ප්‍රමිතිය රකින ‘කාබනික වගා නිෂ්පාදන සහතික‘ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

තිලක් කාරියවසම් – සභාපති, ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය

මේ වන විට කාබනික වගා සංග්‍රාමය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ඉතා උද්‍යෝගිමත් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. කාබනික වගාව, කාබනික පොහොර නිෂ්පාදනය මෙන්ම ශාකසාර කෘමිනාශක වර්ග නිෂ්පාදනය ද ඉතා සාර්ථක අන්දමින් කෙරෙමින් පවතී.

කාබනික භෝග වගාව කිරීමේදී දැන ගත යුතුම කරුණක් වනුයේ එම භෝග නිෂ්පාදන කාබනික ලෙස සහතිකකරණය කිරීමයි. එසේ නොමැති වුව හොත් භෝග නිෂ්පාදකයන්ට තමන්ගේ නිෂ්පාදන සියයට සියයක්ම කාබනික ලෙස ඔප්පු කළ නොහැකිය. මේ නිසා කාබනික වගාවේදී කාබනික සහතිකකරණය කරන්නේ කෙසේදැයි දැන සිටිම වැදගත් වේ.

කාබනික වගාවක් කිරීමේදි එය සහතිකකරණය කිරීම අත්‍යවශ්‍යය. කාබනික ලෙස සාදනු ලබන කිසියම් නිෂ්පාදනයක් පාරිභෝජනය කරනු ලබන පුද්ගලයා සිටින්නේ කිලෝමීටර් සිය ගණනක් එපිටින් නම් එවිට එම පුද්ගලයා මෙම වගාව නිසියාකාරව කාබනික ලෙස වගා කළා ද නැද්ද යන්න නොදනී. එවැනි අවස්ථාවක එම පුද්ගලයාට හෝ සැතපුම් ගණනක් ඈත පිටරටක සිටින පුද්ගලයකුට හෝ තමා මිල දී ගන්නා නිෂ්පාදනය කාබනික ප්‍රමිතියට කරන ලද නිෂ්පාදනයක් ද යන්න ගැන දැනගැනීමට අයිතියක් තිබේ. එම ක්‍රමවේදය වන්නේ තුන් වැනි පාර්ශ්වයක් මඟින් දෙනු ලබන සහතිකයයි.

සහතික කිරීමේ ක්‍රියාවලිය

මෙම සහතිකය කාබනිකව නිෂ්පාදනය කරනු ලබන එළවළු, පලතුරු, කුළුබඩු, තේ සහ පොල් හෝ ඕනෑම භෝගයකට විය හැකිය. මේ සඳහා සහතික කිරීමේ ක්‍රියාවලියක් තිබේ. මේ සඳහා බීජ සහතික කිරීම, ගොවීන් සහතික කිරීම, ආහාර සැකසුම්කරුවන් සහතික කිරීම මෙන්ම වෙළෙඳසල් හිමියකු නම් එම වෙළෙඳසලේ ක්‍රියාවලිය සම්බන්ධව සහතික වීම වේ. කාබනික අවන්හල් ද ලෝකයේ දැන් බිහි වී තිබේ. ඒවා ද සහතික විය යුතු අතර ආහාර නිෂ්පාදනයට සෘජුව සම්බන්ධ වන ආයතන ද සහතික විය යුතු වේ.

ආහාරවලට අමතරව ලෝකයේ නව ප්‍රවණතාවක් ඇති වී තිබෙනුයේ ඇඳුම් පැලඳුම් ද කාබනික ලෙස සකස් වීමය. Global Organic Cotton Standard යනුවෙන් ලෝකයේ කාබනික කපු නිෂ්පාදන පිළිබඳව ප්‍රමිතියක් තිබේ. මෙහිදී කිසියම් පුද්ගලයකු මෙරටින් වෙනත් රටකට නිමි ඇඳුම් යවන විට මෙම සහතිකය අවශ්‍ය වේ. කපු විශාල ප්‍රමාණයෙන් වැවෙනුයේ ඉන්දියාවේ සහ අප්‍රිකානු රටවලය. මෙම රටවල නිෂ්පාදන අපනයනය කළ විට බොහෝ විට වෙනත් රටකදී එනම් එංගලන්තයේදී හෝ යුරෝපයේ වෙනත් රටකදී හෝ ආසියානු රටකදී හෝ නිමි ඇඳුමක් බවට පත් වන විට එම ඇඳුම කාබනිකව සහතික කරන ලද නිමි ඇඳුමක් බවට පත් වේ. එමෙන්ම බොහෝ විට රෙදි සඳහා භාවිත කරනු ලබන තීන්ත වර්ග, නූල් වර්ග ආදිය ද නියමිත කාබනික ආකාරයට නිෂ්පාදනය වී ඇති බවට සහතික කරනු ලබයි.

