කාබනික පොහොර ‘ජාතික අවශ්‍යත්‍යව සපුරන්න‘ පළාත් පාලන ආයතන සූදානම්

තාක්ෂණය, ඉඩම්, දැනුම, සහන ණය දෙන්න රජය සූදානම් – කෘෂිකර්ම ඇමති කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය වැඩසටහන් පිළිබඳව රජයේ පළාත් පාලන ප්‍රධානීන් සියලුදෙනා දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අද (12) කොළඹදී පැවැත්වුණා.

රජයට සම්බන්ධ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සියලුදෙනා මෙම වැඩමුළුවට එක්වුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික වැඩමුළුවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු ද එක්ව සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් ද මේ සඳහා එක්වුණා. දැනටමත් පළාත් පාලන ආයතන රැසක කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වූ පහසුකම්, පවතින ගැටළු, තාක්ෂණය, ඉඩම්, සහන ණය ආදී පහසුකම් සියල්ල නිරාකරණය කිරීමට රජය සූදානම්. මෙහිදී පළාත් පාලන ප්‍රධානීන්ට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ,

අපි මේ හැප්පෙන්නේ වාර්ෂික රුපියල් බිලියන 100ක මහා පරිමාණ වෙළඳ මාෆියාවක් සමඟ. ඒක ලේසි පහසු නෑ. සියලුදෙනා මුදලට ගන්න අපේ ව්‍යායාමය ආපස්සට හරවන්න මේ සමාගම් මුදල් යොදවනවා. ඒ නිසා සියලු පළාත් පාලන ආයතනවල සහාය අපේ වැඩපිළිවෙලට ලබාදීම ඉතා වැදගත්. ඒක රටේ හෙට දවස වෙනුවෙන් පරිසර හිතකාමී කෘෂිකර්මය ගොඩ නඟන ගමනට මහා හයියක්. ඔබට අවශ්‍ය දේ අපට කියන්න. පොහොර ගැටළු තියෙනවා නම් දිස්ත්‍රික් ගොවිජන කොමසාරිස්වරු එක්ක කතා කරන්න. විසඳුම් නැති වුණොත් මට හෝ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට කතා කරන්න. පොහොර හිඟයක් රටේ නෑ. ඒක මුළුමනින්ම මවාපෑමක්. ගමේ ජනතාව සමඟ ඉන්නේ වැඩිපුරම ඔබතුමන්ලා. ගැටළු එන්නේ ඔබතුමන්ලාට. ඒ නිසා හරි දේ ගැන ගමේ ජනතාව දැනුවත් කරන්න. පහදලා දෙන්න. මේක කළ හැකි, කළ යුතු යුතුකමක්. ඔබ වෙනුවෙන් ඕනෑම ගැටළුවකට උත්තර දෙන්න, ගැටළු විසඳන්න රජය සූදානම්. විශ්වාසයෙන් මේ වැඩේ ඉටු කරන්න.”

Agri image 07

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ

කාබනික පොහොර, ක්ෂුද්‍ර ජීවී තාක්ෂණය (ජෛව පොහොර) නවීනත්වයෙන් යුක්තයි. පළමුවෙන්ම කාබනික වගාව ගැන රසායනික වගාව කියන මනසින් මිදිලා හිතන්න ඕනේ. නැතිවුණොත් මේක වටහාගන්න තේරුම් ගන්න බෑ. ගොවියන් විශාල සංඛ්‍යාවක් මේ වනවිට පරිසර හිතකාමී ගොවිතැනේ නිරතව ඉන්නවා. ඔවුන් ඉතාම සාර්ථකයි. ශාක පෝෂක, කෘමි හා දිලීර උවදුරුවලට අවශ්‍ය ප්‍රතිකර්ම, ජෛව තාක්ෂණය හරහා සොයාගෙන ඉතා සාර්ථකව වගා කරන ගොවීන් අපේ රටේ ඉන්නවා. වෙනස් විදිහට හිතුවොත් අපිට මේක ජය ගන්න පුළුවන්. ඒ සඳහා වූ දැවැන්ත වැඩකොටසක් පළාත් පාලන ප්‍රධානීන් සතුයි. ඒ නිසා මේ වැඩපිළිවෙලට අවශ්‍ය සහාය අපට දෙන්න.”

Agri image 06

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

පළාත් පාලන ආයතන රැසක් දැඩි උනන්දුවෙන් මේ සඳහා කැපවී ඉන්නවා. කාබනික පොහොර නිෂ්පාදනය දැනටමත් බොහෝ පළාත් පාලන ආයතන සිදු කරනවා. ඔවුන්ගේ ගැටළු නිරාකරණය කළොත් තවත් ඒ වැඩපිළිවෙල කාර්යක්ෂමව කළ හැකියි. පොහොර දෙන්න කියලා උද්ඝෝෂණය කරන විරුද්ධ පක්ෂයේ නායකතුමා ඇතුළු ඉහළ පන්තියේ අය වසර ගණනක් පුරා ආහාරයට ගන්නේ කාබනික වගාවන්වල කෘෂි නිෂ්පාදන. ජනතාව අන්දන්න අපේ රජය සූදානම් නෑ. මිනිස්සුන්ට වස විස නැති ආහාර වේලක් දෙන්න අපේ රජය උත්සාහ කරන්නේ. ඒ සඳහා පළාත් පාලන ආයතන සියල්ල කැපවීමෙන් සහාය දෙන්න. රජයේ වැඩපිළිවෙලක් නොසිතා මේක රට වෙනුවෙන් මහපොළව, මිහිතලය ආරක්ෂා කිරීම වෙනුවෙන් කරගෙන යන ජාතික යුතුකමක් කියලා හිතන්න.

රසායනික කෘෂිකර්මාන්තයේ ආදීනව හා සෞඛ්‍ය ගැටළු සහ ඒ තුළින් අපේ පුරවැසියාට මුහුණදීමට සිදුවූ ඛේදවාචකය මෙන්ම ඉන් මිදීමට ඇති එකම හා හොඳම විසඳුම පරිසර හිතකාමී කාබනික කෘෂිකර්මය බව මෙහිදී විශේෂ දේශනයක් කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අවධාරණය කළා. රසායනික කෘෂිකර්මයෙන් අප ඉවත්විය යුත්තේ ඇයි?, වහවහා පරිසර හිතකාමී කාබනික කෘෂිකර්මයට යොමුවිය යුත්තේ ඇයි? යන මැයෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පළාත් පාලන ප්‍රධානීන්ට කරුණු පැහැදිලි කළා.

Agri image 04

Leave a Reply

Your email address will not be published. Required fields are marked *