මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
එවැනි ප්‍රතිපත්ති පාරිසරික සංරක්ෂණයට සහාය විය යුතුය. එමෙන්ම ජෛව විවිධත්වය විනාශ වීම වැළැක්වීමට සහ වඩාත් තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට ජනතාවට සහායක් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඊයේ (04) පස්වරුවේ ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂි පරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රසාදය පළ කරමින්, ඊට ගෞරව දැක්වීමක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන සිය සමුළුවේ පළමු සහ විශේෂ දේශනය සඳහා ඇරයුම් කළේය.
දේශගුණික විපර්යාස, මානව වර්ගයා මුහුණ දෙන බරපතල ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි බලපෑම අවම කිරීමට සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළේය.
කෘතිම පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජය ගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්ත පද්ධතියක් සඳහා සංක්‍රමණය වීමට තිබූ දිගුකාලීන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.
මෙම සංක්‍රාන්තිය අතරතුර මුල් අදියර වලදී ගැටලු පැනනගින බව අපි දනිමු. ගෘහස්ථ නිෂ්පාදනයේ සහ කාබනික විකල්ප සැපයීමේ බාධාවන් මෙන්ම තහනමෙන් පැන නගින අහිතකර මහජන මතවාද ද ඊට ඇතුළත් ය.
කෙසේ වෙතත් නායකයින් වශයෙන් අප මුහුණ දෙන විවේචනාත්මක අභියෝග නොතකා තීරණාත්මක පියවර ගත යුතුය. වගකීම් සහිත තීරණවලට එළඹීමේ දී අප පසුබට වන්නේ නම් මෙවැනි අත්‍යාවශ්‍ය මුල පිරීම් සැම විටම සාකච්ඡාවලට පමණක් සීමාවනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
කාබනික ගොවිතැන සඳහා වූ දේශීය ධාරිතාව ශක්තිමත් කිරීමට සෙසු රාජ්‍යයන්හි බහුපාර්ශ්වීය සංවිධානවල, තාක්ෂණික විශේෂඥයින් හා ආයතන මෙන්ම ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
කෘතිම පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරිත ආර්ථිකයකට හා සෞඛ්‍ය සම්පන්න ජන සමාජයකට ඉවහල් වන අතර දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභිලාෂයන්ට සහාය දෙනු ඇතැයි ජනාධිපතිවරයා විසින් සඳහන් කරනු ලැබිණ.
ශ්‍රී ලංකාවේ මෙම මුලපිරීම අනිකුත් රාජ්‍යයන්ගේ සහ එම ජාතීන්ගේ පොදු යහපත පිණිස සමාන නිර්භීත ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
ලෝක ආහාර සුරක්ෂිතාව පිළිබඳ සමුළු සංවිධායක මඩුල්ල වෙනුවෙන් ලිපියක් නිකුත් කර ඇති ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ෆර්ගස් එල්. සින්ක්ලෙයාර් මහතා ජනාධිපතියරයා ඉදිරිපත් කළ දේශනය ඇගයීමට ලක් කර තිබේ.
“ඔබගේ නිර්භීත ප්‍රකාශය සහ ඔබ ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ පැහැදිලි තාර්කිකත්වය ගැන මම ගැඹුරින් පැහැදුනෙමි. මෙම ආරම්භක දේශනය අද වන විට කෘෂිපරිසර විද්‍යා සැසියට පමණක් නොව, සමස්ත සමුළුවේ කෘෂිපරිසර විද්‍යා වාර්තාව කෙරෙහි ද ඉවහල් වනු ඇත. ඔබේ ප්‍රකාශය, ඒවා ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වන අතර ජාතික ක්‍රියාමාර්ග සඳහා ප්‍රවණතාවක් ඇති කරයි.
ඔබේ ප්‍රකාශය ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සමුළුවෙන් ඔබ්බට ගොස්, දේශගුණික විපර්යාසයන් දෙස ගැඹුරින් බැලීමට සහ කෘෂිපරිසර විද්‍යාත්මක මූලධර්ම මත පදනම් වූ වඩා තිරසර ආහාර පද්ධති වෙත යොමුවීමට ප්‍රමුඛ පෙළේ පියවරක් ලෙස පිළිගනු ඇත. ශ්‍රී ලංකාව විසින් ගනු ලබන මෙම තීරණාත්මක හා ප්‍රායෝගික ක්‍රියා අන් අයට පිටිවහලක් වනු ඇත.” යනුවෙන් ආචාර්ය ෆර්ගස් එල්. සින්ක්ලෙයාර් මහතා සිය ලිපියෙන් සඳහන් කර තිබේ.