රටින් රටට වෙනස්

මෙම කාබනික සහතිකකරණය රටින් රටට වෙනස් වන්නේ එම රටවල තිබෙන නීතිරීති අනුව සහ ප්‍රමිතීන් අනුවය. වගාව, සැකසීම, ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනයට අදාළව නිෂ්පාදන ප්‍රමිතීන් ලෝකය පුරාම සකස් වී ඇත. සහතික කිරීමේදී ප්‍රධාන වශයෙන් කාබනික ආහාරවලට ලොව පුරා විශාල වශයෙන් අලුතින් ඉල්ලීම් ඇති වී තිබේ. යුරෝපය, අමෙරිකාව, අප්‍රිකාව, කැනඩාව සහ ජපානය වැනි රටවල් මෙහිදී ප්‍රධාන ස්ථාන ගනී. දශක කිහිපයකට පෙර සිට බොහෝ අයට තිබූ ගැටලුවක් වූයේ කාබනික ලෙස ලේබල්ගත වුව ද සත්‍ය ලෙසම කාබනික ආකාරයට සකස් වෙනවා ද යන්නය. ඒවාට අදාළව වංචා සිදු වේ නම් එම වංචා වැළැක්වීම සඳහා මෙන්ම වාණිජ වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ද මෙම සහතිකකරණය කරනු ලබයි.

මෙහිදී කාබනික නිපැයුම් සැකසීමේදී ව්‍යාපාරයක් ලෙස මුල් කාලයේදී සහතික කිරීමක් අවශ්‍ය නොවුව ද ටික කලක් ගත වන විට කුඩා ගොවීන් විසින් තම නිෂ්පාදන සෘජුවම වෙළෙඳපොළට නිකුත් කරනු ලැබිණි. එවිට කාබනික ආහාරවලට ජනප්‍රියත්වයක් එන්නට පටන් ගෙන තිබේ. එවිට පාරිභෝගිකයන් සුපිරි වෙළෙඳසල්වලට ගොස් මේවා පිළිබඳව සොයන්නට පටන් ගෙන ඇති අතර එහිදී තෙවන පාර්ශ්වයට මෙම සහතිකයේ අවශ්‍යතාව දැනී ඇත. එහෙත් මෙම සහතිකය සිතාමතා දිය හැකි නොවේ. ඊට පසු කාලයකදී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කොට ඇත. එය Codex Aimentarius ලෙස හැඳින්වෙයි. මෙය පදනම් කර ගනිමින් ලෝකයේ කාබනික සහතිකකරණයට අවශ්‍ය මුල්ම මාර්ගෝපදේශන සපයනු ලබයි. මෙහි ප්‍රමිතිය මුලින්ම සාදනු ලැබුයේ ලෝකයේ කාබනික වගාව පිළිබඳ අන්තර්ජාතික සංවිධානයෙනි. ජාත්‍යන්තරව භාවිත කළ හැකි ප්‍රමිතියක් මෙමඟින් ලෝකයට හඳුන්වා දී තිබේ. විවිධ මත අනුගමනය කරමින් ලෝකයේ අනෙක් රටවල් තමන්ගේ කාබනික ගොවිතැන පිළිබඳව සහතිකයක් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන ප්‍රමිතීන් සකස් කරනු ලබයි. මෙපරිද්දෙන් සුළු කලක් ගත වන විට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා කාබනික වගාව පිළිබඳ අන්තර්ජාතික සංවිධානය විසින් ලෝක වෙළෙඳ සංවිධානයේ අවශ්‍යතාවන් අනුව කෘෂිකර්මාන්ත අංශයේ වෙළෙඳ හා නියාමන කටයුතු සඳහා වෙනම අංශයක් ලෙස ආරම්භ විණි.

අන්තර්ජාතික කාර්ය සාධන බළකාය

මේ අනුව අන්තර්ජාතික වශයෙන් කෘෂිකර්මාන්තයට අදාළ නීතිරීති හා සමානාත්මතාවය ඇති කිරිම සඳහා අන්තර්ජාතික කාර්ය සාධන බළකාය (International Target for Harmonization and Equivalence in Organic Agriculture) නිර්මාණය කොට ඇත ඒ හරහා මෙයට අදාළව ගෝලීය වශයෙන් බලපානු ලබන රෙගුලාසි හා ප්‍රමිතින් පවත්වා ගෙන යෑම සඳහා විවිධ රටවලට උපදෙස් දෙනු ලබයි.

