ලංකාවේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ලෝ ප්‍රකට පරිසරවේදිනී ‘වන්දනා ශිවාගේ‘ පැසසුමට

රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය අනාගතයේදී මෙරට ගොවියා සමෘද්ධිමත් කිරීමට සහ ශ්‍රී ලංකාව සුවිශේෂ රටක් කිරීමට හේතු වන බව ලොව ප්‍රකට පරිසරවේදිනියක වන මහාචාර්ය වන්දනා ශිවා මහත්මිය පැවසුවාය.

‘සැමට ස්ථීර සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා පුනර්ජනනීය කාබනික ගොවිතැන’’ යන මාතෘකාව යටතේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මඟින් මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේ අද (7) සංවිධාන කළ සමුළුව අමතමින් ඇය මේ බව කියා සිටියාය.

මෙහිදී ඇය මෙසේද කීවාය ‘‘භූමිය පෝෂණය කරමින් මනුෂ්‍ය සංහතියට අවශ්‍ය පෝෂණය සැපයීමට කාබනික පොහොර භාවිතය හොඳම පිළිතුරයි. වැඩි ඵලදාවක් අපේක්ෂාවෙන් ගොවීන් රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය භාවිතයට යොමුවී ඇති බව මතයක් ලෙස පිළි ගැනුණ ද ඵලදාවේ ප්‍රමාණය (Quantity) පමණක් ගණනය කිරීම සාර්ථක ක්‍රමයක් නොවෙයි. ගොවීන් විසින් සලකා බැලිය යුත්තේ ඵලදාවේ ගුණාත්මක භාවය සහ පෝෂ්‍ය ගුණයයි.

‘ඔබගේ පරිසර පද්ධතියේ විවිධත්වය වර්ධනය වන විට ඵලදාව ඉහළ යනවා. එසේම ඔබගේ වගාව රෝග සහ පළිබෝධ උවදුරු සඳහා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වනවා. එමගින් ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වනවා. එසේම කෘෂි නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් ඇතිවීමෙන් රටේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා. යමකු තම වගාවට රසායනික පොහොර භාවිත කිරීම ආරම්භ කළ හොත් ඉන් අත්මිදීමට අපහසුයි. එසේම ගොවිතැන සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා භූමියේ වෙසෙන ජීවීන් විනාශ වීම, සාගරය දූෂණය වීම, ජෛව විවිධත්වයට හානි සිදුවීම, ගොවියා ණයකරුවෙක්වීම, මෙන්ම ආහාරවල ගුණාත්මකභාවය අඩු වීම වැළැක්විය නොහැකියි ‘‘ යැයි ද වන්දනා ශිවා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *