රජයේ රැකියා සොයමින් මහමඟ විරෝධතාවල නියැලෙමින් අරගල කරන උපාධිධාරින් අතරේ , තම දිරියෙන් සිය ජීවිතය ජයගත් තරුණ පිරිස් ද නැතුවාම නොවේ. විදේශ රටවලින් මෙරටට අවශ්‍යය කහ ගෙන්වීම නතර කිරීමත් සමඟ වෙළඳපොළ තුළ කහ හිඟයක් මතුවිය. ඊට පිළියමක් ලෙස තම ගෙවත්තේම කහ වගා කොට එයින් කෝටිපතිණියක වූ උපාධිධාරිණියක් පිළිබඳ තොරතුරු දඹුල්ල කන්ඩලම කුඹුක්කඳන්වල ප්‍රදේශයෙන් අපට වාර්තා විය.

ඇය නමින් සුනේත්‍රා ශාමලී කුමාරි. දෙදරු මවක් වන ඇය උපාධිධාරිණියක් මෙන්ම දේශීය පාරම්පරික වෛද්‍යවරියකි . කොරෝනා වසංගතය රට වෙලා ගනිද්දී නිවසට වී සිටි ඇය තම සැමියා විසින් ගෙනවිත් දුන් කහ කැබලි කීපයකින් කාබනික කහ වගාවට හුරු වූ බව ඇය පැවසුවාය.
මේ වන විට ඇයගේ වගාබිම තුල ඇයටත් වඩා උස කහ ගස් දක්නට ලැබේ. කාබනික පොහොර පමණක් යොදා ගෙන, කිසිදු රසායනික පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය යෙදීමකින් තොරව මෙම කහ වගාව තමන් විසින් සිදුකරගෙන යන බව ඇය ආඩම්බරෙන් යුතුව අප සමග පැවසුවාය.
එමෙන්ම දේශීය පාරම්පරික ආයුර්වේද වෙදකම් කරන ඇය, මෙම කහ වගාව සඳහා අවශ්‍ය දේශීය ශාකසාර යොදා ගෙන දියර පොහොරක්ද නිෂ්පාදනය කර ඇත. එම දියර පොහොර පත්‍ර මගින් කහ ශාකයට උරා ගන්නා බවත්, එමගින් ශාක වර්ධනය මෙන්ම කෘමි හානි උවදුරු සියල්ල අවසන් බව ඇය පැවසුවාය.

සිය කහ අස්වැන්න අනෙකුත් වගාකරුවන්ට ලෙස පැළ පැකට් කොට ඒවා අලෙවි කිරීම ද ඇය සිදුකරයි. මෙවර කහ අස්වැන්නෙන් තව ටික දිනක් ගතවෙද්දී තමන්ගේ මුදල් ඉපයීම් රුපියල් කෝටිය ඉක්මවන බව ඇය සතුටින් අප සමග පැවසුවාය.
පැළ පැකට් කිරීමෙන් අනතුරුව තමන්ගේ අස්වැන්න වියළා තම්බා ඒවා යන්ත්‍රානුසාරයෙන් කුඩු කොට කහ කුඩු ලෙස අලෙවි කිරීම ද සුනේත්‍රාගේ තවත් ඉලක්කයකි. කිසිදු වස විසක් නොමැති තමන් විසින්ම නිපදවා ගන්නා කහ කුඩු කිලෝවක් රුපියල් හාරදාහක මිලකට අලෙවි කළහැකි බව ඇය සඳහන් කළාය.
තමන්ගේ උපාධිය අතේ තබාගෙන අනුන්ගෙන් රැකියා ඉල්ලා විරෝධතා කිරීම් පෙළ පෙළපාලිය යාම ආදී අරගල සිදු කරනවාට වඩා එම දැනුම රටේ ජනතාවගේ යහපත උදෙසා තමන් විසින්ම මෙවැනි දේකට යොමු කරන්නේ නම් උපාධිය ගැන ආඩම්බර විය හැකි බව ඇය පැවසුවාය.


සටහන සහ ඡායාරූප – දඹුල්ල කාංචන කුමාර ආරියදාස