සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන මෙම සමයේදී අද වන විට බොහෝ දෙනෙකු කතා කරන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ කාබනික පොහොර වගාව පිළිබඳවය. එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තුළ, අද වන විට රසායනික පොහොර ගෙන්වීමේ තහනම ක්‍රියාත්මක කොට ඇත.
එසේ නම් දැන් ගොවි මහත්වරුන්ගේ වගකීම වන්නේ කාබනික පොහොර වගාවට අවතීර්ණ වීමය. එහිදී ඔවුන් නඟන මැසිවිල්ල වන්නේ ඔවුන්ගේ අස්වැන්න අඩු වීමත් එමඟින් ආර්ථිකය කඩා වැටීමත් පිළිබඳවය. එම කරුණු දෙකම සත්‍ය වුව ද රසායනික පොහොර භාවිතය නිසා වර්ෂයකට අනියම් මාර්ගවලින් මිය යන ජනතාව පිළිබඳව, එසේම රෝගි තත්ත්වයට පත් වන ජනතාව පිළිබඳව ද සිතිය යුතු කාලය ද දැන් එළැඹ තිබේ.
සමෝධානික කෘෂිකර්මාන්තය (Integrated Agriculture)

වගා බිමක ඇති සියලු සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන වැඩි ඵලදාවක් හා හොඳ ආර්ථිකමය තත්ත්වයක් අත්කර ගැනීම සඳහාත් නීරෝගි සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සඳහාත් සිදු කරනු ලබන සමෝධානික කෘෂිකර්මාන්තය මඟින් තිරසර සංවර්ධනයක් කරා පැහැදිලිව ගමන් කළ හැකිය. මෙම ක්‍රමය මඟින් සත්ත්ව පාලනය හා කෘෂිකර්මාන්තය යන ක්‍රියාවලීන් දෙකම එකට එක්ව සිදු කරනු ලබයි.
එකම භූමියක් තුළ සත්ත්ව පාලනය ලෙස කුකුළු වගාව, එළු, හරක්, ඌරු පාලනය සමඟ මත්ස්‍ය වගාව ද, කෘෂි භෝගයන් ද එකට වගා කිරීම මඟින් ගොවීන්ට ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් ළඟා කර ගත හැකිය. එම වගා භූමිය තුළ විවිධ සතුන්ගේ ආහාර ලෙස භාවිත කරන ද්‍රව්‍යවල අවශේෂයන් තවත් සතකුගේ ආහාරයක් ලෙස යොදා ගත හැකිය. උදාහරණ ලෙස කුකුළු කෑම මඟින් ඉතිරි වන අවශේෂයන් මසුන් සඳහා ආහාර ලෙස භාවිත කළ හැකිය.
එමෙන්ම සියලුම අනෙකුත් සත්ත්ව ආහාර අවශේෂයන් ඌරන්ගේ ආහාර ලෙස භාවිත කළ හැකිය. මෙම ක්‍රමය මඟින් ගවයන්ගේ ආහාරයක් ලෙස Azolla යන ජලජ පර්ණාංගය හඳුන්වා දිය හැකි අතර එමඟින් ජලජ පරිසරවලට වන පාරිසරික හානිය ද අවම කළ හැකිය. Azolla ගව ආහාර සමඟ 1:1 අනුපාතයට මිශ්‍ර කර දීමෙන් කෙටි කලකින් ගවයන් Azolla පමණක් ආහාරයට ගැනීමට පුරුදු වන බව සනාථ වී තිබේ. Azolla 1kg ක් මඟින් පුන්නක්කු 1kg මඟින් ලබා දෙන ශක්තියම ගවයන්ට ලැබේ. මේ අනුව ගවයන්ට හා ඌරන්ට දිනකට 1-1.5kg, එළුවන්ට ග්‍රෑම් 300-500 ද, හාවුන්ට ග්‍රෑම් 100 ක් ද, කුකුළන්ට ග්‍රෑම් 25-30 ක් අතර Azolla ප්‍රමාණයන් දිනකට සපයා දීමෙන් ඔවුන්ට අවශ්‍ය ශක්තියෙන් විශාල ප්‍රමාණයක් ලබා ගත හැකිය. Azolla ආහාර මඟින් එළදෙනුන්ගේ කිරි නිෂ්පාදනය 15-20% අතර ප්‍රමාණයකින් වැඩි වන අතර කුකුළන්ගේ දේහ බර වැඩිවීම හා බිත්තරවල ප්‍රමාණය විශාල වීම හඳුනාගත හැකිය.
ජෛවීය පොහොර
Azolla සමඟ ජීවත් වන නීලහරිත බැක්ටීරියාවලට (Anabaena) වායුගෝලීය නයිට්‍රජන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව බහුලය. එහි 4-5% අතර නයිට්‍රජන් ප්‍රමාණයක් අන්තර්ගතය. වී ගොවිතැනේදී අක්කරයකට Azolla 200kg එකතු කිරීම මඟින් වගාවට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය සපයා දිය හැකිය. එසේම එමඟින් එහි අස්වැන්න 15-20% ප්‍රමාණයකින් වැඩි වන බවට පරීක්ෂණාත්මකව සොයා ගෙන ඇත. එසේම වගා බිමක රනිල කුලයේ ශාක ද අතරින් පතර වගා කිරීම මඟින් ඒවායේ මූලගැටිති බැක්ටීරියා විශේෂයක් ලෙස ජීවත් වන Rhizobium මඟින් වායුගෝලීය නයිට්‍රජන් තිරකර පසට ලබා දෙයි.
රසායනික පොහොර
ශාකවල වර්ධනයට හා ප්‍රයෝජනයට අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍යයන් රැසක් ඇත. ඒවා මහා පරිමාණයෙන් අවශ්‍ය වන්නේ නම් මහා මූලද්‍රව්‍යය ලෙස ද, සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන්නේ නම් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලෙස ද හඳුන්වයි.
මෙම මූලද්‍රව්‍යය බොහෝ විට ඒවා ලබා ගන්නේ ඔවුන් වැඩෙන පාංශු පරිසර පද්ධතියෙනි. ඒවා ශාකවලට උරා ගත හැකි ද්‍රව්‍ය බවට පත් කර දෙනු ලබන්නේ පාංශු ක්ෂුද්‍රජීවීන් කාණ්ඩයන් වේ. පාංශු ක්ෂුද්‍ර ජීවීන් පසක ඉතා වැදගත් කාර්යභාරයක් සිදුකරනු ලබන ජීවීන් කොට්ඨාසයක් වේ. වගාවකට රසායනික පොහොර යෙදීමෙන් පසේ ආම්ලිකතාවය වැඩි වී මෙම ක්ෂුද්‍ර ජීවීන්ට බලපෑම් කර ඔවුන්ගේ ස්වාභාවික ද්‍රව්‍ය චක්‍රීකරණය අඩාළ කරනු ලබයි. එසේම එමඟින් ශාකයේ ඇති ස්වාභාවික ආරක්ෂණ යන්ත්‍රණයන් හෙවත් පළිබෝධකයන්ට මුහුණ දීමේ හැකියාව අඩු වී යයි.
ශාක වර්ධනයට හා ප්‍රජනනයට අවශ්‍ය ප්‍රධානම මහා මූලද්‍රව්‍යයන් තුන ලෙස N,P,K. හඳුන්වා දිය හැකිය. එම N,P,K පසට නිසියාකාරයෙන් නොලැබුණ හොත් පස නිසරු යැයි කිව හැකිය.
පසේ ඇති මෙම N,P,K. නිරන්තරයෙන්ම අස්වැන්න හෝ ඵලදාව සමඟ පසෙන් ඉවත් වේ. එබැවින් එම නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් ඌණතාවයකින් තොරව පවත්වා ගැනීමට නම් අප ඒවා පසට ලබා දිය යුතුය. රසායනික පොහොර අප පසට එක් කරන්නේ එම N,P,K අවශ්‍යතාවය ලබා ගැනීමටය. එම N,P,K නියමාකාරයෙන් ඇති විට වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.
කාබනික පොහොර

මෙම පොහොර මඟින් වගා බිමේ පාංශු තත්ත්වය වැඩි දියුණු කරනු ලබන අතර ශාක වර්ධනයට අවශ්‍ය N,P,K ඇතුළු ඛනිජ ලවණයන් පසට හොඳින් ලබා දෙන අතරම පාංශු ක්ෂුද්‍රජීවී ප්‍රජාව ද හොඳින් නඩත්තු කරවයි. එමෙන්ම මෙමඟින් පාංශු ජලය රැඳීම ද නඩත්තු කරනු ලබයි. සමෝධානික වගාවක් සිදු කිරීම මඟින් එම ගොවිපෙළේ ඇති සත්ත්ව බහිස්‍රාවි ද්‍රව්‍යයන් ද කාබනික පොහොර ලෙස වගාවට භාවිත කළ හැකි අතර වගා බිමේ කොටසක කාබනික පොහොර හෝ කොම්පෝස්ට් පොහොර නිපදවීමේ ස්ථානයක් ද තනා ගත හැකිය. මෙම සමෝධානික පාලනය මඟින් ගොවියාට අවුරුද්ද පුරා ආදායම් ලබාගැනීමේ හැකියාව ඇති කර ගත හැකිය. එය විවිධ භෝගයන්, සතුන් හා සත්ත්ව නිෂ්පාදනයන් මඟිනි. කාබනික පොහොර ලෙස අප සලකන්නේ සත්ත්ව හා ශාක මළ ද්‍රව්‍ය හා ඔවුන්ගේ බහිස්‍රාවී ද්‍රව්‍යයන් එක්ව ක්ෂුද්‍රජීවී ක්‍රියාවලිය මඟින් සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට පත් කර ශාකවලට අවශෝෂණය කර ගත හැකි වන පරිදි සකස් කිරීමක් වේ.
එහිදී අප විසින් තනනු ලබන කාබනික පොහොරවල ඇති ඛනිජ ලවණ කෙළින්ම එක වර පසට නිදහස් නොවේ. එය පසට යොදා ටික කලක් යන තෙක් තවදුරටත් ක්ෂුද්‍රජීවී වියෝජනය සිදු වීම හඳුනාගත හැකිය. එබැවින් කාබනික පොහොර භාවිතයෙන් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකිය. එසේම දීර්ඝකාලීනව රසායනික පොහොරවලට හුරුව ඇති පසක් නැවතත් ක්ෂුද්‍රජීවි වියෝජන ක්‍රියාවලිය මඟින් යථා තත්ත්වයට පත් කරවීමට ද දීර්ඝ කාලයක් ගත වනු ඇත.
ගොවීන්ගේ මැසිවිලිවලට පිළිතුරු
එසේ නම් දැන් අප කළ යුත්තේ නීරෝගි සෞඛ්‍යසම්පන්න අනාගත පරපුරක් වෙනුවන් මෙම කාබනික පොහොර වගාවට අනුගත වීමය. මෙමඟින් ක්ෂණික ප්‍රතිඵල අපට නොලැබුණ ද අපගේ මතු පරපුර අපට තුති පුදනු ඇත. අප ගොවිතැන මඟින් හෝ කිසියම් වෘත්තියක් මඟින් හෝ මුදල් උපයා ගනු ලබන්නේ ප්‍රබෝධවත් ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථය පෙරදැරිවය.
එසේම දරුමල්ලන්ගේ අභිවෘද්ධිය ද එහි තවත් බලාපොරොත්තුවකි. එසේ නම් කාබනික පොහොර වගාවට අනුගත වීමේදී මූලිකව මුහුණ දීමට සිදු වන ගැටලු සියල්ල අනාගත පරපුර යහ මඟට ගැනීමට කරනු ලබන ආයෝජනයක් ලෙස සලකා සැවොම මෙයට අනුගත වී ගෙවතු කාබනික වගාව ද ප්‍රචලිත කරවීමෙන් මෙය කරළීයට රැගෙන යෑම කාලෝචිතය. මේ නිසා නුදුරේදීම නීරෝගි සෞඛ්‍ය සම්පන්න, අතමිට සරු ශ්‍රී ලාංකේය ජනතාවක් බිහි වනු නොඅනුමානය.
චතුමී පිටිපන විසින් පසුගිය ජූනි 14 වැනිදා දිනමිණ පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවකි. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය වෙනුවෙන් අප ගෙන යන සන්නිවේදන ක්‍රියාවලිය වෙනුවෙන් මෙම ලිපිය සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි. ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත. – ප්‍රධාන සංස්කාරක