රෝමයේ පැවත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ (UN Food Systems Summit) පූර්ව-සමුළුවේ/ සැසියේ (Pre-Summit) ප්‍රධාන දේශනය
ගරු සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි ! අද දින පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ පූර්ව-සමුළු රාජ්‍ය නායක සැසියේදී ඔබ ඇමතීමට ලැබීම ඉමහත් සතුටට කරුණකි.
ආහාර සඳහා ඇති අයිතිය, මූලික මිනිස් අයිතියකි. තම ජනතාව සඳහා මෙම අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජ්‍යන් තනි තනිව ක්‍රියා කළ ද, ගෝලීය ආහාර පද්ධතියේ පවතින සංකීර්ණතා පිළිබඳ ඔවුන්ගේ අවබෝධය පුළුල් කර ගත යුතුය.
මෙම අහාර පද්ධතිය පරිවර්තනය කිරීම, මානව වර්ගයාගේත් අප පෘථිවියේත් පැවැත්ම සඳහා අප විසින් කළ යුතු අනුවර්තනවල අත්‍යවශ්‍ය අංගයකි.
ගැඹුරින් අන්තර් සම්බන්ධිත වූ එක් ලෝකයක්, අප සැවොම බෙදා හදාගනිමින් පවතින බවට ඇති අපගේ අවබෝධය මේ වන විට පැතිරෙමින් පවතින COVID-19 වසංගතය මගින් බෙහෙවින් වර්ධනයවී තිබේ. මානව වර්ගයා සමාජීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් විවිධ වුවත්, මානව වර්ගයා මුහුණ දෙන ප්‍රධාන අභියෝග සියල්ලම විශ්වීය වේ.
මෙම අභියෝගයන්ට, රාජ්‍යන්ට තනි වශයෙන් පමණක් මුහුණ දිය නොහැක. ඒවා ජය ගැනීමට නම් ඒවාට සාමූහිකව ආමන්ත්‍රණය කළ යුතුය.
ලෝක ආහාර සුරක්‍ෂිතතාවය, දේශගුණික විපර්යාස අවම කිරීම, පාරිසරික සංරක්ෂණය ශක්තිමත් කිරීම, ජෛව විවිධත්වය ක්ෂයවීම වැළැක්වීම සහ සෑම තැනකම සිටින ජනයාට ඔවුන්ගේ අභිලාෂයන් තිරසාරව සාක්ෂාත් කරගත හැකි බව සහතික කිරීම සඳහා තීරණාත්මක, ඉක්මන් සහ බහුපාර්ශ්වික ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.
ඉදිරියේ ඇති අභියෝග බියකරු ය. කෙසේ වෙතත්, ඒවා ජය ගැනීමේ අධිෂ්ඨානයක රජයන් නොසැලී එල්බ සිටිය යුතුය.
මෙම වසරේ අප්‍රේල් මාසයේ දී කෘතිම පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක ආනයනය කිරීම ශ්‍රී ලංකාව විසින් තහනම් කරන ලදී.
මෙම තීරණය ගැනීමේදී පුළුල් පාරිසරික ගැටලු මෙන්ම පැහැදිලි හා වර්තමාන මහජන සෞඛ්‍ය ගැටලු ද සැලකිල්ලට ගත්තේය.
දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව සිය නිෂ්පාදන සඳහා ආනයනික කෘතිම පොහොර හා කෘෂි රසායන මත අධික ලෙස රඳා පැවතුනි.
දශක ගණනාවක් තිස්සේ අධික ලෙස භාවිතා කිරීම නිසා අතිරික්ත පොහොර හා කෘෂි රසායන මගින් භූමිය දූෂණය/ අපවිත්‍ර වී භූගත ජලයට ඒවා කාන්දු විය. මෙය පාරිසරික හායනය, ජල දූෂණය ඔඩු දුවා හරිතාගාර වායු විමෝචනය වැඩි කිරීමට හේතු විය.
