කාබනික පොහොර වලින් වගා කළ හැකි බවත් ඉතා සාර්ථක අස්වැන්නක් ඒ සඳහා ලබාගත හැකි බවද පෙන්වා දෙන ඩ්‍රැගන් පෘට් ගොවින් කියා සිටින්නේ තම වගාවට දීර්ඝකාලීනව එම පොහොර ඉතා සාර්ථකව ඵල දරා තිබෙන බවය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කැකිරාව මඩාටුගම මහවැලි කලාපයේ ගොවීන් බහුතරය මීට වසර කීපයකටකට පෙර සිට කාබනික ඩ්‍රැගන් පෘට් (Dragon Fruit) වගාවට යොමුවි සිටි අතර ඔවුහු මේ වන විට සාරවත් අස්වැන්නක් ලබා ගනිමින් සිටිති.
ඩ්‍රැගන් පෘට් අස්වැන්නක් සඳහා මේ දිනවල ඉහළ මිලක් ලැබෙන බවද අක්කරයකින් රුපියල් ලක්ෂ 25 ත් 30 ත් අතර මිලක් තමන්ට ලැබෙන බව ද කිසිඳු රසායනික පොහොරක් යෙදීමකින් තොරව සම්පූර්ණ සියයට සීයක් කාබනික වගාවේන් පමණක් මෙම සියලු වගාබිම් සිදුකර ඇති බව මඩාටුගම ඩ්‍රැගන් පෘට් ගොවියෝ පවසති.

මඩාටුගම කුඩාඇලගමුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ඩ්‍රැගන් පෘට් වගා කොට ඇති ගොවි මහතෙකු වූ ධම්මික ප්‍රියන්ත විජේරත්න මහතා කියා සිටියේ තමන්ගේ මහන්සියෙන් ඩ්‍රැගන් ෆුට් වගාව මීට වසර පහකට පෙර සිට ආරම්භ කළ බවය.
තනිකරම කාබනික වගාවට තමන් ඇතුළු ගොවීන් පනහක් හැටක් පමණ දෙනා මේ වන විට යොමු වී තිබෙන බවත් එම සියලු දෙනාගේම අස්වැන්න මේ වෙනවිට ලැබෙමින් පවතින බව ද ගොවි මහතා සඳහන් කළේය. වගාබිම්වල සාර්ථක ඩ්‍රැගන් පෘට් වගාව දක්නට තිබේ.
එළු පොහොර, ගොම පොහොර සහ කොළරොඩු ඒකරාශී කරග ගනිමින් තනාගත් පොහොර මේ සඳහා යෙද වූ බවත් වස විස නැති ආහාර නිෂ්පාදනය කිරීම සඳහා තමන් යොමු වූයේ ජාතික වගකීමක් ඉටු කිරීමට බව ද ඒ මහතා දැඩි ආඩම්බරයෙන් යුතුව අප සමග පැවසීය.

තමන්ගේ වගා බිමෙන් මේ වන විට රුපියල් ලක්ෂ විසි පහක් තිහක් පමණ ආදායමක් ලබා ගෙන ඇති බවත් තවදුරටත් වගා බිමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණයය කර ගනිමින් තමන්ට අවශ්‍ය පොහොර තම ගෙවත්තේ ම නිෂ්පාදනය කර ගැනීම සිදුකරන බවද ධම්මික මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඩ්‍රැගන් පෘට් කිලෝවක් රුපියල් 400ක් 450 ත් අතර මිලකට තාම වගා බිම්ට ම පැමිණ මිලදී ගැනීම සිදුකරන බවත් කාබනික පොහොර යොදා නිෂ්පාදනය කළ ඩ්‍රැගන් පෘට් ඕනෑම අයෙකුට මිලදී ගැනීම්ට හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මඩාටුගම කොට්ඨාස කළමනාකාර ශාන්ති පත්මලතා මහත්මිය කියා සිටියේ මහවැලි අධිකාරියේ නිලධාරීන් විශාල කැපකිරීමක් සිදු කරමින් එම ප්‍රදේශයේ ගොවීන් බහුතරයක් සාර්ථක අස්වැන්නක් ඉහළ මිලක් ලබා ගැනීම් සඳහාත් රසායනික පොහොර වලින් කෘමිනාශක වලින් තොර පලතුරක් රටේ ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව ගොවීන් මෙම වගාවට හුරු කළ බවය.
මේ වන විට එහි සාර්ථක අස්වැන්නක් ගොවීන් සියලු දෙනාම ලබමින් සිටින බව ඇය පැවසුවාය.
මඩාටුගම, කුඩා ඇලගමුව, මුරුන්ගා හිටි කන්ද, 642 තුලානය ආදී ප්‍රදේශවල ගොවි මහතුන් මේ වන විටත් කාබනික ඩ්‍රැගන් පෘට් වගාවට යොමු වී ඇති බවද ගොවීහු පෙන්වා දෙති.
මඩාටුගම ප්‍රදේශයේ ගොවීන් කියා සිටියේ මෙරට කාබනික පොහොර වලට හුරු කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දෙන්නට පෙර සිටම එහි ආදීනව අත්විඳි නිසා කාබනික වගාවට යොමු වූ බවය.
කාබනික පොහොර වලින් වගා කළ හැකි බවත් ඉතා සාර්ථක අස්වැන්නක් ඒ සඳහා ලබාගත හැකි බවද පෙන්වා දෙන ඩ්‍රැගන් පෘට් ගොවින් කියා සිටින්නේ තම වගාවට දීර්ඝකාලීනව එම පොහොර ඉතා සාර්ථකව ඵල දරා තිබෙන බවය.
කාංචන කුමාර ආරියදාස – දඹුල්ල