මහ කන්නයේ වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, එළවළු හා පළතුරු වගා සඳහා අවශ්‍ය පරිසර හිතකාමී නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය අද (20) අළුයම ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට ගෙන්වන ලදී. පොහොර තොගය රැගත් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL – 1156 දරණ ගුවන්යානය අලුයම 00.25ට ගුවන් තොටුපොළට ළඟා විය.


අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඩී.වී. චානක ඇතුලු පිරිසක් අදාළ පොහොර තොගය කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දී භාරගත්තේය.
මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුලු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කරයි.


ලෝකයේ පිළිගත් ඉහළම පරිසර හිතකාමී පොහොර වර්ගයක් වන මෙම දියර පොහොර ශාකයට අවශ්‍ය නයිට්‍රජන් පෝෂක, කාර්යක්ෂමව ලබාගැනීමට හැකිවන අයුරින් නිපදවා ඇත. ඉන්දියාවේ, IFFCO ආයතනය මගින් නැනෝ තාක්ෂණය භාවිත කරමින් නිෂ්පාදනය කරන මෙම දියර පොහොරවල ඇති නයිට්‍රජන් සංඝටකය ශාක පත්‍ර මගින් සෘජුවම අවශෝෂණය කරගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.එච්.එස්. අජන්ත ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කරන ලද ලීටර් ලක්ෂ 31ක් වන දියර නයිට්‍රජන් පොහොර ප්‍රමාණයෙන් මෙම සතිය තුළදී පමණක් ලීටර් ලක්ෂ 5ක් මෙරටට ලැබීමට නියමිතය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි ගුණවර්ධන, සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ජයන්ත වීරරත්න, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.