එය රටේ ගොවි ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශයේ නිදන්ගත පුළුල් සෞඛ්‍ය ගැටලු පැතිරීමට ද හේතු වූ අතර මහජනයා අතර බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවනතාව වැඩි කිරීමට ද දායක විය.
කෘතිම පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට මගේ රජය ගත් තීරණය මෙම බරපතල ගැටළු වලට එරෙහිව ගන්නා ලද තීරණයකි.
කෙටිකාලීනව විසඳිය යුතු ගැටලු තිබුණ ද, මෙම තීරණය දිගු කාලීනව සෞඛ්‍ය සම්පන්න, වඩා පරිසර හිතකාමි කාබනික කෘෂිකාර්මික ක්‍රමයකට අත්‍යවශ්‍ය ජාතික සංක්‍රාන්තියක් ඇති කිරීමට ඉවහල් වනු ඇත.
මෙම සංක්‍රාන්තිය සිදුවන කාලය තුළ මගේ රජය අපගේ ගොවීන්ට හා කෘෂි ව්‍යාපාරවලට අවශ්‍ය සහාය දෙනු ඇත. මෙම ප්‍රයන්තය සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දක්වන සහයෝගය ද අපි බෙහෙවින් අගය කරමු.
වසර දහස් ගණනක් පුරා දිවෙන, පුරාණ දියුණු වාරි ශිෂ්ටාචරයක් සමඟ ගැඹුරින් බැඳී ඇති කෘෂිකාර්මික උරුමයක් ශ්‍රී ලංකාවට ඇත.
තිරසාර, කාබනික කෘෂිකර්මාන්තය අපට අලුත් දෙයක් නොවේ; නමුත් අපගේ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් නව විද්‍යාත්මක දියුණුව හා කළමනාකරණ ක්‍රමවේදයන් සමඟ අපට හිමිව ඇති ඓතිහාසික භාවිතයන් පුනර්ජීවනය කිරීමට අපි උත්සාහ කරමු.
දැනුම හුවමාරු කර ගැනීම, තාක්‍ෂණික හුවමාරුව සහ ආයෝජනය තුළින් කාබනික පොහොර, ගොවිතැන් සහ අපනයනවල දේශීය නිෂ්පාදන ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා බහුපාර්ශ්වීය සංවිධාන, අනෙකුත් රජයන්, දේශගුණික අරමුදල්, තාක්ෂණික ආයතන, විශේෂඥයන් සහ ව්‍යාපාරවලට අපි සුහදව ආරාධනා කර සිටිමු.
මෙම වැඩිදියුණු කිරීම් තුළින් ශ්‍රී ලංකාවට සිය ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරීමට සහ ජනතාවට වැඩි ආහාර සුරක්ෂිතතාවයක් සහ පෝෂණය ලබා දීම සහතික කිරීමට හැකි වනු ඇති බව විශ්වාසය.
2030 සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට තිරසර කෘෂිකර්මාන්තය, ආහාර සුරක්‍ෂිතතාවය සහ පෝෂණය ප්‍රධාන වශයෙන් වැදගත් වේ.
COVID – 19 වසංගතයට මුහුණ පෑමට පෙර පවා මෙම අරමුණු නියමිත වේලාවට සාක්ෂාත් කර ගැනීමට නොහැකි මට්ටමේ පැවතීම මහත් කනස්සල්ලට කරුණකි.
මෙම තත්ත්වය තුළ, මෙබඳු තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් ‘ගෝලීය ප්‍රතිපත්ති සම්මුතියක්’ ඇති කිරීම සඳහා “ලෝක ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ කමිටුවේ මෙම වැදගත් කාර්‍යා භාරය ඉතා ප්‍රශංසනීය වන අතර එය දිරිමත් කළ යුතුය.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ ආදර්ශය, අපගේ අනාගත පරපුර සඳහා ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ලෝක ආහාර පද්ධතිය තිරසාර ලෙස පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය නිර්භීත පියවර ගැනීමට තවත් රටවල් පෙළඹෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.