබනිකව වගා කළ ඩ්‍රැගන් පෘට් වගාවක් – ඡායාරූපය – කංචන කුමාර ආරියදාස

කාබනික එළවළු සහ පලතුරු

මුල් වකවානුවේදී සුපිරි වෙළෙඳසල්වල විකිණීමට තබා ඇති කාබනික එළවළු සහ පලතුරු විකිණෙන ආකාරයක් දක්නට නොලැබීම ගැටලුකාරි තත්ත්වයක් විය. මෙයට හේතුව වූයේ අනෙක් එළවළු සහ පලතුරුවලට වඩා මේවායේ මිල සියයට 30කින් පමණ වැඩි වීමය. මේ නිසා කාබනික එළවළු සහ පලතුරු වෙනම ඇසුරුම් කොට කාබනික සහතිකයේ නම ද ඇතුළත් කොට තැබීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරිණි. ඉන්පසු මෙම කාබනික ද්‍රව්‍යයන් අලෙවි වන්නට පටන් ගෙන ඇත. සතියකට එළවළු සහ පලතුරු කිලෝ 30,000ක් පමණ අලෙවි වන තත්ත්වයකට පත් විණි. එය කාබනික ගොවීනට ලැබුණු හොඳ අවස්ථාවකි.

එමෙන්ම සුපිරි වෙළෙඳසල් හැරුණු විට කාබනික වගාවන්හි නිරත ගොවීන් විසින්ම ඔවුන්ගේ ගොවිපළ තුළදීම ඔන්ලයින් ක්‍රමයට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරිණි. මෙහිදි ගොවීන් විසින් පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට මෙම ද්‍රව්‍යයන් සපයා දෙනු ලැබීම ද සිදු විය. එහෙත් කාබනික ගොවියාට රජයෙන් කිසිදු සහනාධාරයක් නොලැබුණු අතර වස විස අඩංගු රසායනික පොහොර භාවිතයට ගත් ගොවියාට එම පොහොර සහනාධාරය නොඅඩුව ලැබිණි. මේ නිසා පස සුවපත් කළ කාබනික ගොවියාට තමන්ගේ නිෂ්පාදනවල මිල කිසියම් ප්‍රතිශතයකින් වැඩි කිරිමට සිදු විය. කාබනික ආහාරපානවල මිල වැඩි වීමට හේතු වූයේ මෙම කරුණය. එමෙන්ම කාබනික ගොවිතැනේදී එක කන්නයක් කොට නැවත පස සකස් වන තුරු එනම් ක්ෂුද්‍ර ජීවින් ප්‍රතිෂ්ථාපනය වීමට තවත් කන්න තුනක් බලා සිටීමට එම ගොවීන්ට සිදු වීම ද, කාබනික නිෂ්පාදනයේදී අනෙක් සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා වැඩි ශ්‍රමයක් වැය වීම ද මෙම මිල වැඩි වීමට හේතු වේ. මුදල පිළිබඳව නොසිතන පිරිසුදු වස විස නැති ආහාර පාන ගැන පමණක් සිතනු ලබන බුද්ධිමත් පාරිභෝගිකයාට මෙය එතරම් ගැටලුවක් වූයේ නැත. එහෙත්, මුළු රටම කාබනික වගාවට යොමු වුව හොත් සහ සහනාධාර ක්‍රමයකට ගොවීන්ට කාබනික පොහොර ලැබීමේ ක්‍රම වේදය ද මත නිෂ්පාදනවල මෙවැනි මිල වැඩි කිරීමේ තත්ත්වයක් උද්ගත නොවනු ඇත.

2014දී ශ්‍රී ලංකාවේ සම්මත වූ නව නීතියට අනුව නිෂ්පාදනවලට කාබනික නම භාවිත කළ හැක්කේ ඊට අදාළ කාබනික සහතිකය ගත හොත් පමණි. මේ සඳහා ද ගොවීන්ට යම් වියදමක් දැරීමට සිදු වේ. ගොවීන් සහ පාරිභෝගිකයන් අතර සම්බන්ධතාවක් ගොඩනැඟීම සඳහා ලංකා කෘෂිකර්ම ව්‍යාපාරය සහ සේවා ලංකා පදනම එකතු වී 2009 දී ඉන්දියාවේ කාබනික වගාව වෙනුවෙන් තිබෙන සහභාගීත්ව සහතිකකරණ කවුන්සිලයේ උදව් යටතේ ශ්‍රී ලංකාවේදී පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඉන්පසු සහභාගිත්ව සහතිකකරණ වැඩසටහන මෙරට තුළ ද ක්‍රියාත්මක කෙරිණි. දැනට පවතින ගුඩ් මාර්කට් සංකල්පය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය වූයේ එම පුහුණු වැඩසටහනින් පසුවය.

ප්‍රාදේශීය වශයෙන් ද මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මත කෙරෙන අතර වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු මූලස්ථානයේ ගොවීන්ගේ ඉසුරු නමින් ගොවිපළක් ද පවත්වාගෙන යනු ලබයි. මඩකලපුවේ කල්ලඩි පාලම අසල ද බ්‍රිජ් මාර්කට් නමින් මෙවැනිම කාබනික ගොවිපළක් පවත්වා ගෙන යනු ලබයි. එය ද මේ වන විට සාර්ථක කාබනික වෙළෙඳපොළකි. ඒ ආකාරයෙන්ම ශ්‍රි ලංකාව පුරාම මෙවැනි දේශීය වෙළෙඳපොළ ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි කාබනික එළවළු, පලතුරු සහ දේශීය සහල්වලට ඉතා ආකර්ෂණීය බවක් හිමි වී තිබේ. වෙනත් ආහාරවල නොමැති ඖෂධීය ගුණාංග බොහොමයක්ම සුවඳැල්, කුරුළුතුඩ වැනි දේශීය සහල්වල ඇති බවට කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් කරන ලද පර්යේෂණවලදී විද්‍යාත්මකව තහවුරු වී තිබේ. මේ නිසා දේශීය සහල් පිළිබඳව දේශීය වෙළෙඳපොළේ මෙන්ම විදේශීය වෙළෙඳපොළේද ඉල්ලුමක් ඇති වී තිබේ.

විදේශීය වෙළෙඳපොළ

ශ්‍රී ලංකාවෙන් බැහැරට යන කාබනික නිෂ්පාදන ගත් විට මුලින්ම මෙරටින් පිටරටකට යවන ලද්දේ තේ ය. ඒ 1987 දී හල්දුම්මුල්ල නීඩ් වුඩ් තේ වත්තෙනි. ඒ සමඟම තවත් තේ වතු කිහිපයක්ම කාබනිකකරණයට ලක් වී තිබේ. එනම්, බණ්ඩාරවෙල කොළඹ මාර්ගයේ බයෝ ටී ප්‍රොජෙක්ට් තේ වත්ත, තොටලාගල තේ වත්ත සහ නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ මහඌව තේ වත්ත පෙන්වා දිය හැකිය. මීට අමතරව කුඩා තේ වතු හිමියන්ගේ තේ වතු ද තිබේ. මහාචාර්ය පියසේන අබේගුණවර්ධන මහතාගේ මොරවක ප්‍රදේශයේ තේ වත්ත මිට කදිම උදාහරණයකි. ඔහුගේ නිෂ්පාදන ජපානය ඇතුළු විදේශීය වෙළෙඳපොළට යවනු ලබයි. මේ ආකාරයට සලකා බැලූ විට කාබනික තේ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් පිටරටවලට යැවේ. 

මේ සමඟම උඩරට වන ගෙවතුවල හැදෙන කුළුබඩු ද ස්වාභාවිකවම කාබනික වන අතර ඒ සඳහා කාබනික සහතික ගැනීම ද පහසු වූ අතර මේවා ද විදේශීය වෙළෙඳපොළේ ආකර්ෂණීය භාණ්ඩ ලෙස ප්‍රචලිත විය. කරාබුනැටි, ගම්මිරිස්, කරදමුංගු, වැනිලා, සාදික්කා සහ වසාවාසි මේ අතර ප්‍රධාන විය. මෙයට ප්‍රධානතම හේතුවක් වූයේ කාබනික ව්‍යාපාරයේ මූලාරම්භකයකු වූ එවකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි කුලරත්න මහතාගේ ක්‍රියාකාරී දායකත්වයයි.

මෙලෙස වර්ධනය වූ කාබනික නිෂ්පාාදන අතරින් ද වන විට කාබනික පොල් නිෂ්පාදනයට විදෙස් වෙළෙඳපොළේ හිමිව ඇත්තේ ප්‍රධාන ස්ථානයකි. මීට සමගාමීව ශ්‍රී ලංකාවේ කාබනික පොල් නිෂ්පාදකයන්ගේ සංගමයක් ද බිහි විය. නිමල් ‍ෙස්නාධීර මහතා මෙහි මූලිකත්වය ගෙන ඇති අතර ඔහු තමන්ගේ කුරුණෑගල පොල් වත්ත කාබනිකකරණයට ලක් කොට තවත් පිරිසක් ද සමඟින් මෙම වැඩපිළිවෙළ ඉතා හොඳින් ව්‍යාප්ත කොට තිබේ. අද වන විට කාබනික පොල්, කාබනික පොල් කිරි සහ කාබනික වර්ජින් කොකනට් ඔයිල් විදෙස් වෙළෙඳපොළ තුළ අතිශයින් ජනප්‍රිය වී තිබේ. කුරුණෑගල, කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ගොවීන්ගේ ආදායම් මාර්ගයක් බවට මෙම කාබනික පොල් වගාව පත් වී තිබේ. මේ ආකාරයට සලකා බැලූ විට විදේශීය වෙළෙඳපොළේ මෙරට කාබනික නිෂ්පාදන ඩොලර් මිලියන 500 ඉක්මවා තිබේ. මේ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් විශේෂ දායකත්වයක් සපයා තිබේ. අද වන විට ජනාධිපතිතුමා විසින් ගෙන තිබෙන නව කාබනික වැඩසටහන මෙම ක්‍රියාවලිය තවත් සාර්ථක කර ගැනීම සඳහා තවත් වැඩදායී වනු ඇත.

තිලක් කාරියවසම් – සභාපති, ශ්‍රී ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය

අගෝස්තු මස 10 වැනි දින දිනමිණ පුවත්පත ඇසුරිණි

ඉහළ ඡායාරූපය – කාබනික පොහොර යොදා සිදුකළ ඩ්‍රැගන් පෘට් වගාවක් – ඡායාරූපය – කාංචන කුමාර ආරියදාස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *