මෙරට ප්‍රධාන සැපයුම් මාර්ග දෙක වන ඒ 9 ප්‍රධාන මාර්ගයත් ඒ 6 ප්‍රධාන මාර්ගයක් එකට යා වෙන දඹුල්ල නගර මැද පිහිටි ඔරලෝසු කණුව වටා ආදර්ශමත් කාබනික වගාව ඵල දරමින් පවතින බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
කාබනික වගාව තුළින් එළවළු වගාවන් සිදු කිරීමට නොහැකි බවට බොහෝ දෙනා සිදුකරන චෝදනා වලට රට මැදින් ගමන් කරන ඕනෑම අයෙකුට දැක බලා ගෙන යෑම් සඳහා මෙම වගාවන් ආදර්ශ වගාවක් ලෙස දඹුල්ල මහ නගර සභාව වගා කර ඇතැයි නගරාධිපති වරයා පැවසීය.
ඒ අනුව දඹුල්ල නගරයේම ඉවත ලන කැළිකසළ උපයෝගී කරගෙන දඹුල්ල මහ නගර සභාව නිපදවන කාබනික පොහොර යොදාගෙන දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව වට මෙම වගා භූමිය ආරම්භ කොට තිබිණි.
මේ දිනවල තක්කාලි අස්වැන්න ඉතා අලංකාරව දැකගත ගැනීමට හැකි වී තිබෙන බවත්, අමුමිරිස්, වම්බටු, කහ, මෙන්ම තවත් එළවළු වර්ග කීපයක් සහ මල් වගාව ද ඉතා සාර්ථකව පවතින බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පෙන්වා දුන්නේය.
කාබනික පොහොර ප්‍රශ්නය පිළිබඳව ගොවීන්ට විවිධාකාර ගැටලු සහගත තැන් පවතින නමුදු ක්‍රම ක්‍රමයෙන් හෝ රටේ ගොවීන් මෙම කාබනික ක්‍රමයට නතු විය යුතුය යැයි පෙන්වා දෙයි.
මේවට කිසිදු රසායනික පොහොර දමා නොමැති බවත් සැකයක් ඇති වන්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂිත කැමරා පද්ධතිය පවා පරීක්ෂා කරන්නැයි නගරාධිපති ජාලිය ඕපාත මහතා කාබනික වගාව විවේචනය කරන පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

කාංචන කුමාරආරියදාස – දඹුල්ල