පරිසර හිතකාමී ගොවිතැනක් වෙතට යාම ගොවියා පමණක් තනිවම කළ යුත්තක් නොවේ. ගොවියා යනු හුදකලා චරිතයක් ලෙස සලකා මෙහි වගකීම ඔහු වෙත පැවරීමෙන් ඉලක්කය වෙත නිසි පරිදි යා හැකි වන්නේද නැත. අපේ රට හා පස සුරැකීම සමස්ත රටවැසියාගේම සහභාගිත්වයෙන් සිදුවිය යුතු සාමූහික ව්‍යායාමයකි. ඒ සඳහා ගොවිතැනේ සිරිත් විරිත් මෙන්ම ජනතාවගේ අනෙකුත් ආකල්ප හා ගති පැවතුම් වලද එහා මෙහා වීම් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුවේ.
- අතිරික්ත නිෂ්පාදනයක් නොකරන්නට නිසි උපදෙස් අවශ්‍යයයි
- සමාජයේ ආහාර සිරිත්වල වෙනසකුත් ඕනෑ
- පෝෂණ, ආහාර තාක්‍ෂණ විද්වතුන්ටත් ලොකු වගකීමක්
ඉතා අතලොස්සක් වූ ආහාර බෝග ප්‍රමාණයක් හැරුණුවිට ලෝකයේ වවනු ලබන ප්‍රධාන බෝග සියල්ලම පාහේ මෙරට පරිසරය තුළදී වැවීමට හැකියාව තිබීම ඉතා වාසනාවන්ත තත්වයකි.
වාණිජ වශයෙන් වගාකර ලාභදායී අස්වැන්නක් ලබාගත හැකි, කටට රහ ඇඟට ගුණ පලතුරු වර්ග ගණනාවක් අප සතුය. මීට අමතරව තවමත් ඌණ භාවිත බෝග සේ හඳුන්වන, ආර්ථිකව යහමින් වගා නොකරන පලතුරු වර්ගද සිය ගණනකි. නාගරිකයන්ට ඒවාහි ගුණාගුණ රසවිඳින්නට වෙලාව නැති වුවත් ගමේ ගොඩේ වෙසෙන පොඩි එකාගේ සිට මහල්ලා දක්වාම වූවන් ලන්දේ වැවෙන එම පලතුරුවල පෝෂණය සිත්සේ උරාගන්නවා තවමත් දකින්නට පුළුවන. මෙවන් පරිසරයක ජීවත්වෙමින් ඇපල්, පෙයාර්ස්, මිදි වැනි පලතුරු කීපයක් වෙනුවෙන් අප වියදම් කරන මුදල් ප්‍රමාණය නම් සුළුපටු නොවේ. මේ ගැන යෙදිය යුතු අවධානය තවදුරත් ඉස්මතුව පෙනෙන්නේ විදේශ විනිමය හිඟයක් ගැන කතාකරන පසුබිමක් නිර්මාණයවී ඇති බැවිනි.
දිවයින කුඩා වුවත්, මෙවැනි අසිරිමත් බෝග විවිධත්වයකට අප හිමිකම් කියන්නේ භූ විෂමතා හේතුවෙන් මැවී ඇති කෘෂි දේශගුණික කලාප රැසක් මෙරට පැවතීම නිසාය. එහි වාසිය පරිහරණය කරනවා කියා මෙතෙක් අප සිදුකර ඇත්තේ හැකි පමණ වගාකරමින් අස්වැන්න ලෙස යමක් නිෂ්පාදනය කිරීමට වෙරදැරීම පමණි. එතැනදී ගොවිතැනේ සාර්ථකත්වය මැනබැලුවේ නිෂ්පාදනය වූ කිලෝග්‍රෑම් ගණනින්ය. ඉන් කෙතරම් ප්‍රමාණයක් ජනතාව විසින් අනුභව කෙරුවාද, කුමන ප්‍රමාණයක් අපතේ ගියාද කියා ලොකුවට විමසා බැලුවේනම් නැත.

