
ඕනෑම විප්ලවීය වෙනසක් සමඟ විරෝධතා සහ සැක මුසු තැන් මතු වීම ස්වාභාවිකය. එය ක්‍රමයෙන් යටපත් වී යන්නේ යථාර්ථයට ළං වන හේතු ප්‍රත්‍යයන් මතු වීමත්, විරෝධාකල්ප මතු කරන පාර්ශ්වයන් විසින් කරුණු කාරණා විචාරශීලිව ග්‍රහණය කර ගැනීමත් සමඟය.
මේ දිනවල නවමු විප්ලවයකට සැරසෙන කාබනික වගා සංග්‍රාමය ද එවැන්නකි. වැඩියෙන්ම මතභේදයට තුඩු දී ඇත්තේ වී වගාව ගැනය. කාබනික වගාවක් ලෙස වී වගාවෙන් රට ගොඩ ගැනීමට හැකිද යන්න පිළිබඳව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි.
කාබනික වගාව රටට ලෝකයට අමුතු අත්දැකීමක් නොවේ. එමෙන්ම මෙය ඇතැම් පිරිස් එකවර මතු වුණු අනපේකෂිත කාරණයක් ලෙස හුවා දැක්වුව ද එය රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ද ඇතුළත්ව පැවතිණි. ඒ කෙසේ වෙතත් කාබනික වගාව අපට ආගන්තුක දෙයක් නොවන අතර පැරැණි කෘෂිකර්මාන්තය හා බැඳුණු ශිල්ප ක්‍රම සහ තාක්ෂණයත් සමඟ ඉතා හොඳින් බද්ධව පැවති ක්‍රමයකි. අදටත් සියයට සියයක් කාබනික යෙදවුම්වලින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත් දක්ෂ ගොවීන් අප අතර ඇත. ගොවීන් පමණක් නොව කෘෂිකර්මාන්තයට සම්බන්ධ සෑම පර්යේෂණ ආයතනයක්ම පාහේ රසායනික භාවිතයෙන් ඔබ්බට ගිය සොබාදහම සමඟ හොඳින් පෑහෙන කාබනික වගාව පිළිබඳිව ඉතා ඉහළ මට්ටමේ පර්යේෂණ සිදු කර ඇත.
මේ වන විට කාබනික වගාවට රට පෙළගැස්වීමේ ක්‍රියාන්විතයත් සමඟ වැඩියෙන්ම කතා බහට ලක්ව තිබෙන්නේ වී වගාව පිළිබඳවයි. එහිදි රසායනික පොහොර නොමැතිව වී වගාව කඩා වැටෙන තත්ත්වයක් ඇතිව තිබෙන බවට ඇතැම් පිරිස් උද්වේගකර ලෙස හඬක් නඟන මුත් ඒ කිසිවකු කාබනික වගවේ පවතින සාර්ථකත්වය අත්හදා බලා හෝ එවැනි අත්හදා බැලීමකට සූදානම් වන ස්වභාවයක් ද දක්නට නැත. එබැවින් වී වගාව සහ කාබනික පොහොර පිළිබඳව පවතින මිත්‍යාව වහා දුරු කළ යුතු බැව් අපි අදහස් කරමු.
සාවද්‍ය මත
මේ වන විට දේශීය කෘෂිකර්මාන්තය යටතේ යල මහ දෙකන්න ම වී වගා කරන ප්‍රදේශ බොහොමයකි. වගා බිම් ප්‍රමාණයෙන් සියයට 26ක්ම කරනු ලබන්නේ වර්ෂා පෝෂිත ක්‍රමයටය. සෙසු ඒවා මහාවාරි සහ සුළු වාරිවලින් සැපයෙන ජලයෙන් අස්වද්දනු ලබයි. එමෙන්ම මේ වන විට ලංකාව සහලින් ස්වයංපෝෂිත තත්ත්වයකට ළඟා වී ඇති අතර සහල් ආනයනය මුළුමනින්ම නවත්වා ඇත. ඉහළ අස්වැන්නක් ලබා දෙන වී ප්‍රභේද රැසක් ගොවීන් සතුව පවතින අතර, පර්යේෂණ ආයතන මඟින් සාර්ථක අත්හදා බැලීම්වලින් පසුව නිදහස් කරන වී ප්‍රභේදවලින් ගොවියාම බිත්තර වී සකසා ගන්නා තත්ත්වයට මේ කර්මාන්තය ශිල්පීය ක්‍රමවලින් දියුණු වී ඇත. මෙහිදී ඇතැමකු සිතන්නේ වැඩි අස්වැන්නක් ලැබෙන්නේ රසායනික පොහොරවලින් ලැබෙන උත්තේජනය නිසා බවයි. ඒත් එය අමූලික අසත්‍යයකි. එමෙන්ම රසායනික පොහොර නොලැබුණොත් අස්වනුවලින් සියයට පනහක් අඩු වන බවට ද සාවද්‍ය මතයක් සමාජගත වි ඇත.
1958-60 පමණ වින විට ලංකාවේ වි ගොවිතැන නවමු පරිච්ඡේදයකට එළඹෙන්නේ එතෙක් භාවිතයට ගත් පැරැණි දේශීය වී වර්ගවලට අමතරව වැඩි දියුණු කළ වී ප්‍රභේද හඳුන්වා දීමේ ක්‍රියාවලියත් සමඟයි. මෙය ද දෙමුහුන්කරණයක් වන මුත් එය දැන් ගොවින් අතර තිබෙන විදෙස් රටවලින් ආනයනය කරන හයිබ්‍රිඩ් තාක්ෂණය නොවේ. වී ස්ව පරාගණයෙන් සහ දෙමුහුන් කිරීමෙන් නව ප්‍රභේදයක් උත්පාදනය කර ගත හැකි අතර අද සිදු කරනු ලබන්නේ මුහුන් කිරිමයි. එනම් එකිනෙකට වෙනස් වී බීජ ප්‍රභේද දෙකක ජාන මුහුන් කිරීමෙන් නව ප්‍රභේදයක් බිහි කර ගැනීමයි.
පැරැණි දේශීය වීවල අස්වැන්න සාපේක්ෂ වශයෙන් අඩු වීමත් ගොයම් ගසේ පවතින ගති ලක්ෂණ අස්වනු අඩු වීමට සහ අස්වනු හානියට බලපෑමත් නිසා මුහුන් කිරීමේ දි එම අඩුපාඩු නැවත ඇති නොවන නව පරම්පරාවක් බිහි කර ගැනීම සිදු විය. උදාහරණයක් ලෙස ඇතැම් වී වර්ගවල අස්වනු අඩු වූ අතර ම ගොයම් ගස් ද ඉතා උසින් යුක්ත වීම නිසා ගොයම් ගස් වැටීම හේතුවෙන් අස්වනු හානියක් ද සිදු විය. මුහුන් කිරීමෙන් පසු ලැබුණු නව ප්‍රභේදවල අස්වනු වැඩි අතර ම ගොයම් ගස් උසින් අඩුය. ඒ ආකාරයෙන් වැඩි දියුණු කළ මුල්ම වී ප්‍රභේදය එච්4 නමින් ගොවීන් අතට පත් විය. මේ අයුරින් ගොවීන් ඉතා උද්යෝගිමත්ව මෙම වී ප්‍රභේද වැලඳගත් අතර එම වගා බිම් ද වඩාත් ආකර්ෂණීය විය. ඒ සමඟම සියලු ගොවීන් එකම වී ප්‍රභේදයක් විශාල වපසරියක් තුළ වගා කිරීමත්, ගොයම් ගසේ මාංසල ගතිය වැඩි වීමත් සමඟ කෘමි හානි ඇතුළු ලෙඩ රෝග මතු වීමත් ඒ වන විට ගොවින් යෙදූ ඒකාබද්ධ පළිබෝධ ක්‍රම ආදිය ඊට ඔරොත්තු නොදීමත් නිසා අස්වනු අඩුවීමත් අස්වනු හානියත් සිදු විය. මීට පිළියමක් ලෙස රසායනික තෙල් පොහොර යෙදීමට ආරම්භ විය. කෙසේ වෙතත් මේ විපර්යාසයත් සමඟ 1951 පමණ විට විට හෙක්ටයාරයකින් වී මෙට්‍රික් ටොන් 2ක් පමණ අස්වැන්නක් ලැබුණු කුඹුරුවලින් ඊට වඩා දෙගුණයක් එනම් හෙක්ටයාරයකට මෙ.ටොන් 4.5ක් වැනි ඉහළ අස්වැනනක් ලැබෙන තත්ත්වයට වී ගොවිතැන සමෘද්ධිමත් පත් විය.
පාරිසරික ප්‍රශ්න
මේ වන විට ලංකාව වී නිෂ්පාදනය අතින් දකුණු ආසියානු රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටියි. ඒ ඉහත සඳහන් කළ පරිදි හෙක්ටයාරයකින් මෙ.ටොන් 4.5ක අස්වනු ප්‍රතිශතය ඉහළ අගයක් ලෙස සලකන බැවිනි. නමුත් ආසියානු රටවල් අතුරින් චීනය, ජපානය, කාම්බෝජය, බංගලාදේශය, නේපාලය වැනි රටවල් අපට වඩාත් බොහෝ ඉදිරියෙන් සිටී. ඒ සඳහා එම රටවල පවතින හිතකර දේශගුණය ද ඉඳුරාම බලපා ඇත.
අපි වී නිෂ්පාදනය අතින් ඉහළ තැනක පසු වන්නේ රසායනික පොෙහාර භාවිතය නිසා නොවේ. ගොයම් ගසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය රසායනික හෝ වේවා කාබනික හෝ වේවා කුමන ක්‍රමවේදයකින් ලැබුණ ද අස්වැන්නේ වෙනසක් සිදු නොවේ. ගසට අවශ්‍ය පෝෂණ කොටස් ප්‍රමාණය නිවැරැදිව, නිසි කලට ලබා දෙන්නේ නම් එය ඉහළ අස්වැනනක් අනිවාර්යෙන්ම ලැබෙන බව දේශීය ගොවි මහත්වරුන් බුද්ධිමත්ව අවබෝධ කර ගත යුතුය. එමෙන්ම දැනට පවතින වැඩි දියුණු කළ වී ප්‍රභේද රසායනික පොහොර යෙදවුම් සඳහා පමණක් ප්‍රතිචාර දක්වන ස්වභාවයක් නැත. ගොයම් ගසට අවැසි වන්නේ පෝෂ්‍ය පදාර්ථ කොපමණ ප්‍රමාණයක් ද එය කාබනිකව ලබා දුන්නද ගොයම් ගස සිය කාර්යය සාමාන්‍ය පරිදිම සිදු කරනු ලබයි.
රසායනික පොහොර භාවිතය ලංකාවේ පාරිසරික ප්‍රශ්න සහ විශේෂයෙන් ජනතාවගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කළේ රසායනික පොහොර අවභාවිතයත් සමඟ ය. පොහොර යොදන විට අත දිග හැර පොහොර යෙදීමට ගොවියා හුරු කළේ රසායනික පොහොර සුලබ වීමත්, වැරැදි භාවිතයත් නිසාය. ඉවක් බවක් නොමැතිව කඩේ මුදලාලිගේ මිම්මට පොහොර යෙදීමේ විපාක නිසා බරපතළ ප්‍රතිවිපාක අප හමුවේ මතු වී ඇත. ඒත් යථාර්ථය වන්නේ එවැනි ආකාරයේ රසායනික පොහොර භාවිතයක් මඟින් ගොවියාට ලැබෙන සෙතක් නොමැති බවයි. එය අස්වැන්න වැඩී විමේ සාධකයට කිසිදු සම්බන්ධයක් නොමැති බව වටහා ගත යුතුය.
මේ වන විට බතලගොඩ, අම්බලන්තොට, බෝම්බුවල සහ ලබුදූව යන පර්යේෂණ ආයතන මඟින් වැඩි දියුණු කර නිදහස් කළ වී ප්‍රභේද රැසක් ගොවීන් අතර ජනප්‍රියව පවතී. ඒ අනුව දැනට වගා කරන ප්‍රමාණය අනුව සියයට 26-27ක් සම්බා ප්‍රභේදයි. තවත් සියයට 21ක් රතු නාඩු වන අතර සුදු නාඩු සියයට 52කි. දැනට ගොවීන් අතර ජනප්‍රිය ප්‍රභේද වන්නේ ඒටි 362 (අම්බලන්තොට රතු නාඩු), බීජි 352 (බතලගොඩ සුදු නාඩු), බීජි 300 (සුදු නාඩු), බීජි 366 (සුදු නාඩු), බිජි 360 (කීරි සම්බා), බීඩබ් 367 (බෝම්බුවල සම්බා) බීජි 358 (සුදු සම්බා), බීජි 1/94 (සුදු නාඩු), බීජි 359 (සුදුනාඩු), ඒටී 308 (සම්බා) යන ප්‍රභේදයි. මෙම සෑම ප්‍රභේදයක් ම බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු අනෙකුත් පර්යේෂණ ආයතන මඟින් වෙන වෙනම පර්යේෂණයට ලක් කර ඇති අතර එහිදී මේ සෑම ප්‍රභේදයකම කාබනික යෙදවුම් මඟින් ලැබෙන අස්වැන්න පරීක්ෂා කර බැලීමේ දී අස්වැන්නේ ප්‍රශස්ථ අගයේ කිසිදු අඩු වීමක් සිදුව නැති බව තහවුරු වී ඇති බව අපි වගකීමෙන් සඳහන් කරමු. මේ නිසා කාබනික වගාවට රට අවතීර්ණ කරවීමට රජය ගත් ක්‍රියාමාර්ගයේ කිසිදු වැරැද්දක් හෝ අඩු ලුහුඬුකමක් අපි නොදකිමු.
ස්වාභාවිකව පරිණාමය
එමෙන්ම වැඩි දියුණු කරන ලද වී ප්‍රභේද සහ කාබනික පොහොරවල ගුණාත්මය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරීම කිසිසේත්ම යුතු නොවේ. වැඩි දියුණු කළ වී ප්‍රභේද නිපදවා ඇත්තේ ගොවි ක්ෂේත්‍රයේ දී මතු වන කෘමි හානි පළිබෝධ හානි සියල්ලටම පාහේ ස්වභාවිකව ඔරොත්තු දීමේ හැකියාව ද වැඩි දියුණු කිරීමෙන් ය. ගොක් මැස්සාගේ හානිය, කොළ පාළු රෝගය, බැක්ටීරියා කොළ අංගමාරය වැනි පළිබෝධ හානිවලට ස්වාභාවික එසේත් නැත්නම් ඒකාබද්ධ පළිබෝධ ක්‍රමවලින් ඉතා හොඳින් විසඳුම් ලබා ගත හැකිය. ඒත් මේ කරුණු පිළිබඳ ගොවීන් නොදන්නාකම නිසා ඔවුන් කෘමිනාශක, රසායනික පොහොර පිළිබඳව පමණක් විශ්වාසය තබා ගෙන ඇත. එමෙන්ම ගොවීන් දැනුම්වත් විය යුතු තවත් කාරණා බොහෝය. පුරුක් පණුවා සහ කොපු අංගමාරය නැමැති පළිබෝධ හානි දෙකට ඔරොත්තු දිය හැකි වී ප්‍රභේද ලෝකයේ කිසිම තැනක නිපදවා නැත. එමෙන්ම එම හානි සියයට සියයක්ම පාලනය කළ හැකි ක්‍රම ද ලොව කිසිදු රටක නැත. ඇතැම් විට රෝග පළිබෝධ මර්දනයට සොයා ගන්නා රසායනික හෝ කාබනික යෙදවුම්වලට ද ප්‍රතිවිරෝධතාවක් නොදක්වන ලෙස එම ප්‍රභේද ස්වාභාවිකවම පරිණාමය වීමට බැරිකමක් නැත. එය ලෝක ධර්මතාවකි. මේ නිසා වී වගාවේ දි මතු වන මෙම බාධාවන්ට විසඳුම් සෙවිය යුත්තේ ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම මඟින් පමණි.
මේ වන විට බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සිදු කරන ලද නව පර්යේෂණ මඟින් ගොවීන් මුහුණ දෙන අවශේෂ ගැටලුවලට ද විසඳුම් ලබා දෙන උසස් තත්ත්වයේ වැඩි දියුණු කළ වී ප්‍රභේද හඳුන්වා දී ඇත. නිදසුනක් ලෙස පසේ අධික ලවණතාවට ඔරොත්තු දෙන ප්‍රභේද ලෙස ඒටී 354, බීජී 369, බීජී 310 ඇත. මෙහිදී මුහුද ආශ්‍රිත පසේ ලවණතාව මෙන්ම රට ඇතුළත ඇතැම් කලාපවල පසෙහි පවතින ලවණතාවට ද මෙම ප්‍රභේද ඉතා හොඳින් ඔරොත්තු දෙයි. එමෙන්ම යකඩ විෂ වීමේ රෝගයට එල්ඩී 356, බීඩබ් 367, බීඩබ් 372, බීඩබ්312 මනාව ඔරොත්තු දෙන ප්‍රභේදයි.
දැවැන්ත ප්‍රගතිය
කෘෂිකර්මාන්තය මෑත කාලයේ අත්කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ඇතැම් අය සුළු කොට තැකිම සහ විවේචනාත්මක බැහැර කිරීම ද නිරන්තරයෙන් සමාජය තුළින් මතුවන වාද විවාදවලින් පසක් වෙයි. මෙය ද කොරෝනා එන්නත ලබා ගත් සෑම පුද්ගලයකුම වසර දෙකක් ඇතුළත මිය යන බවට කළ මිථ්‍යා ප්‍රචාරය හා බඳුය. කාබනික යෙදවුම් සම්බන්ධයෙන් ද එවැනි මිථ්‍යා මතයක් නිරන්තරයෙන් විවිධ පිරිස් ඉදිරිපත් කරති. එනම් හෙක්ටයාරයක ට අවම වශයෙන් කාබනික පොහොර මෙ.ටොන් 10ක්වත් යෙදිය යුතුය යන ප්‍රකාශයයි. එය සහමුලින්ම වැරැදිය. පසට අවශ්‍ය පොහොර ප්‍රමාණය නිශ්චිතවම ගණනය කළ හැක්කේ පාංශූ පරීක්ෂාවකිනි. එමෙන්ම කලාපයෙන් කලාපයට පසේ ස්වභාවය ද වෙනස්ය. තෙත් කලාපයේ පසෙහි කාබනික කොටස් වැඩිය. එමෙන්ම රසායනික පොහොරවල නයිට්‍රජන් ඇත්තේ සියයට 0.5-1 පමණය. මේ නිසා පසට නයිට්‍රජන් වැඩියෙන් වුවමණා කරන්නේ නම් කරන්නේ රසායනික පොහොර ද වැඩියෙන් යෙදිය යුතුය. එමෙන්ම නයිට්‍රජන් සංයුතිය වැඩි කාබනික පොහොර ද සකසා ගත හැකිය. පිදුරු, ගොම, සහ ගිනිසීරියාවලින් ද නයිට්‍රජන් 0.5-1ක් පමණ ලැබෙන මුත් එම ප්‍රමාණය වැඩි කර ගැනීමට නම් කුකුළු පොහොර මිශ්‍රණයට එක් කර ගත හැකිය. මේ දැනුම් ඉදිරියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ගොවීන්ට දීමට කටයුතු කරමින් පවතින අතර දැනට ක්ෂේත්‍ර නිලධාරින්ට මේ සඳහා අවශ්‍ය දැනුම් දෙමින් සිටින බව ද මතක් කිරීමට කැමැත්තෙමු.
එමෙන්ම ගොවින් දැන ගත යුතු තවත් කාරණයක් ඇත. සාමාන්‍යයෙන් ගොයම් කපන විට ගොයමත් සමඟ වී මෙට්‍රික් ටොන් එකකින් නයිට්‍රජන් කිලොග්රෑම් 22ක්, පොස්පරස් කිලෝග්රෑම් 5ක්, සහ පොටෑසියම් කිලෝ ග්රෑම් 15ක් ඉවත් වෙයි. ඊළඟ කන්නයේදී අප විසින් පසට දිය යුත්තේ එසේ ඉවත ගිය පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය පමණි. එය රසායනික පොහොරවලින් ම දිය යුතු යැයි නියමයක් නැත. කාබනික පොහොරවලින් දුන්නද ලැබෙන්නේ පෙර ලැබුණු අස්වැන්නම ය.
කෙසේ වෙතත් කාබනික වගාව ඇතැම් ගොවීන්ට ආගන්තුක අත්දැකීමක් විය හැකිය. ඒත් ඉදිරියේ දී කෘෂිකර්ම නිලධාරින් මඟින් ඒ දැනුම ගොවියාට ලැබෙනු ඇත. මේ වැඩපිළිවෙළ පිළිබඳ සුබවාදීව බලන තරමට අපට අපේ ඉලක්කය කරා යා හැකිය. විචාරශීලි නොවන පුහු තර්ක අපට වේගයෙන් ළඟා කර ගත හැකි සාර්ථකත්වයන් ආපස්සට හරවන බව අමතක නොකළ යුතුය. කාබනික යෙදවුම් නිසා වී වගාව බිඳ වැටීමට කිසිඳු ඉඩක් නැත. අවශ්‍ය වන්නේ නිසි වේලාවට නිවැරැදි භාවිතයයි.
සකුන්තලා ජයසිංහ
අඹන්පොළ විශේෂ – dinamina jun 17