ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයේ ප්‍රගමනයට ඉන්දියාවේ සහාය සහ පහසුකම්

කාබනික කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සතු සුවිසල් අත්දැකීම් සම්භාරය ශ්‍රී ලාංකික ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ළඟා කරගැනීමට යොදා ගන්නා ලෙසත් ඉන්දියාවේ සහයෝගය ඇතිව ‘විශිෂ්ටත්වයේ කාබනික මධ්‍යස්ථානයක්’ ශ්‍රී ලංකාවේ පිහිටුවීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසීය.

බග්ලේ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊ‍යේ (02) සංවිධානය කළ ‘කාබනික කෘෂිකර්මය සම්බන්ධයෙන් ද්විපාර්ශවික මාර්ගගත (online) වැඩසටහනේදීය. 

මෙහිදී කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඉන්දියාවේ අත්දැකීම් බෙදා ගන්නා ලද අතර මෙහි ප්‍රධාන දේශනය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් සිදු කරන ලදී.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය  සීතා අරඹේපොල මහත්මිය සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාව ඇමතූහ. 

කාබනික කෘෂිකර්මය වෙත යොමුවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට ධාරිතා ගොඩනැගීමේ පුහුණුව ලබාදීම, තාක්ෂණික ඥානය බෙදාගැනීම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර හුවමාරු සංචාර සංවිධානය කිරීම සහ කාබනික වගා ක්ෂේත්‍රයේ නිරත ආයතන අතර පර්යේෂණ සහයෝගීතා යනාදිය හරහා දායකත්වය ලබාදීමට ඉන්දියාව සූදානම් බව මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.  

මෙම ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සතු සුවිසල් අත්දැකීම් සම්භාරය ශ්‍රී ලාංකික ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ළඟා කරගැනීමට යොදා ගන්නා ලෙසට ද ඉන්දියාවේ සහයෝගය ඇතිව ‘විශිෂ්ටත්වයේ කාබනික මධ්‍යස්ථානයක්’ ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ද මහ කොමසාරිස්වරයා යෝජනා කළේය.

ශ්‍රී ලංකාවේ ජෛව පොහොර නිපදවීමේ ඒකාබද්ධ  ව්‍යාපෘතීන් ගොඩනැගීම සඳහා පවතින අවස්ථාවන් සොයා බලන ලෙස ද මහ කොමසාරිස්වරයා දෙරටෙහි ජෛව පොහොර සමාගම් වලින් ඉල්ලා සිටියේය. 

කාබනික කෘෂිකර්මාන්තයේ විවිධ අංශ තුළ දෙරට අතර අන්තර්ක්‍රියා සහ සහයෝගීතාවය ඉහළ නැංවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය  සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කළාය.   

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා 100%ක් කාබනික කෘෂිකර්මයට යොමුවීම සඳහා ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතාවය මතු කර දැක්වූ අතර මෙම ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ හැකියාවන් සහ ප්‍රවීණත්වය ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රශංසාව පළ කළ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනා ඉදිරියේදී තවත් මෙවන් වැඩසටහන් සංවිධානය කරන ලෙස ඉල්ලා සිටියහ.  

සිකිම් කාබනික සංවර්ධන නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය එස්. අන්බලගන් මහතා 100%ක් කාබනික වගාව භාවිතා කරන ලොව ප්‍රථම ප්‍රාන්තය බවට පත් වූ සිකිම් ප්‍රාන්තය විසින් යොදා ගන්නා ලද ක්‍රමෝපායන් මෙහිදී බෙදා ගත්තේය.

ICAR- ඉන්දියානු කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ශිවා ඩාර් මහතා කාබනික වගාව සඳහා ශාක පෝෂක කළමනාකරණය පිළිබඳ වටිනා කරුණු මෙහිදී බෙදා ගත්තේය. 

මෙම සැසිය අතරතුර පැවති වාණිජ මට්ටමේ සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, ඉන්දියානු කර්මාන්ත සංසදය සහ දෙරටෙහි ජෛව පොහොර නිෂ්පාදන සමාගම්වල නියෝජිතයන් සහභාගී වූහ.  

මෙම අවස්ථාව අමතමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ තාක්ෂණික සහයෝගීතා අංශයේ ප්‍රධානී ආචාර්ය සුෂිල් කුමාර් මහතා සඳහන් කළේ කෘෂිකර්මාන්තය, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පැතිර පවතින ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශවික සහයෝගීතාවයේ ඉතා වැදගත් කොටසක් වන බවයි.

ජෛව වල් නාශක, ජෛව පළිබෝධනාශක, කොම්පෝස්ට් සරු කිරීමේ තාක්ෂණය වැනි අංශ තුළ මෙවැනි අන්තර්ක්‍රියා සඳහා පහසුකම් සැලසීමට ද කෘෂිකර්මය සහ ඒ හා සම්බන්ධ ක්ෂේත්‍ර තුළ දෙරට අතර ආයතනික සහයෝගිතාවයන් ශක්තිමත් කිරීමේ හැකියාවන් සොයා බැලීමට ද එකඟ විය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *