“මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට කියලා දෙන්න ඕනා. මේක මගේ මේ හදිසි තීරණයක් නෙමෙයි. මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම අයවැයේදී අපි පැහැදිලිව කිව්වා අපි මෙතනට යන්නේ කියලා. මේක රටට විතරක් නෙමෙයි, ලෝකෙටම හොඳ තීරණයක්. නරක දෙයක් නම් මට අවශ්‍ය නෑ. මේක හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටිකාලා හරි වැඩේ කරන්න ඕනා.”
මේ පසුගිය ජූනි 08දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකි.
“නිරෝගීමත් සහ ඵලදායි පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය.” යන්න ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දුවක් ලබා දී ඇත. එබැවින් එකී කාර්යයට දැන් අත ගසා තිබේ.
මෙමඟින් වක්‍රාකාරයෙන් රට තුළ තවත් යහ ප්‍රතිඵල රැසක් උත්පාදනය වේ. ඒ අතරට දිගු කාලීන ප්‍රතිලාභ ලෙස බෝග ඵලදායිතාවය වැඩි කිරීම, පසේ සාරවත් බව වැඩි කිරීම, රසායනික පොහොර ආනයනය අඩු කිරීම යනාදිය දැක්විය හැකිය. කෙටි කාලීන ප්‍රතිලාභ අතරට අලුතෙන් භාවිත කළ හැකි කාබනික අමුද්‍රව්‍යය නිර්ණය කිරීම හා භාවිත කිරීම, කාබනික ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි කිරීම, සුලබ කාබනික අමුද්‍රව්‍ය හා ග්‍රාමීය අපද්‍රව්‍යයෙන් පරිසර දූෂණය හානිය අවම කරමින් ඵලදායී ලෙස කොම්පෝස්ට් නිෂ්පාදනය, නිවැරැදි තාක්ෂණික ක්‍රම මඟින් තත්ත්වයෙන් උසස් කොම්පෝස්ට් නිෂ්පාදනය, මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණයේ කොම්පෝස්ට් නිෂ්පාදනය වැඩි කිරීම, ප්‍රමිතියෙන් යුතු කොම්පෝස්ට් නිෂ්පාදනය ප්‍රචලිත කිරීම, රැකියා ප්‍රවර්ධනය, කොම්පෝස්ට් අලෙවිය මඟින් ආදායම් උත්පාදනය, කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීම හා වැඩි දියුණු කිරීම යනාදිය ඇතුළත්ය.

රසායනික පොහොර භාවිතය
තව ද ආහාර නිෂ්පාදනය වැඩි කිරීම, එමඟින් වස විසෙන් තොර පරපුරක් බිහිවීම, ගොවීන්ගේ ආදායම වැඩිවීම, පරිසර හිතකාමී කාබනික පොහොර නිෂ්පාදනය සිදුවීම, කාබනික පොහොර භාවිතයට ගොවියා හුරු කිරීම තුළින් ඔහුට ද පොහොර සකසා ගැනීමේ හැකියාව හා දැනුවත්භාවය ඇතිවීම, රසායනික පොහොර ආනයනය අඩු වීම තුළින් යන වියදම අඩුවීම ඒ අතරට ගැනෙන ප්‍රතිලාභයන්ය.
එසේ හෙයින් කාබනික පොහොර ගොවිතැන යනු ඉතා ප්‍රගතිශීලී හා හොඳ මට්ටමේ වැදගත් සංකල්පයකි.
අතීත හෙළ දරුවන් රට ස්වංපෝෂිත කළේ කෘෂිකර්මාන්තයෙනි. ඊට නොකම්මැලි හා ගතේ සිතේ දිරිය මිනිසුන්ගේ දායකත්වය හොඳින් ලැබිණි. රජුගේ මූලිකත්වයෙන් රට අස්වද්දා වැඩියෙන් ලැබූ අස්වැන්න විදෙස් රටවලට ද යැවූ බව ඉතිහාසය සාක්ෂි දරයි.
එදා ගොවි බිම් සරු කලේ රසායනික පොහොර භාවිතයෙන් නොවේ. එබැවින් එකල විසූවෝ කාය ශක්තියෙන් පිරිපුන් හා වස විස ශරීරගත නොවූ නිරෝගී පිරිසක් ද වූහ. රජ දරුවෝ ද මීට පූර්ණ දායකත්වය ලබා දී සුදුසු කාබනික පොහොර යොදා පස සරුසාර කොට අටුකොටු පුරවා රටේ පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාවය සපයා දුන්හ.
නමුත්, වර්තමානයේ සිදු වනුයේ නොකම්මැලිව සිටි ගොවියා කම්මැලියකු බවට පත් කරමින් වස විස සහිත රසායනික පොහොර භාවිතයට හුරු කරවීමයි. ඔහු තම ස්ව ශක්තියෙන් පස සාරවත් කරනවා වෙනුවට පිටරටකින් එන වසවිස සහිත පොහොර එනතුරු බලා හිඳිති. පස පමණක් නොව ලබාගන්නා අස්වැන්නට ද වස විස එකතු වේ. ඒවා පරිභෝජනයට ගන්නා විට සිදුවනුයේ ශරීර සෞඛ්‍යය පිරිහී යෑමය; වස විස ශරීරගත වීමය. අතීතයේ ජීවත් වූවන්ට අද මෙන් භයානක තත්ත්වයේ ලෙඩ රෝග ඇති නොවිණි. වර්තමානයේ දියවැඩියා රෝගය වැළඳුණු නැති අයෙකු සොයා ගැනීම අසීරුය. පිළිකා, වකුගඩු ඇතුළු නිධන්ගත රෝග වැළඳී අඩු ආයු කාලයකින් මිනිස් ප්‍රජාව මරු වැළඳ ගනී. මීට ප්‍රධානම හේතුව ඔවුන්ගේ එදිනෙදා පරිභෝජන රටාවයි. එහි ඇතුළත්ව ඇති වස විස ශරීරගත වීමයි. ශරීරයෙ සියලු ඉන්ද්‍රියන්ට මේවා අහිතකර ලෙස බලපාන්නේ සෘජුවම ආහාර මඟින් වස විස ලෙසින් ශරීරගත වීමයි. එසේ හෙයින් වස විස ශරීරගත වීම වැළැක්වීමට නම් කළ යුත්තේ ආහාර නිෂ්පාදනයේ දී එකතු වන වස විස නැති කිරීමයි. වගාවට, පසට යොදන වස විස හෙවත් රසායනික පොහොර භාවිතයෙන් මිදීම මීට එකම පිළිතුරයි.

මහා පරිමාණ ව්‍යවසායකයන්
මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගෙන කාබනික පොහොර භාවිතය දැන් ආරම්භ කර ඇත. නමුත් මෙතෙක් රසායනික පොහොර භාවිතයට පුරුදුව සිටි ගොවීන්ට මෙය අතුල් පහරකි. කාබනික පොහොර නිෂ්පාදනයට ඔවුන් මැළි වෙති. මෙහි පල රසායනික පොහොර මෙන් කඩ නමින් ගත හැකි නොවේ. ඒ සඳහා යම් කාලයක් ගත වේ. වස විස සහිත රසායනික පොහොර යොදා වැඩි අස්වැන්නක් ගැනීමට මොවුන් හුරු පුරුදුව සිටීම ඊට හේතුවයි. වස විස සහිත රසායනික පොහොර භාවිතයේ අනිසි පල ලෙසින් වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇතුළු නොයෙක් රෝගාබාධවලට ලක්ව ගොවි ජනයා අඩු ආයු කලකින් මරණයට පත්වන බව ඔවුන්ටම නොවැටහීම ද කනගාටුවට කරුණකි. ගොවියා යනු නොකම්මැලි, සූර අයෙකි. එසේම කාය ශක්තිය මහ පොළොව වෙත මුදා හරින අයෙකි. නමුත්, අද ගොවීන් දෙස බැලූ කල්හි ඔවුන් රෝගී පිරිසක් බවට පත්ව ඇත්තේ ද වස විස ශරීර ගතව ඇති බැවින් බව වැටහේ.
කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් දැන් රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩපිළිවෙළක් ද දියත් කොට ඇත. ආධාර ද ලබා දේ. ඊට අවශ්‍ය දැනුම ද බෙදා හරිමින් පවතී. තව ද මේ ඉලක්ක ජය ගැනීම සඳහා ‘දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය’ නමින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පත් කර ඇත.
එක් පැත්තකින් ගොවීන්ට තම ඉඩකඩ ඇති ගෙවත්තේ හෝ තමන්ට අවශ්‍ය පමණ කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙළට යොමු කරන අතරතුර මහා පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කර රට තුළ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගෙන ඇත. ඊට අවශ්‍ය තාක්ෂණය හා දැනුම පමණක් නොව සියලු පහසුකම් ද ලබා දී එම නිෂ්පාදන දැනටමත් වැඩ අරඹා ඇත. එබැවින් පොහොර ආනයනය නොකර දේශීයව නිෂ්පාදනය කිරීම තුළින් වැඩි ප්‍රතිලාභ උපයා ගැනීමටද හැකියාව ඇත.
“ඒ අතරේ බැරිම වුණොත් විතරක් ආනයනයට ප්‍රමිතීන් හදලා සියල්ල කරලා තියෙන්නේ. ගෙනාවත් ගේන්නේ ශුද්‍ර ජීවීන් රහිත ජීවානුහරණය කරපු ඒවා. මේ හරහා රටට අහිතකර කිසිවක් නොඑන බවට පදනමේ තමයි අපි ඉන්නේ.”
මේ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතාගේ අදහසයි.

කොම්පෝස්ට් පොහොර
“ගෙවුණු වසර හතර තුළ රසායනික පොහොර භාවිතය 300%කින් වැඩි වුව ද රටේ නිෂ්පාදනය කිසිදු වැඩිවීමක් වෙලා නෑ. අපේ අය හිතාගෙන ඉන්නේ කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර පමණයි භාවිත කළ යුත්තේ කියලා. අපි ඒකට පුදුම වෙන්නේ නෑ. මොකද 1965 ඉඳලා විශ්වවිද්‍යාලවලත් කෘෂිකර්මාන්තය උගන්වලා තියෙන්නේ රසායනික පොහොර භාවිතාව ගැන. ශාකයට අවශ්‍ය සංඝටක ටික ලබා දෙනව නම් ඒක කාබනික ද රසායනික ද කියන එක නෙමෙයි, ශාකයට අවශ්‍ය දේ දෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. අපේ අයගේ ඔළුවේ තියෙන්නේ කාබනික පොහොර කිවුවහම කොම්පෝස්ට් පොහොර කියලා. අද තාක්ෂණය ඉන් එහාට ගිහින්. ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය දීලා, රුපියල් 30,000ක මුදලක් දීලා තමන්ගේ කුඹුරට අවශ්‍ය පොහොර ටික හදාගන්න අපි කටයුතු කරනවා. පොහොර හිඟයක් ඇතිවෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. ගොවියාගේ නිෂ්පාදනයේ යම් අඩුවක් වුණොත් ඊට වන්දියක් ගෙවන්න අපි සුදානම්.”
මේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ අදහසයි.
“මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. මේක කරන්න පුළුවන් දෙයක්. මම වගකීමෙන් කියනවා, ඒ කරන්න පුළුවන් කාර්යයට අපිව පත් කරලා තියෙනවා, මේකට මඟ පෙන්වලා දෙන්න කියලා.”
මේ, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩසටහන් අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා පටුනගේ අදහසකි.
අතීත කෘෂි වගාවේ දී යොදාගත් සාම්ප්‍රදායික ක්‍රම, කෙම් ක්‍රම ඇතුළුව සකසා ගත් කොම්පෝස්ට් පොහොර යනාදියෙන් මිදී වහා වැළඳගත් බටහිර රසායනික පොහොර නිසා අද කෘෂිකර්මාන්තය පමණක් නොව ඒ වටා ගෙතුණු අපේ සංස්කෘතිය, හර පද්ධතිය, ආහාර රටාව ඇතුළු ජීවිත ගෙත්තම ද වෙනස්ම දිශානතියකට තල්ලු වී හමාරය. මෙය බැලූ බැල්මට ආපසු හැරවීම හෝ යාන්ත්‍රණය වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවේ. නමුත්, ක්‍රමානුකූලව කිසියම් ක්‍රමවේදයකට අනුව කළ හැකිය. බාධක, දුෂ්කරතා, අභියෝග හා ගැටලු මෙන්ම ගොවි උද්ඝෝෂණ ද ඇති වීම සිදු විය හැකියි. එය ප්‍රායෝගික සත්‍යයකි. නමුත්, මෙහි දිගුකාලීන යහපත් ප්‍රතිඵල ලැබෙන විට ගොවීන් ප්‍රමාද වැඩිය. ගොවීන් කම්මැලි පිරිසක් බවට පත් කළේ බහුජාතික පොහොර සමාගම්ය. ඔවුන්ගේ වෙළෙඳපොළ ඉලක්ක සපුරා ගැනීම උදෙසා ඉලක්කයක් කර ගත්තේ ගොවි ජනතාවයි. කඩිනමින් අස්වැන්න ලබාදෙන රසායනික පොහොර භාවිතයට ගොවීන් යොමු කළේ මේ බහුජාතික වෙළෙඳපොළයි. ගොවීන්ට මෙය බැලූ බැල්මට බාහිරින් පෙනෙන්නක් නොවේ. ඔවුන් පෙනී සිටින්නේ ගොවීන්ගේ එකම ගැලවුම්කාරයා ලෙසිනි. ගොවීන්ට පෙන්වා දෙන්නේ ඉක්මනින් හා පහසුවෙන් මුදල් උපයා ගත හැකි වෙළෙඳපොළයි.
වර්තමානයේ පොහොර ඉල්ලා ගොවීහු මහ මඟට බැස සිටිති. ගොවීන් අවුස්සා, මහ මඟට බසින ලෙස පොළඹවන්නේ බහු ජාතික සමාගම්ය. තව ද වෙනත් දේශපාලනික අරමුණු හා ඉලක්ක වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්ය. නමුත් ඔවුන් කිසි විටෙකත් ගොවීන්ට හොඳ අස්වැන්නක් ලබා ගත හැකි ආකාරය පෙන්වා දෙන්නේ නැත. ඔවුන්ගේ ගොවි ගැටලුවලට විසඳුම් පෙන්වා දෙන්නේ ද නැත. වස විසෙන් තොර පරිසරය හිතකාමී වගාවන් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ ද නැත. කිසිඳු අවස්ථාවක, කිසිඳු කලෙක ගොවියන් වෙනුවෙන් පෙනී නොසිටි මොවුන් කාබනික පොහොරවලට ගොවියන් යොමු කරන්න සූදානම් වන මෙවන් අවස්ථාවක පෙරට එන්නේ මන්ද?
එසේ නම්, ගොවි ජනයා උද්ඝෝෂණවලට පොළඹවන ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් කටයුතු කරන කණ්ඩායම් හා පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ආරක්ෂා වීම හොඳම දෙයයි. එබැවින් ගොවිතැනත්, ගොවි ජීවිතත් සුරක්ෂිත කරන්නටත්, අනාගත පරපුරට ද වස විසෙන් තොර ජීවිත ලබා දෙන්නටත් වෑයම් කරන ඒ වෙනුවෙන් පිඹුරුපත් සකසන ක්‍රමවේදයන්ට බැඳී සිටින රාජ්‍ය යාන්ත්‍රණය වෙත අත්වැල් බැඳ ගැනීම අද දවසේ කළ යුතු සාධනීයම කාර්යයයි.
ඉහළ ඡායාරූපය – කාබනික ඩ්‍රැගන් පෘට් වගාවක්
ශ්‍යාමා සමරසිංහ විසින් දිනමිණ පුවත්පතට සම්පාදිත ලිපියකි