මෙම රෙගුලාසි සම්බන්ධව ඇතමෙකුට ගැටලු පැන නඟින්නට හැකිය. වෙළෙඳපොළේ පවතින ද්‍රව්‍යයන් අතර කාබනිකව වගා කරනු ලබන දේ සහ එසේ නොකරන ද්‍රව්‍යයන් තිබේ. උදාහරණයක් ලෙස මී මැසි පාලනය සහ බිම් මල් ගත් විට මේවා සෘජුවම පොළොවට සම්බන්ධ නොවී විවිධ ආකාරයෙන් පවතී. එවැනි ප්‍රභේදවලට ද කාබනික සහතිකය නිකුත් කරනු ලබයි. එමෙන්ම වනයෙන් නෙළා ගෙන එනු ලබන දෑවලට ද කාබනික සහතිකය නිකුත් කෙරේ. මීට අමතරව කලපු වැනි ස්ථානවල සිටින මත්ස්‍යයින්ට ද තායිලන්තය වැනි රටවල කාබනික සහතිකය නිකුත් කරනු ලබයි. එලෙස සලකා බලන විට මෙරට කලපුවලින් නෙළා ගන්නා ඉස්සන් ද කාබනික ලෙස නම් කළ හැකිය. එහෙත් තවමත් එවැනි තත්ත්වයක් මෙහි නොමැත.

ලෝකයේ මුල් වරට වගා කරනු ලබන එළවළු වර්ග කාබනික ප්‍රමිතීන්ට අනුව සකස් කරන ලද්දේ යුරෝපයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේය. යුරෝපානු කොමිසම තමන්ගේ මූලික ප්‍රමිතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1992දීය. මේ අනුව ලෝකයේ බොහෝ රටවල් ඔවුන්ට අදාළව නීතිරීති සකස් කර ගෙන තිබේ. ස්විට්සර්ලන්තය සහ ජර්මනිය මේ අතරින් ප්‍රධාන වේ. අද වන විට ලෝකයේ බොහෝ රටවල් කාබනික නීතිරීතීන්වලට අනුගතව කටයුතු කරනු ලබයි.

මෙම නීතිරීති ශ්‍රී ලංකාවට ද වැදගත් වේ. මෙරටදී කිසියම් නිෂ්පාදනයක් කාබනික ආකාරයෙන් සකස් කොට යුරෝපයට යවන්නේ නම් මෙරට නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුව ඒවා සකස් කිරීමෙන් පලක් නැත. ඒවා සකස් කළ යුතු වන්නේ අදාළ රටවල ප්‍රමිතීන්ට අනුවය.

නව කාබනික පාලන ක්‍රමවේදය

කාබනික ලෙස ගත් විට වස විස නැති සියල්ලම කාබනික නොවේ. ශ්‍රී ලංකාවේ ඒ ස‍ඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද වෙනම ප්‍රමිතියක් තිබේ. 2009 වසරේදී මුල් වරට එළි දක්වන ලද එම ප්‍රමිතිය 2014 වසරේදී විශේෂ ගැසට් පත්‍රයක් මඟින් කාබනික නීතියක් සමඟ ප්‍රකාශයට පත් වේ. එය අපනයන සංවර්ධන පනත සංශෝධනය කොට එයට නව කාබනික පාලන ක්‍රම වේදයක් එකතු කරන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවෙන් පිටතට කාබනික භෝග යවන්නේ නම් හෝ ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන්නේ නම් අනිවාර්යයෙන් ඒවා සහතිකකරණයට ලක් විය යුතුය. ඒ සඳහා තුන්වැනි පාර්ශ්වයක හෝ වෙනත් පාර්ශ්වයක හෝ සහතිකයක් අවශ්‍ය වේ.

මෙම සහතික දෙනු ලබන ක්‍රම වේද දෙකකි. එනම්, තුන්වැනි පාර්ශ්වයක් මඟින් දෙනු ලබන සහතිකය සහ ගොවියා සහ පාරිභෝගිකයා එකඟත්වයෙන් දෙනු ලබන සහතිකයයි. මෙම ක්‍රමවේද දෙක මඟින් නිකුත් කරනු ලබන සහතික මඟින් ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ අලෙවි කළ හැකිය. වෙනත් රටවලට යවන්නේ නම් එම රටවල භාණ්ඩ සහතික කරනු ලබන ආයතන මඟින් සහතික කිරීම අවශ්‍ය වේ. මේවා සහතික කිරීමේදී විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටට යැවේ.

මීට අමතරව ලෝකයේ තවත් පිළිගැනීමක් තිබේ. එනම් Fair Trade Organic යනුවෙනි. මින් හැඳින්වෙන්නේ සාධාරණ වෙළෙඳපොළ යටතේ සහතික කරන ලද කාබනික නිෂ්පාදන යනුවෙනි. මෙම ක්‍රමය යටතේ අය කරනු ලබන නිශ්චිත මුදල සෘජුවම පාරිභෝගිකයා අතට යැවේ. මෙලෙස සහතිකකරණයේදි අය කරනු ලබන වැඩිපුර මුදල ගොවීන්ට අයිති වේ. ශ්‍රී ලංකාවේ ද ගොවීන්ට එවැනි ප්‍රතිලාභ ලැබෙන ගොවිපොළ කිහිපයක් තිබේ. මෙය ගොවීන්ට ලැබෙනුයේ ගොවීන්ගේ ජීවන තත්ත්වය සහ තිරසර නිෂ්පාදන භාවිතයට ඉඩ ලැබෙන ගිවිසුමක් අත්සන් කළ පසුවය. ශ්‍රී ලංකාවේ Fair Trade Sri Lanka යන ආයතනය මැදිහත් වී ඊට අවශ්‍ය පසුබිම සකස් කරනු ලබයි.

සහතිකකරණය කරනු ලබන ආයතන

මෙය නියාමනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ වෙනම ජාතික පාලන ඒකකය 2014 ඔක්තෝබර් මාසයේදි ගැසට් පත්‍ර නිකුතුවකින් පසුව 2016දී පමණ ආරම්භ කොට තිබේ. එහිදී කරනු ලබන්නේ කාබනික ක්ෂේත්‍රයේ තිබෙන යම් යම් ප්‍රමිතීන්ට අනුව ඒවා නිෂ්පාදනය වෙනවා ද සහ ඒවා නිවැරැදිව සහතික වෙනවා ද යන්න සොයා බැලීමය. ශ්‍රී ලංකාව තුළ එවැනි සහතිකකරණය කරනු ලබන ආයතන 7ක් හෝ 8ක් තිබේ.

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලදී මෙම සහතිකකරණය කරන ලද නිෂ්පාදන දක්නට ලැබේ. SGP, SLSI යන කාබනික සහතිකකරණ යටතේ මෙම නිෂ්පාදන දැකිය හැකිය.

කාබනික සහතිකකරණය සඳහා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රමිතිය සරල කොට මූලික පියවර 25කින් ගොවීන්ට ඉදිරිපත් කොට තිබේ. කෙනකුට ඉඩමක් කාබනික ලෙස සහතික කිරීමට අවශ්‍ය වුව හොත් සාමාන්‍යයෙන් රුපියල් 60,000-80,000ක් පමණ වැය වේ. එහෙත් විදේශීය වෙළෙඳපොළ තුළදී රුපියල් 200,000-700,000 දක්වා වැය වේ. මේ නිසා කාබනික වගාව කරනු ලබන ගොවීන් කණ්ඩායමක් එකතු වී වුව සහතිකයක් ඉල්ලිය හැකිය. එවිට එම සහතිකය සඳහා වැය වන මුදල ගොවීන් කිහිප දෙනා අතර බෙදී යයි. මීට අමතරව ගොවියන් සහ පාරිභෝගිකයන් එකතු වී ද සාදා ගත හැකි සහතික ක්‍රම වේදයක් ද තිබේ. ඒ සඳහා මුදලක් වැය නොවේ. මේ වන විට Good Market ආයතනයෙන් සහ ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයෙන් ද මේ ආකාරයෙන් සහතික නිකුත් කරනු ලබන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. මෙහිදී ගොවීන්ගේ මූලික කටයුතු සඳහා මුදලකින් තොරව මෙම සහතික දෙනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ මෙම කාබනික වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් සුපිරි වෙළෙඳසල් ජාලා 6ක් පමණ කටයුතු කරනු ලබයි. ඒ සමඟම තවත් විශේෂිත වෙළෙඳසල් ද තිබේ. ඒවාහි විකිණෙන කාබනික නිෂ්පාදන සියල්ලම සහතික කරන ලද නිෂ්පාදන වේ. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලද සහතික කරන ලද ක්‍රමවේද ඔස්සේ අලෙවි කරනු ලබන නියෝජිත පිරිස් ද සිටිති. මෙම ක්‍රමවේදයන් කිහිපයම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. කාබනික නිෂ්පාදනය සහ සැකසීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුව නිපදවන නිෂ්පාදන සඳහා කාබනික යෙදුම භාවිත කරන්නේ නම් අනිවාර්යයෙන් එයට සහතිකය අවශ්‍යම වේ.

ජූලි 30 වැනි දින දිනමිණ පුවත්පත ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *