වසවිස නැති සුවදැල් වී වගාකරමින් ‘කාබනික ගොවිතැනට‘ උරදෙන බුද්ධ පුත්‍රයාණෝ‘

තම විහාරස්ථානයේම නිෂ්පාදනය කළ කාබනික පොහොර සහ කාබනික කෘමි නාශක භාවිතා කරමින් කුඹුරක් අස්වැද්දීමට හලාවත – ආරච්චිකට්ටුව, කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාමාධිපති පුජ්‍ය නවදන්කුලමේ මේධානන්ද හිමියෝ පියවර ගෙන ඇත.

කරුක්කුලිය – ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානය වටා කුඹුරු යායක් ඇතත් එය වගා කළේ රසායනික පොහොර සහ කෘමි නාශක භාවිතා කරමිනි. ඒ අතර, විහාරස්ථාන භූමියේ ඇති ප්‍රයෝජනයට නොගන්නා භූමියක් කුඹුරක් ලෙස සකස් කර එය අස්වැද්දීමට විහාරාධිපති ස්වාමීන් වහන්සේ පියවර ගත්හ.

මෙම කුඹුර තුළ වගා කර ඇත්තේ සුවදැල් නම්වූ දේශීය වී වර්ගය වීම විශේෂත්වයකි.

හලාවත – ආරච්චිකට්ටුව, කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාමාධිපති පුජ්‍ය නවදන්කුලමේ මේධානන්ද හිමියෝ වෛද්‍ය සරත් ගමගේ මහතා සමග කුඹුර පරීක්ෂා කරමින්

හලාවත සහ අවට ප්‍රදේශ වල කාබනික සහ දේශීය වී වගාවන් ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් සිටින වෛද්‍ය සරත් ගමගේ මහතාට තම අදහස මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් දන්වා ඇත. ඒ අනුව වෛද්‍ය සරත් ගමගේ මහතාගේ මග පෙන්වීම සහ උපදෙස් අනුව වගා කටයුතු සිදු කිරීමට මේධානන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කර ඇත.

කාබනික කෘෂි රසායන ඉසින අයුරු

අනෙකුත් වී වර්ග වලට වඩා උසින් සුවදැල් වී ගස උසින් වැඩි නිසා වල් ශාඛ වර්ග වලින් බාධාවක් නොමැති බවත්, එම හේතුව නිසා මෙම කුඹුරට වල් නාශක යෙදීම අනවශ්‍ය බවද වෛද්‍ය සරත් ගමගේ මහතා සදහන් කරයි.

එමෙන්ම කෘමි නාශක යොදා සත්තු මරා දමනවාට වඩා දේශීය කාබනික ඖෂධ යොදා කෘමීන් පළවා හැරීම පමණක් මෙහිදී සිදු කරන බවද ඒ මහතා සදහන් කරයි.

සටහන හා ඡායාරූප – ජූඩ් සමන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *