කාබනික පොහොරවලින් අක්කර 15ක සාර්ථක කහ වගාවක් කළ ගොවි මහතෙකුගේ කතාවක්

කාබනික පොහොර යොදා සාර්ථකව අක්කර 15ක කහ වගා කළ ගොවි මහතෙකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ දී අපට හමු විය.ඔහු නමින් එස් .ඒ. රත්නපාල නම් වෙයි. අක්කර සියයකට අධික භූමි ප්‍රමාණයක වසරේ  සෑම දිනකම කුමන හෝ අස්වැන්නක් නෙළන වගාවක් ආරම්භ කරන මෙම ගොවි මහතා නව වගා රැසක් හඳුන්වාදුන් අයෙකි.

රජය රසායනික පොහොර තහනම් කිරීම් සිදු කරන්නට පෙර සිටම රත්නපාල මහතා තම භූමිය කාබනික පොහොරවලින් වගා කොට සාර්ථක අස්වැන්නක් මෙන්ම වගාවන්  සරුකරගෙන  සිටි අයෙකි.

තමන් විසින් නිපදවාගත් කහ බීජවලින් මෙවර දේශීය ලොකු ළුෑණූ අස්වැන්න ලබාගෙන එම භූමියේ අක්කර 15ක කහ වගාව සිදුකළ බව ඒ මහතා කියයි.

කුකුල් පොහොර, එළු පොහොර සහ ගොම පොහොර යොදාගෙන මෙම කහ වගාව සිදුකරන බවත්, කාබනික පොහොරවලින් කහ වගාව ඉතාමත් සාර්ථක වගාවක් සිදු වන බව පෙන්වා දෙන රත්නපාල මහතා ග්‍රෑම් 35ත් 40ත් අතර ප්‍රමාණයේ කහ බීජ කැබැල්ලකින් කිලෝ තුනහමාරක් හතරක් පමණ අස්වැන්නක් ලබාගැනීමට හැකි බව පෙන්වා දෙයි.

කහ වගාව  පිළිබඳව අදහස් දැක්වූ එස් .ඒ .රත්නපාල ගොවි මහතා

“කහ වගාව ඉතාම ලාභදායී වගාවක්, ඒ වගේම තමයි ඒ රසායනික පොහොර වලට  වඩා කහ වගාව සාර්ථකව වෙන්නේ කාබනික පොහොරත් එක්ක. මම අක්කර 15ක මේ වන විට කහ වගා කරලා තියෙනවා.මේ  ඔක්කොටම දාලා තියෙන්නෙ කුකුල්, එළු සහ ගොම පොහොර.”

“කාබනික පොහොරවලින් වගා කළාම වගාවේ තෙතමනය ඉතා හොඳින් පාලනය වෙනවා, ඒ වගේම හොඳ ශක්තිමත් මූල මණ්ඩලයක්  හැදෙනවා, පස් බුරුලට පවතිනවා ,පස්  බුරුල් වෙන තරමට තමයි කහ අල මහපොළොවේ  එරෙන්නේ, ග්‍රෑම් 35ක හතළිහක පමණ කහ කැබැල්ලක් පොළොවේ දැම්මහම අපට කාබනික පොහොරත් එක්ක කිලෝ තුනහමාරක් හතරක් පමණ අල අස්වැන්නක් එක ගසකින් ලබාගන්න  පුළුවන්.”

“ඒ වගේම තමයි ලෙඩ රෝග හරිම අඩුයි. හිටපු ගමන් පණු උවදුරක් එනවා. ඒක පාලනය කරගන්න ඕන. “

“මම කාබනික පොහොර වලින් ජයගත්ත ගොවියෙක් අක්කර සියයක් පමණ වගා කරනවා මම ළඟ කම්කරුවෝ හැටක් විතර හැමදාම වැඩ හැබැයි මේ සියල්ල කාබනික වගාව සිද්ධ කරන්නේ මගේ ඉගුරු වගාවත් අක්කර පහළොවක් විතර තියෙනවා ඒවත් කාබනික පොහොර හැබැයි අනෙකුත් වගාවලට මම සියයට සීයක් කාබනික කරන්නේ නැහැ.  සියයට අසූවක් කාබනික මොකද රසායනික පොහොර අවශ්‍ය වෙනවා ඒ නිසා මම සියයට විස්සක් රසායනික පොහොර භාවිතා කරනවා. “

“එහෙම නැතුව වගා කරන්න බැහැ.  අවුරුදු වූ 30ක පමණ අත්දැකීමක් මට තියෙන්නේ මගේ ගොවිපළේ ඕනෑම වෙලාවක ඇවිල්ලා බලන්න පුළුවන් එළු පොහොර, ගොම පොහොර, කුකුල් පොහොර ලොරි දෙක තුනක් තියෙනවා. මහන්සි වෙලා වියදම් කරලා වගාවට මේවා යෙදුවාට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ.”

“මූල මණ්ඩලය ශක්තිමත් වෙනකොට ඕනෑම ගහක් ඵලදාව තියෙනවා ඒ නිසා වගාව අස්වැන්න වැඩි වෙනවා වෙනදා ළූනු වලිනුත් අපි අක්කරේකට කිලෝ හයදහසක් පමණ ගලවන්නෙ කාබනික පොහොර නිසා කිලෝ පහළොස් දාහක් පමණ ගල්වන්න පුළුවන් වුණා “

“බොහෝ දෙනෙක් කහ වගාවට යොමුවෙලා ඉන්නවා හැබැයි සාර්ථකව කහ වගා කරන්න ඉගෙනගන්න ඕන. නිසි විදිහට වතුර බැස යන කාණු පද්ධතිය හදාගන්න ඕන පාත්තියක එක පෙළට පැල තුනක් පමණ සෑහෙන්න හිටවන්න ඕන කහ බීජ කැබලි  මහපොළොවට දාලා සම්පූර්ණයෙන්ම පිදුරුවලින් මේ පාත්ති වසා දමන්න ඕන. ඒකෙන් සිද්ධ වෙනවා  වාසි රැසක්, පිදුරුවලින් වැසීම කහ ගහ හැදෙනකම්ම වෙනත් තණකොළ ගස්  මේ පාත්ති වල වගා භූමියේ ඉහළට එන්නේ නැහැ. ඒ  විතරක් නෙවෙයි කහ ගහට අවශ්‍ය තෙතමනය පිදුරුවලින් රඳා පවතිනවා. තව තියෙනවා ඒ තමයි පිදුරු ටික  දිරන්න මේ කහ වගාව පොහොර වලින් පෝෂණය වෙනවා. ඊළඟ වසරේ කාබනික අඩු කරල දාන්න පුළුවන්, මොකද මුළු වගා බිමෙන් පිදුරු ඇති වීලා ඒවා ජලයත් එක්ක මහ පොළොවේ රඳා පවතිනවා.”

“ඒ විතරක් නෙවෙයි පිදුරු අපේ මහ පොළොවේ පණුවන් ඇති වෙනවා මේ ගැඩවිලි පණුවන් ගෙන් අපට විශාල ලාභයක් තමයි අත් වෙන්නේ. පණු කැපෙනවා තමා කරන්න දෙයක් නැහැ හැබැයි අපට ගැඩවිලි පණුවා දෙන පොහොර මිල කරන්න බැහැ.”

“මගේ  වගාබිම ඕනෑම කෙනෙකුට  ඇවිල්ලා බලන්න ඉගෙන ගන්න  පුළුවන් අපි රටට ණය නැති මිනිස්සු කම්කරුවෝ 60කට පමණ අවුරුද්දේ හැමදාම වැඩ තියෙනවා ,ඒ නිසා මහා පරිමාණයෙන් වගා කරනවා කියන්නේ අවදානමක් තියනවා ඒත් එකක් වැරදුනොත් තව එකකින් හරි යනවා.”

“හැබැයි මේ සැරේ කවුරු මොනවා කිව්වත් ගොවියාට පාඩුවක් වෙලා නෑ. එළවළු, වී, ලොකු ළූනු ඕනෑම වගාවකට හොඳ මිලක් මෙන්ම ඉල්ලුමක් තියෙනවා. කහ වලටත්, ලුණු වලටත්, අමු ඉඟුරු වලටත් ඒ වගේ. ඒ නිසා මිනිස්සු  එළියට බහිනවාට වඩා වගා බිමේ ඉඳලා තමන්ගේ රස්සාව කළා නම් රටට කන්න දෙන්නත් පුළුවන්. අපිටත් අතමිට සරු වෙනවා.”

“ඉදිරියේදී මට කහ බීජ ඕනෑ තරම් දෙන්න  පුළුවන් වේවි. මොකද අක්කර  පහළොවක් කියන්නේ විශාල කහ  අස්වැන්නක් ලැබෙනවා. අක්කර  එකක  වගා කරන්න බීජ කහ  කිලෝ 350ක් විතර යන්නේ. මගේ වගාවේ අක්කර 15 තියෙන්නේ මම හදාගත්ත  බීජවලින්. කහ බිජවලට ගලවනකොට අනිවාර්යෙන්ම මාස 12කට වැඩි කාලයක් මහ පොළොවෙ තියලා තමයි ගලවන්න ඕන. එහෙම ගලවපු වහාම පැළ කර ගන්න අවශ්‍ය නෑ .ග්‍රෑම් 30, 35, 40 කැබලි අඟල් හතරක් පමණ වළක් හාරලා ඒ වලට කහ කැබැල්ලක් දාලා, පස් දාලා, වහලා පිදුරු සම්පූර්ණයෙන්ම  ආවරණය කරන්න ඕන. එතකොට දින හතරක්, පහක් යනකොට කහ කැබැල්ල පැළවෙලා උඩට මතුවෙනවා. “

කහ  වගාව අතරමගදී වෙන මොනවත් පොහොර ද්‍රව්‍ය රසායනික හෝ කාබනික කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ මූලික බිම් සැකසීමේදී තමයි කාබනික පොහොර යොදන්න ඕන .වසරක් යනකොට හොඳ අස්වැන්නක් එක්ක අතට මුදල් ලැබෙනවා, අලෙවියේ ගැටළු එන්නේ නැහැ.

දඹුල්ල කාංචන කුමාර ආරියදාස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *