ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත්කර ගැනීම සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැමත්ත පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (02) නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වුණා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වු අවස්ථාවේ මෙම කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.
එම නිවේදනයේ මෙසේද සදහන් වේ, ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පසේ නිරෝගිකම පිළිබඳව විමර්ශනය කර ඒ ඒ දිස්ත්‍රික්කයේ පසේ සංයුතිය පිළිබඳව දර්ශකයක් සකස් කර ගැනිම පිළිබඳව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රීලංකාවේ අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා භූමියේ ඇති පෝෂ්‍ය පදාර්ථයන් සම්බන්ධයෙන් තක්සේරු කර ගැනිම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහය ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව සිය සතුට පළ කළ විදේශ අමාත්‍යවරයා ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ. එවැනි අවබෝධයක් රජය ලබා ගැනීමෙන් නිසි පරිදි පොහොර භාවිතය කළමනාකරණය කර ගැනීමටත් නාස්තිය වළක්වා ගෙන වැඩි අස්වැන්නක් හා ලාභිදායි කෘෂිකර්මයක් සඳහා ගොවි ජනතාව යොමු කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී තිබේ.
කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමිය පිළිබඳව විධිමත් විමර්ශනයක් (Soil Survey) සිදු කිරීම ප්‍රමාද වී ඇති බැවින් එවැනි විමර්ශනයක් කර පසේ සාරවත් බව පිළිබඳ (Soil Health Card) ගොවියාට අත් කාඩ් පතක් සකස් කර ගැනීම හැම අතින්ම වාසිදායක බවද ඇමති ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දී තිබේ.