නිෂ්පාදනයෙන් 40%ක් කසළවලට
කෙසේවෙතත් මේ කරුණු සමාජය නොදන්නවාද නොවේ. සංඛ්‍යාලේඛණ දත්තයන් පවා ගෙනහැර පාමින් කලක පටන් විද්වතුන් විසින් පවසනා කරුණක් වන්නේ මෙරට නිෂ්පාදනය වන එළවළු හා පලතුරු ප්‍රමාණයෙන් 40% ක පමණ තොගයක් මිනිස් පරිභෝජනය හා සමීප නොවී විනාශ වී යන බවයි. මෙය අපට පමණක් අදාළ දෙයක් නොව, ලෝකයේම සිදුවෙන්නක් බවද ඇතැමුන් තර්ක කරන්නට පුළුවන. එහිද වරදක් නැත. ලෝකය සඳහාම ගතහොත් වගාකරන ප්‍රමාණයේ 50% ක් තරම් විශාල කොටසක් මිනිසාගේ කෑම මේසය දෙස නොබලාම අපතේ යන්නේය.
2016 වසරේදී ලෝකයේ සිදුවූ සෑම මරණ 5 කින් එකකකට හේතුව වී ඇත්තේ පෝෂණ ගුණයෙන් අසම්පූර්ණ කෑම පිඟාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දෙයි. එසේනම් ආහාර බෝග නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉහළ ගියත් කැලරි ඉල්ලුමට ගැලපෙන ආහාර ප්‍රමාණයක් ඇඟට ඇතුල්වී නැති බව නම් පැහැදිලිය. ළඟට ගත් දේ කටේ දමාගැනීමේ ඉඩකඩ ජනතාවට අහිමිවී ඇති බවක් පෙනේ. තවත් තැනක සඳහන්වන්නේ මැලේරියා හා ක්ෂයරෝගය පවා පසුකරමින් මන්දපෝෂණය මානව සෞඛ්‍යයට හානිකර ලෙස ඉදිරියට පැමිණෙන බවයි. මෙවන් බරපතළ හානියකට වගකිව යුතුවන්නේ අස්වැන්න ලෙස නෙළාගත් පසු සිදුවෙන අපතේ යාම පමණක් නොවන බවද සිහි තබාගන්න. බොහෝ දෙනා පටලවා ගන්නේද මෙතැනයි. ගොවිබිමේදී භෝගයට මුහුණ දෙන්නට සිදුවෙන දේශගුණික බලපෑම්, රෝග හා පළිබෝධකයින්ගේ හානිකිරීම්ද මෙම 50% තුොළට ඇතුළත්වේ. නියම තරමට බෝගය මෝරන තෙක් නොසිට අස්වැන්න නෙළීමෙන් සිදුවන අහිමිවීම මෙන්ම තරමට වඩා මෝරන තෙක් සිට නෙළීම නිසා සිදුවෙන අපතේයාම යනාදියත් මේ තුළ ඇත. අවිධිමත් ප්‍රවාහන ක්‍රමවේදයන්, ගබඩාකරණයේ ඇති දුර්වලතා වැනි දෑ අවසාන වශයෙන් මීට එකතුවූ විට හානි වූ තරම 50% සීමාවේ නතරවීම වුවද පුදුම දනවන්නකි.
ප්‍රතිශතයක් ලෙස 30%-40% තරමේ පසු අස්වනු හානියක් එළවළු හා පලතුරු වෙනුවෙන් මෙරට තුළින්ද නිර්මාණය වේ. එම නිෂ්පාදනය බිහිකිරීම උදෙසා ගොවියා විසින් රසායනික පොහොර පසට හලා ඇත. රෝග හා පළිබෝධ හානි වැලැක්වීම වෙනුවෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදාහැර ඇත. බිම් සැකසීම, ජල සම්පාදනය වැනි මෙහෙයුම් සඳහා ඇති පමණට වියදම් දරා ඇත. ගොවිබිම තෙමෙන්නට තම දහඩියද වගුරවා ඇත. මේ සියල්ල කරනු ලැබුවේ වැඩිහිටියෙකු විසින් දෛනිකව අනුභව කළයුතු යයි ලෝක සම්මතයකට එළඹී තිබෙන එළවළු ග්‍රෑම් 200ත්, පලතුරු ග්‍රෑම් 200ත් ජනතාව වෙත සමීප කරන්නටය.
මෙතරම් සම්පත් ප්‍රමාණයක් වැයකර වෙහෙස මහන්සිවී වැඩකර ආහාර නිපදවූවත් ඉලක්කයෙන් අඩක් දක්වාවත් ළංවෙන්නට අප මෙතෙක් සමත්වී නැති අතර ඒ වෙනුවට අප කරගෙන ඇත්තේ ගොවි නිෂ්පාදනයෙන් තුනෙන් පංගුවක පමණ ප්‍රමාණයක් පාරිභෝජනයට නොගෙන කසළ කඳු මුදුනේ තැන්පත් කරවීමයි. එයට වගකිව යුත්තේ ගොවියා පමණක් නම් නොවේ. කෘෂි විද්වතුන්ට වුවද පැවරිය යුත්තේ වගකීමෙන් කොටසක් පමණි. මන්දයත් ගොවිබිමේ අස්වැන්න පාරිභෝගිකයාගේ කෑම මේසයට පැමිණීම දක්වා ක්‍රියාත්මක වියයුතු ආයතන හා ව්‍යුහයන් ගණනාවක් කෘෂිකර්ම අංශයට පරිබාහිරව රට තුල ක්‍රියාත්මක වන නිසාය.
විනාශයේ තරම වටහා ගැනීම
කෙසේ වෙතත් අවසාන වශයෙන් ජනතාව නිගමනය කරනු ඇත්තේ රසායනික පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය, ගොවියාගේ ශ්‍රමය ආදී සියල්ල කැපකර නිපදවා ඇත්තේ අතිරික්ත නිෂ්පාදනයක් බවයි. ගොවියාගේ මහන්සිය පරිසරයේ සංඝටකයක් නොවන්නේයැයි සිතා අතහැර දැමුවත්, මෙම 40% නිපදවීම සඳහා වටාපිටාවට මුසුකරනු ලැබූ රසායනික පොහොරත්, කෘෂි රසායනික ද්‍රව්‍යයත්, ඒවා ආනයනය කිරීමට වියදම් කල මුදල් කන්දරාවත් ගැන සිතා බලන විට මේ කරන අපරාධයේ දිග පළල අවබෝධ කරගැනීමට අපහසු නැත.
මෙම අවිධිමත් අතිරික්ත නිෂ්පාදනය රටට අවශ්‍ය ප්‍රමාණය දක්වා සුසර කරන්නට හැකිනම් එළවළු හා පලතුරු වෙනුවෙන් වැයකෙරෙන සම්පත් ප්‍රමාණය 40%කට ආසන්න ප්‍රමාණයකින් පහත හෙළන්නට වැඩි මහන්සියකින් තොරවම අපට හැකිවන්නේය. අතිරික්තය රට පටවන්නේනම් එය වෙනම සංසිද්ධියකි. අප මෙතැනදී කතාකරන්නේ එවැනි වටාපිටාවක් නොමැති තත්ත්වයක් යටතේය. පළමුව අපට ප්‍රමාණවත් වන්නට දෑ දේශීය යෙදවුම් හරහා නිපදවා ගැනීමෙන් අනතුරුව අපනයනයක් ගැන සිත යොමුකිරීම අවස්ථාවට අනුව වඩාත් උචිත පියවර බව කිව යුතුය.
කාලයට, කාලගුණයට, ප්‍රදේශයට ගැළපෙන අයුරින් වගාකළ යුත්තේ මොනවාද, කුමන වපසරියකින්ද යන්න ගොවි ජනතාවට දැන්වීම සඳහා විවිධ ක්‍රමෝපායයන් මේ වනවිට නිර්මාණය වී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික සන්නිවේදකයින්ද ඒ වෙනුවෙන් පෙරමුණට පැමිණ ඇති නමුත්, වගාකරුව තම ග්‍රහණයට හසුකර ගැනීම කෙතරම් දුරට සාර්ථක වී ඇතිදැයි යළි යළිත් විමසා බැලිය යුතුවේ.
වගාකරුවන්, කෘෂි නිලධාරීන් හා කෘෂි සන්නිවේදකයින් එක තැනකට පැමිණ සමගාමීව කටයුතු කරන්නේයැයි නිගමනය කළ හැකි වන්නේ කා දමා අවසන් කරන්නට බැරි තරමට ඇතැම් බෝගයන්හි සිදුවෙන අතිරික්ත නිෂ්පාදනය නතරවූ දිනටය. ගොවීන් බේරාගැනීම සඳහා රාජ්‍ය මැදිහත්වීමෙන් අස්වැන්න මිලදී ගැනීම වැනි හදිසි ප්‍රතිකාර ඇතැම් අවස්ථාවල කෙරුණත්, රෝග නිධානයට ප්‍රතිකාර කිරීම යනු රටට අවශ්‍ය ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණෙන පරිද්දෙන් වගා පවත්වා ගැනීමකි.
නාස්තිවී යන මෙම අස්වැන්න ප්‍රමාණය නිපදවූයේ නැති වුවත් ඒ බව ජනතාවට දැනෙන්නේ නැත. එහෙත් එය නිපදවන්නට පසට හෙලන ලද රසායනික පොහොර හා කෘෂිරසායන ප්‍රමාණයන්ගේ අඩුවීම නම් රටටත් ජනතාවටත් හොඳින්ම දැනෙනු ඇත. වර්තමානයේදී උදාවී ඇත්තේ රසායනික පොහොරත් කෘෂිරසායනික ද්‍රව්‍යයත් නොමැතිව වගාකරන කාල වකවානුවකි. කිසියම් වැඩපිළිවෙළක් මුලින්ම පටන්ගෙන ක්‍රියාත්මක කිරීමේදී අලුතින් ඉගෙනගතයුතු ප්‍රායෝගික අත්දැකීම් ගණනාවක්ද ඒ තුළින් ජනනය වන්නේය.
කාබනික වගා සංකල්පය ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමේදීත් මෙම තත්වය එසේම බලපානු ඇත. කෘෂි විද්වතුන් විසින් දෙනු ලබන නිර්දේශයන්ට අනුකූල වන ප්‍රමාණයන්ගෙන් කාබනික පොහොර පසට යෙදීමේදී ඇතිවිය හැකි අපහසුතා මේ අතරින් එකකි. තිබෙන පොහොර ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා විනා, නාස්තිවී යන පලදාවක් නිපදවීමට එය භාවිතා කිරීම මේ මොහොතේ නොකළ යුත්තකි. මේ නිසා කාබනික ගොවිතැන ගොවිබිමට හුරුවෙනතුරු, තිබෙන සම්පත් සකසුරුවම්ව භාවිතා කලයුතුය. අවශ්‍ය පමණට අස්වැන්න නිපදවාගැනීම පෙරට වඩා වැදගත් වන්නේ එබැවිනි.

මහජනතාව සතු වගකීම
සමස්ත මහජනතාව පැත්තෙන්ද ඉටුකළයුතු වගකීමක් තිබේ. ආනයනික සම්පත් මත වැඩිපුර යැපෙන ආහාර බෝග වෙනුවට ආදේශක සොයායාමට උත්සාහ ගැනීම ඒ වගකීමයි. මේ අනුව අපගේ දෛනික ආහාර රටාවන්හි වෙනස්වීම්ද සමගාමීව ඇතිවිය යුතුවේ. අමුතුවෙන් කාබනික නොකලාට අප සතු කාබනික ආහාර සමූහයක් තිබේ. ගොටුකොළ, මුකුණුවැන්න, කංකුන් වැනි වාණිජ පළා වර්ග කීපයක් හැරුණුවිට කෑමට ගතහැකි පළාකොළ වර්ග 50කට වඩා සංඛ්‍යාවක් අප අවට පරිසරයේ තිබේ.
පෝෂණ ද්‍රව්‍යයන් පිළිබඳව කරන ලද පර්යේෂණයන්ගෙන් පවා පෙනීගොස් ඇත්තේ නිතර භාවිතයට ගැනෙන වාණිජ පළා වර්ගවලට වඩා මේවාහි පෝෂ්‍ය පදාර්ථයන් වැඩි බවයි. ඔබගේ ගෙවත්තේ අනිවාර්යයෙන්ම එකක් නොව මෙයින් කීපයක් පවා තිබිය හැකිය. එහෙත් අප වැඩිපුර පුරුදුවී ඇත්තේ ඉහත දැක්වූ වාණිජ පළාවලට සීමාවෙමින් කොළ එළවළු පෝෂණය සලසා ගන්නටය.
මීට අමතරව අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශයන්හි වෙසෙනා ජනතාව කෙතරම් එළවළු ප්‍රමාණයක් රසායනික පොහොර හෝ කෘෂි රසායන ද්‍රව්‍ය යොදන්නේ නැතිව නිපදවා සති පොළවල්වලට රැගෙන එනවාද ? පාරිභෝගිකයින් විසින් ඒවා ගැන වැඩි අවධානයක් යොමුකර වෙනදාට වඩා ප්‍රමාණයක් සතිපතා මිලදී ගනිමින් හා අනුභව කරමින් අලුත් ගමනක් යන්නට සිත එකඟ කරගන්නේ නම්, ගම්බද ගොවියා විසින් ‘තෙල්/පොහොර’ ඉල්ලා නොසිටින එවැනි බෝග වැඩි වැඩියෙන් වගාකරන්නටත්, ඒවා වෙළඳපොළට රැගෙන එන්නටත් පියවර ගනු ඇත. මේ හරහා විස්ථාපනය වන්නේ වැඩි පාරිභෝගික ඉල්ලුමක් සහිත වර්තමාන වාණිජ එළවලු වර්ගයන්ය. ඒවාහි වගා වපසරිය අඩුවෙනවා යනු ආනයනික සම්පත් භාවිතයේද පහල බැසීමකි.
බත් වෙනුවට පාන් එපා
ප්‍රධාන ආහාරය සම්බන්ධයෙන්ද කිවයුත්තේ මෙවැන්නකි. අද ජනතාව බත් නැතිනම් සොයන්නේ පාන් ය. පිෂ්ඨ සංයුතිය සලකා බලනවිට මේ දෙක අතර පැහැදිලි වෙනසක් තිබේ. එනම් පාන්පිටි යනු ග්ලූටන් නමැති ප්‍රෝටීනය සහිත ආහාරයකි. ඇතැමුන්ට ග්ලූටන් සහිත පිටි අගුණය. සීලියැක් රෝගය නමැති එම තත්වය ඇතිවිට ග්ලූටන් සහිත ආහාර හමුවේ ආහාර මාර්ගයේ තුවාල ඇතිවේ. එසේ නමුත් අපගේ පැරැන්නන් බත් නැති තැන විකල්ප වශයෙන් යොදා ගත්තේ කොස්, දෙල්, අල බතල වැනි ග්ලූටන් රහිත ආහාරයි. එවන් භෝග වනාහී ශබ්ද නගා කාබනික කළ යුතු ඒවා නොව ස්වාභාවිකවම කාබනික ඒවාද වේ.
අඩු කැලරි ප්‍රමාණයකින් සෑහීමකට පත්වෙන්නට උත්සාහ දරමින් ආනයනය කල ධාන්‍ය ආහාරයක් සොයායන නාගරිකයින්ට පවා උචිත වන සරල සුමට රසවත් ආහාරයක් මෙවැනි දේශීය කාබනික අස්වැන්නකින් සාදා ගැනීමට පුළුවන. සෑම දිනකම නොව සතියකට කෑමවේල් දෙක තුනක්වත් ආනයනික යෙදවුම් ඉල්ලා නොසිටින ආහාරයකට භාරකරන්නට ජනතාව සූදානම් නම්, කෙතරම් රසායනික පොහොර හා පළිබෝධනාශක ප්‍රමාණයක් ඒ හරහා පරිසරය හා මුසු නොවී වැළකීයාවි දැයි සිතා බැලීම වටී.
ආහාර පිසීමේ ක්‍රමවේදයන්
රැකියාවකට නොගිය පැරණි කාන්තාව විසින් අනුගමනය කළ ආහාර පිසීමේ ක්‍රමවේදයන් කාර්යබහුල හා නවීකරණයට හසුවූ වර්තමාන සමාජයට ගැළපෙන්නේ නැති බවද අප අපක්ෂපාතීව අවබෝධ කරගත යුතුවේ. ආහාර තාක්ෂණ හා පෝෂණ පර්යේෂකයින්ටද මීට සමගාමීව පෙරට පැමිණීම සිදුවිය යුත්තේ මේ සඳහා විසඳුමක් සොයාදීමටය.
අපට ආසන්න ආසියාතික රටවල පවා කොස්, දෙල් හසුරවන්නේත්, ඇතැම්විට එම නිෂ්පාදනයන් රට පටවා මුදල් උපයන්නේත්, කාලයට ගැළපෙන ආකාරයට නව තාක්ෂනය මෙවැනි සාම්ප්‍රදායික ආහාර භෝ හා යහමින් මුසුකරමින්ය. දේශීය පාරිභෝජන අභියෝගයන් ජයගැන්මට එවැනි අනාවරණයන් ඉතාමත් වාසිදායකය.
අප එක උදාහරණයක් මෙසේ පෙන්වා දෙන්නට කැමැත්තෙමු. වම්බටු යනු අපට හොඳට හුරුපුරුදු බෝගයකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන් අතරට යන මට්ටමට සංවිධානාත්මකව නිපදවූ පළමු දේශීය දෙමුහුම් එළවළුවද වම්බටුය. එහි නිෂ්පාදනය ගත්කල ලෝකයේ කප් ගසා සිටින්නේ චීනයයි. 2017 දී ලෝකයේ නිපදවූ බටු ටොන් මිලියන 72 න් 63% ක්ම හැදුවේ චීනයේ වන අතර ඉන්දියාව 24% ක්ද ඊජිප්තුව 2.5% ක්ද සාදා තිබේ.
ලංකාවේදී අස්වැන්න විකුණාගත නොහැකිව අපතේ යන එළවලු තොගයේද සෑහෙන කොටසක් කුණුවෙන වම්බටු තිබේ. ඒ දිනවලදී වෙළඳපොලේදීත් වම්බටු අලෙවිවන්නේ කුණුකොල්ලයටය. පසුගිය දිනෙකදී විකුණාගත නොහැකි වම්බටු තොගයක් ගොවීන් විසින් ගිනි තබනවාද දකින්නට ලැබුණි. මේවා නොවිය යුතු සිදුවීම්ය.
නාස්තිය අවම කරමින් කල්තබා ගැනීමේ ක්‍රමයක් ලෙස කුඩා කැබලි වලට කපා උදුනේ වියලා පිටි සෑදීම විදෙස් රටවල පර්යේෂණාත්මකව තහවුරු වී දැනට වාණිජ වශයෙන්ද කෙරෙන නිෂ්පාදනයකි. මේ පිටි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූනය. වෙනත් පිටි වර්ගයක් ඇසුරෙන් නිපදවන ආහාරයක් ක්‍රියාකාරී ආහාරයක් බවට පත්කිරීමට මෙයින් සුළු ප්‍රමාණයක් සෑහෙන බවද පෙන්වා දී තිබේ. මෙරට ක්‍රියාත්මක වන ආහාර පර්යේෂණ ඒකකයන් මේ ගැන අවධානය යොමු කරන්නේ නම්, ලාංකිකයින්ගේ ක්‍රියාකාරී ආහාර පරිභෝජනයේ ප්‍රගමනයක් මෙන්ම, පසු අස්වැනු හානියට විසඳුමක්ද ඒ හරහා ලැබෙනු ඇත.
පරිසර හිතකාමී ගොවිතැනක් වෙතට යාම ගොවියා පමණක් තනිවම කළ යුත්තක් නොවේ. ගොවියා යනු හුදකලා චරිතයක් ලෙස සලකා මෙහි වගකීම ඔහු වෙත පැවරීමෙන් ඉලක්කය වෙත නිසි පරිදි යා හැකි වන්නේද නැත. අපේ රට හා පස සුරැකීම සමස්ත රටවැසියාගේම සහභාගිත්වයෙන් සිදුවිය යුතු සාමූහික ව්‍යායාමයකි. ඒ සඳහා ගොවිතැනේ සිරිත් විරිත් මෙන්ම ජනතාවගේ අනෙකුත් ආකල්ප හා ගති පැවතුම් වලද එහා මෙහා වීම් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුවේ.
සටහන – සනත් එම්. බණ්ඩාර