100%ක් කාබනික පොහොර භාවිතයෙන් ‘සරුසාර අස්වැන්නක්‘ ලබා ගන්නා ගොවිපොළක්

සම්පූර්ණ 100%ක් කාබනික පොහොර යොදා ගෙන වගා කිරීමට නොහැකි බවට බොහෝ දෙනාගේ මත පැතිර යන අවස්ථාවක 100%ක් කාබනික වගාව සාර්ථක  කර ගැනීමට හැකි බව ජනතාවට කියා දෙන ආදර්ශ ගොවිපොළක් ලග්ගල ගුරුවෙල  ප්‍රදේශයේ පිහිටා තිබේ.‍

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ 2010 වසරේ මෙම ආදර්ශ ගොවිපල ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ ස්ථාපිත කොට මේ වන විට එහි කාබනික පොහොර යොදා ගෙන  වගාවන් සිදුකරමින් පවතී.

මෙම ආදර්ශ ගොවි ගොවිපළෙහි  අක්කර භාගයක ගෙවත්තක් කාබනිකව වගා කර ගන්නේ කෙසේ දැයි යන්න ඕනෑම අයෙකුට දැක බලා ගැනීම සඳහා මේ දිනවල නඩත්තු කරමින් සිටින බව එහි ගොවිපළ කළමනාකරු යු.වී. සරත් චන්ද්‍රරත්න  මහතා පැවසීය.

එක් සේවකයකු යොදාගෙන ඔහුගේ වැටුප් පමණක්  වියදම ලෙස දරා මසකට අක්කර භාගයක පමණ වූ ආදර්ශ ගෙවතු වගා භූමියෙන්  රුපියල් 30,000- 35,000ත් අතර මුදලක්  උපයා ගන්නා ආදර්ශ වගාව මෙහි පවතින බව ඒ මහතා සඳහන් කළේය.

මෙම අක්කර භාගයක ආදර්ශ ගෙවතු වගාවේ ස්ථිර බෝග මෙන්ම  දීනපතා අවශ්‍යතා සහිත බෝග ආදී වශයෙන් වෙන් වෙන් කොට ඉතාමත් අලංකාරව තනිකරම සියයට සියයක් කාබනික පොහොර යොදා ගෙන එමෙන්ම ඉර හද සහ කාලය පිළිබඳව නිසි අවබෝධයෙන් යුතුව වගා කිරීම සිදුකර ඇතැයි කළමනාකාරවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම ආදර්ශ ගොවිපොළේ තවත් සුවිශේෂී කටයුත්තක් වන්නේ ගැඩවිල්ලන් යොදාගෙන පොහොර නිපදවා ගැනීමය.  ගව මුත්‍රා එළු මුත්‍රා ආදී සත්ව  පෝර ද මෙම ගොවිපළෙන් නිෂ්පාදනය කර ගැනීම තවත් සුවිශේෂී වූ කරුණකි.

පසුගිය කාලයේ අක්කර කාලෙන් පංගුවක් කහ වගා කොට රුපියල්  ලක්ෂ හතහමාරක පමණ ආදායමක් පෙන්වා දීමට සමත් වූ බවද ගොවිපළ කළමනාකාරවරයා දැඩි සතුටෙන් යුතුව ප්‍රකාශ කළේය.

මේ මේ දිනවල  මොරගහකන්ද කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ආරම්භ  කරන ලද ගුරුවෙල  නව ආදර්ශ ගොවිපළේ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රමවේදය යුහුසුලුව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම ස්ථානය ඕනෑම අයෙකුට නරඹා  අත්දැකීම් ලබාගෙන තම  ගොවිපළේ ගෙවත්තේ කාබනික පොහොර  නිපදවා ගැනීමට හැකියාව පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

බොහෝ දෙනා වම්බටු බණ්ඩක්කා ආදී පණුවන් සහ විවිධ රෝග කඩිනමින්  එන එළවළු වගා කොට තිබේ. ගොවිපොළ  කළමනාකරු  චන්ද්‍රරත්න මහතා කියා සිටියේ මෙම පණුවන් සහ කෘමින්ගෙන් හානි වන වගාවන් ඉතාමත් සාර්ථකව සිදු කොට ඇත්තේ  විනාසකාරී කෘමීන්ට අහිතකර සතුන් විනාශ නොකෙර ගොවිපළේ තබාගැනීම නිසාවෙන් බව ය.

ඡායාරූප සහ සටහන – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *