ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ‘සෞභාග්‍යයේ ගමන‘

ආණ්ඩුව පිහිටුවා වසරක් ගත වන විට ශ්‍රී ලංකාවේ ආර්ථීකයට මෙන්ම ගෝලීය ආර්ථීකයට එල්ල වී ඇති බලපෑම ඉතා ඉහළය. සැබෑ යථාර්ථයක් වන්නේ මෙම ආණ්ඩුව ගොඩනැගෙන්නේ මහා විශාල ව්‍යසනයක් පැතිරී ගිය වකවානුවක් තුළය.

අනෙක් අතට 2019 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ සාධනීය වෙනසක් සිදු කිරීමට නොහැකි වී තිබිණි. මක්නිසාද යත් පාර්ලිමේන්තුව තුළ පොදුජන පෙරමුණට බහුතර බලයක් නොමැති වීමයි. මාස 6 කට වැඩි කාලයක් ආණ්ඩුව විසිරවීමට නෛතික බලයක් නොමැති වීමත් කොවිඩ් වසංගතය දරුණු ආකාරයෙන් පැතිරීම නිසා මුළු රටම ආර්ථික හා දේශපාලන වශයෙන් කඩා වැටීම සිදුවුණි. එවැනි වාතාවරණයක් තුළ ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි වූ විශ්වාසය නිසා තුනෙන් දෙකක බහුතරයක් සහිත බලයක් ලබා දී ජනතා අපේක්‍ෂාවන් ඉටු කිරීමට ශක්තියක් ලබා දී තිබුණි.

පසුගිය ජනාධිපතිවරණය හා මහමැතිවරණය තුළ බොහෝ දුරට සාකච්ඡාවට ගැණුනු මාතෘකාවක් වූයේ දේශීය ආර්ථික රටාවක් රට තුළ ගොඩනැඟිය යුතු බවයි. ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 5 පරිච්ජේදයේ දක්වා ඇති පරිදි ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනැඟීම පිළිබඳව දක්වා තිබේ. ඒ අනුව, රජය ආර්ථීකයේ අයිතින් ජනතාවට හිමිවන ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථික පිළිවෙතක් කරා ගෙනයෑමෙන් රට තුළ ඉතිරි කිරීම්, දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කරන ජාතික ආර්ථීක ප්‍රතිපත්තියකින් අනාගත පරපුරට උරුම කිරීමේ ඉලක්කයන් සපුරා ගැනීමට අපේක්‍ෂා කර තිබේ.

ඒ අනුව යමින් 2020 – 2025 කාලවකවානුව තුළ ආර්ථික ඉලක්කයන් යටතේ ආර්ථික වර්ධන වේගය 6.5%ක ඉලක්කයක් කරා ගමන් කිරීම ඇ.ඩො. 6500 ඉක්මවූ ඒක පුද්ගල ආදායමක් කරා ගමන් කිරීම, සේවා වියුක්තිය 4% මටට්මක පවත්වාගෙන යාම, උද්ධමනය 5%ක මට්ටමක පවත්වාගෙන යාම අය-වැය හිඟය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 4% පහල මට්ටමක පවත්වාගෙන යාම, පොලි අනුපාතිකයන් තනි ඉලක්කමක පවත්වාගෙන යාම, රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම වැනි පුළුල් ඉලක්කගත වැඩ පිළිවෙළක් පෙන්වා දී තිබුණි.

රටක දේශීය ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ප්‍රධාන වශයෙන් කළ යුත්තේ දේශීය නිෂ්පාදන තවදුරටත් ඉහළ නැංවීමයි. එසේ නම් ඒ සඳහා වෙළඳපළ විවෘත කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කළ යුතුය. මේ වන විට රජය ඒ සඳහා විවිධ අවස්ථාවන්වල දී ප්‍රතිපත්තිමය තීරණයන් ගෙන තිබෙන බව පෙනේ

රටක දේශීය ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ප්‍රධාන වශයෙන් කළ යුත්තේ දේශීය නිෂ්පාදන තවදුරටත් ඉහළ නැංවීමයි. එසේ නම් ඒ සඳහා වෙළඳපළ විවෘත කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කළ යුතුය. මේ වන විට රජය ඒ සඳහා විවිධ අවස්ථාවන්වල දී ප්‍රතිපත්තිමය තීරණයන් ගෙන තිබෙන බව පෙනේ. විවිධ කණ්ඩායම් කෙතරම් විවේචනය කළද ආනයනය සීමා කරන ලද්දේ ඒ අනුව බව පෙනේ. ඒ අනුව මේ වන විට රට තුළ කහ නිෂ්පාදනය සිදු වූ අතර වෙළඳපළ තුළ දේශීය කහ මිල දී ගැනීමේ හැකියාව තිබේ. කහ ආනයනය තුළින් විදේශ විනිමය ගලායෑම සුළු ප්‍රමාණයකින් වුව ද නතර වී ඇති අතර ඒ තුළින් දේශීය ගොවියා ශක්තිමත් වී තිබේ.

මේ වන විටත් කව්පි, මුංඇට වැනි ධාන්‍ය වර්ග ද ඉන්දියාවෙන් ආනයනය නතර කර ඇති අතර, දේශීය ගොවීන් දේශීය ධාන්‍ය වර්ග වගා කිරීමට පෙළඹී ඇති බව පෙනේ. කෙසේ වෙතත් 2021 වසරේ පළමු මාස 4 තුළ දී ලංකාවේ අපනයනයන් 29.6% කින් වර්ධනය වීම යහපත් ලක්ෂණයක් වන අතර කෘෂිකාර්මික නිෂ්පාදන 32.6%කින් ද, තේ 19.6%කින් ද, රබර් සහ පොල් 48.7%කින් ද අනෙක් කෘෂි නිෂ්පාදන විශේෂයෙන් වැවිලි බෝග ආදිය 47.6%කින් ද වැඩිවීම යහපත් ප්‍රවණතාවයන් ලෙස දැකිය හැකි ය.

නව රජයේ අමාත්‍යාංශ ඇති කිරීමේ දී මෙයට පෙර වූ රජයන් ඇති කළ අමාත්‍යාංශයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ අමාත්‍යාංශයන් වෙන් කිරීම සිදු කර තිබේ. රජයේ මෙම ප්‍රතිපත්තිමය තීරණ මුල් කාලීනව විවේචනයන්ට ලක්ව තිබුණි. එහෙත් මෙම රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කිරීමේ වටිනාකමක් ඇති බව පෙනේ. උදාහරණයක් ලෙස දැනට පිහිටුවා ඇති බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සලකා බැලීමේ දී දේශීය කර්මාන්ත නඟාසිටුවීම මෙම අමාත්‍යාංශය තුළින් බලාපොරොත්තු වූ අතර එම අමාත්‍යාංශ මඟින් දැනටමත් බතික් ඇඳුම් දේශීය වශයෙන් ප්‍රවර්ධනයට විශාල උත්සාහයක් ගෙන තිබෙන අතර මේ වන විට තරුණියන් තුළ බතික් ඇඟලුම් සඳහා ඉල්ලූමක් හා ප්‍රවණතාවයක් ඇති වී තිබේ.

තවත් කැපී පෙනෙන රාජ්‍ය අමාත්‍යාංශයක් වන්නේ උක්, බඩඉරුගු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් කුඩා වැවිලි බෝග සංවර්ධන, කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශයයි. පැහැදිලිවම මෙම අමාත්‍යාංශ වෙන් කිරීම තුළ තමන්ට පැවරී ඇති කාර්යයන් අමාත්‍යාංශ නම් කිරීමෙන් ලබා දීමයි. මෙය ප්‍රතිපත්තිමය වශයෙන් දේශීය ආර්ථීකයක් ගොඩනැඟීම සඳහා ගත් සාධනීය පියවරක් වශයෙන් දැකිය හැකිය. අමාත්‍යාංශය නම් කිරීම නොහැකි වුවත් ක්‍රමෝපායිකව මෙය ඉතා වැදගත් වේ.

දේශීය ආර්ථිකයක් ගොඩනැ‍ඟීමේ දී ප්‍රධාන කාර්යයන් සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත මගින් සිදුකරනු ලබන බව හඳුනාගෙන තිබේ. රජය හඳුන්වා දුන් ණය සහන පැකේජයේ එක් ප්‍රධාන පරමාර්ථයක් වූයේ ව්‍යුහාත්මක හා මුදල් ප්‍රවාහනයේ ගැටලු නිසා අක්‍රිය හා ඌණ ක්‍රියාකාරීත්වයේ පවතින ව්‍යවසායකයන් හඳුනාගෙන ඒවායේ ක්‍රියාකාරීත්වය ඉහල නැංවීම තුළින් ආර්ථීක වර්ධනය ඇති කිරීමයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටුණු කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යාපාරික ප්‍රජාව ආරක්‍ෂා කිරීම උදෙසා රජය අමතර රුපියල් මිලියන 20, 000ක මුදලක් බැංකු ක්‍රමයට ලබා දී තිබේ. ඉන් බිඳ වැටීමට ගිය බොහෝ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ප්‍රජාව ආරක්‍ෂා කිරීමට හැකි වීම භාග්‍යයකි. මෙම සහන පැකේජයන් යටතේ නම්‍යශීලී ණය සහන කාලයක්, ණය ගෙවීම් කාලය දීර්ඝ කිරීම, දඩ අය විය යුතු පොලී කපා හැරීම ආදී සහනයන් ලබා දෙමින් සහන පැකේජයන් පුළුල් කර තිබේ. තව ද කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා නිසි නියාමන ව්‍යුහයක් නොතිබුණු නිසා ඇති වූ ගැටලු විසඳීම සඳහා පුළුල් පරාසයක බලතල සහිත ක්‍ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. ග්‍රාමීය ප්‍රජාව වෙත ණය දීමේ ක්‍ෂුද්‍ර මූල්‍ය මාෆියාවෙන් බේරා ගැනීමට හා ආර්ථික සුරක්‍ෂිතතාවය මෙම හඳුන්වාදීමෙන් තහවුරු වනු ඇත.

තරුණ දිරිය ණය යෝජනා ක්‍රමය මඟින් රජය ආර්ථික පරිවර්ධනයට බලපෑමක් සිදු කළ හැකි නවෝත්පාදන ව්‍යාපාර ආශ්‍රිත කර්මාන්ත සඳහා පුළුල් ඉඩකඩ ලබා දී තිබේ. මේ අනුව නවෝත්පාදන ව්‍යාපාර ඇති කළ හැකි තරුණ තරුණියන්ට පුළුල් ව්‍යාපාරික අවස්ථාවන් ද විවිධ ක්‍ෂේත්‍රයන් තුළ ඇති කිරීමට රුකුලක් ලබා දී තිබේ.

කිරිපිටි ආනයනය සඳහා රජය වාර්ෂිකව ඇ.ඩො. මිලියන 300කට වැඩි ප්‍රමාණයක් වැය කරන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත් දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් ‘කිරි ශක්ති’ ණය යෝජනා ක්‍රමය මගින් රු. මිලියන 1000ක් වටිනා ණය මුදලක් සුළු හා මධ්‍ය පරිමාන කිරි ගොවීන් 1000ක් ඇති කිරීම සඳහා පහසුකම් සපයා තිබේ. මෙමගින් තවදුරටත් දේශීය ආර්ථිකයට ශක්තියක් ලැබෙන බව පෙනෙන්නට තිබේ.

2020 වර්ෂයේ දී සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සඳහා බැංකු විසින් ලබා දී ඇති මුළු ණය ප්‍රමාණයෙන් 11%ක් කෘෂිකාර්මික අංශයටද, 28%ක් කර්මාන්ත අංශයටද, 30%ක් සේවා අංශයටද, අනෙකුත් විෂයයන් සඳහා 31%ක්ද වශයෙන් ලබා දී තිබේ. මෙයට අමතරව පසුගිය කාල පරිච්ෙඡ්දය තුළ දී විදේශ ආධාර මගින් රුපියල් මිලියන 1.158ක මුදලක් කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය සඳහා බැංකු ක්‍රමය මඟින් ලබා දීම ආර්ථිකයට ඉදිරියේ දී ශක්තියක් වනු ඇත.

සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සෞඛ්‍ය සම්පන්න හා ඵලදායී ප්‍රජාවක් බිහි කිරීම සඳහා කාබනික පොහොර භාවිතය පිළිබඳ පැහැදිලි කර තිබේ. ඒ අනුව යමින් ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ කාබනික පොහොර කර්මාන්තයක් ඇති වනු ඇත

‘සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සෞඛ්‍ය සම්පන්න හා ඵලදායී ප්‍රජාවක් බිහි කිරීම සඳහා කාබනික පොහොර භාවිතය පිළිබඳ පැහැදිලි කර තිබේ. ඒ අනුව යමින් ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ කාබනික පොහොර කර්මාන්තයක් ඇති වනු ඇත. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවේ කාබනික පොහොර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහාත් වස විසෙන් තොර ආහාර රටාවක් ඇති කිරීම සඳහාත්, කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකොට රජය විසින් රසායනික පොහොර, කෘමිනාශක, වල් නාශක භාවිතය හා ආනයනය දැනටමත් සීමාකර ඇති පසුබිමක ඉදිරියේ දී කාබනික වගාවන් සඳහා යොමුවන ගොවීන් සඳහා සහනාධාර වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළින් තවදුරටත් මෙම වැඩපිළිවෙළ ශක්තිමත් වනු ඇත.

රජය වැවිලි කර්මාන්තය ශක්තිමත් කිරීම මගින් ඉහල ඵලදායීතාවයත්, ඉහල විදේශ විනිමයත් ලබා ගැනීමේ පුළුල් ඉලක්කගත වැඩසටහනකට යොමු වී තිබේ. ඒ අනුව රජය 2020 වර්ෂයේ දී කුඩා තේවතු හිමියන්ට තේ වගාව සඳහා හෙක්ටයාරයකට රු. 500, 000ක් සහ රු. 400, 000 වශයෙන් සහනාධාර ලබාදෙන අතර, 2020 වර්ෂයේ දී රු. මිලියන 612ක විශාල මුදල් ප්‍රමාණයක් තේ නැවත වගා කිරීම සඳහා තේවතු හිමියන් 27, 789ක් සඳහා ලබා දී තිබේ. ඒ අතර ම රබර් වගාව සඳහා ද ණය ආධාර ලබා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ. පොල් වගාකරුවන් දිරිමත් කිරීම සඳහා පොල් පැළ නොමිලේ ලබා දෙන වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ, රජය 2020 වර්ෂයේ දී රු. මිලියන 300ක් මේ සඳහා වැය කර තිබේ.

වී සහ බඩ ඉරිඟු, සෝයා බෝංචි වැනි වාණිජ භෝගවලට සිදුවන හානීන් සඳහා අනිවාර්ය භෝග රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීම තුළින් ගොවියා ආරක්‍ෂා වී ඇති අතර, රජය මූල්‍ය අවදානමටද පිළියම් යොදා තිබේ. රටේ විවිධ කාලපරිච්ෙඡ්දයන් තුල සිදු වන වගා හානියන් නිසා පසුගිය කාලපරිච්ෙඡ්දය තුළ දී ගොවියා මහත් අපහසුතාවයන්ට, කරදරයන්ට ගොදුරු වූ අතර, මෙම භෝග ක්‍රමය මගින් තවදුරටත් රජය ගොවියා ආරක්‍ෂා කර තිබේ. තවදුරටත් ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය පුළුල් වී ඇති අතර, 2020 වර්ෂයේ දී සමස්ත ගොවි විශ්‍රාම වැටුප් වෙනුවෙන් රජය රු. මිලියන 4.50ක් වැනි අති විශාල මුදලක් වැය කර ඇත්තේ තවදුරටත් ගොවියා ආරක්‍ෂා කිරීමට බැඳී සිටින රජයක වගකීමක් වශයෙනි.

කෙසේ වෙතත් රජය පිහිටුවා වසරක් ගත වන මේ මොහොත වන විටත් රට තුළ වසංගත තත්ත්වය පහළ නොයෑම නිසා තවදුරටත් රටේ ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම, ජනතාවගේ ජීවන රටාවට එල්ල වී ඇති බලපෑම සුළුපටු නොවේ. රජයේ බොහෝ ක්‍රියාකාරීත්වයන් තවදුරටත් අඩපණ කර ගනිමින් ඉදිරියට යනවාද යන ගැටලුව පැන නැ‍ඟී තිබේ. පොදු මහජනතාවගේ අපේක්‍ෂාවන් දිගින් දිගටම වැඩි වෙමින් පවතී. වගකිව යුතු රජයක් වශයෙන් ජනතා අපේක්‍ෂාවන් ඉටු කරන්නේ කෙසේද යන ගැටලුවට මුහුණ දී තිබේ. කෙසේ වෙතත් නව මුදල් අමාත්‍යවරයෙක් පත්වීම තුළින් යළිත් වරක් ජනතාවට කිසියම් උද්දීපනයක් ඇති වී තිබේ. පසුගිය මාස කිහිපය තුළ දී කොරෝනා හේතුවෙන් ආර්ථිකයේ කඩා වැටී ඇති සියලු අංශයන් එකට එකතුකරමින් නැවත ආර්ථිකය ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබද මේ වනවිට සාකච්ඡා වෙමින් පවතී. ඉදිරියේ දී පුළුල් එන්නත්කරණය මඟින් ජනතාව ආරක්‍ෂා කිරීම රජයේ ප්‍රධාන වගකීම වනු ඇත. මිනිසුන්ගේ ජීවිත සඳහා වටිනාකමක් දිය නොහැක. කවුරු කෙසේ කීවත් එන්නත්කරණය තුළින් ජනතාව ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව යමින් ක්‍රමයෙන් ආර්ථික ක්‍රියාකාරකම් පඛගැන්විය හැකිය. ජනතාවගේ වගකීම වන්නේ මේ සඳහා රජයට සහාය ලබා දීමයි.

චිත්‍රාල් ජයවර්ණ – ආර්ථික විශ්ලේෂක- ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සාමාජික

අගෝස්තු මස 06 වැනි දින දිනමිණ ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *