වතුකරයේ තාරුණ්‍ය ව්‍යවසායකයන් කරන නාවලපිටිය ගලබඩ ‘කාබනික මිරිස් වගාව‘

  • ඉඩම්, බීජ, ජලනල, යන්ත්‍රෝපකරණ, විදුලිවැට, ජල පොම්ප, කාබනික පොහොර ඇතුළු පහසුකම් නොමිලේ රජයෙන්
  • ගොවිජන බැංකුවෙන් රු.50,000ක සහන ණයක්
  • වතුකරයේ තරුණ ශක්තියෙන් දෙශීය ආර්ථිකය ගොඩනඟන වැඩසටහනක්

රජයට අයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නාවලපිටිය ගලබඩ වතුයායේ වගා නොකළ ඉඩම් අක්කර 100ක කාබනික මිරිස් වගා ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. ඒ සඳහා එක් අයෙකුට අක්කර භාගය බැගින් තරුණ තරුණියන් 200කට අක්කර 100ක් බෙදා දී තිබෙනවා.

බිම් සැකසීම, ජලනල එලීම, පැළ තවාන් කිරීම මේ වනවිට එහි සිදු කෙරෙනවා. එහි තත්ත්වය පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළා. වගාවේ නිරත තරුණතරුණියන්ට ඉඩම් හිමකම් පත්‍ර හා සහන ණය මුදල් ද අමාත්‍යවරයා එහිදී ලබා දුන්නා.

මෙරටට අවශ්‍ය වියළි මිරිස් 100%ක්ම ආනයනය කෙරෙනවා. බීජ මිරිස් ද ආනයනය මතයි පවතින්නේ. දේශීය ආර්ථිකය ගොඩනැඟීම තුළින් විදේශයන්ට ඇදීයන මහා ධනස්කන්දය රටට ඉතිරිකිරීම රජයේ වැඩපිළිවෙලයි. ඒ සඳහා වූ එක් පියවරක් ලෙසයි, ගලබඩ ප්‍රදේශයේ අක්කර 100ක කාබනික මිරිස් වගාව සිදු කෙරෙන්නේ.

මීට අමතරව නාවලපිටිය අලුත්ගම ප්‍රදේශයේ කාබනික මිරිස් බීජ නිෂ්පාදන ගම්මානයක් ද ක්‍රියාත්මක අතර, එහි ඵලදාව මේ වනවිට නෙළමින් පවතිනවා. වාර්ෂික බීජ මිරිස් අවශ්‍යතාව ඇට කිලෝග්‍රෑම් 2500ක්. අලුත්ගම මිරිස් බීජ ගම්මානය තුළින් මිරිස් ඇට කිලෝග්‍රෑම් 1250ක් නිෂ්පාදනය සිදුවන අතර, ඉන් වාර්ෂික අවශ්‍යතාවයෙන් 50%ක් සම්පූර්ණ කෙරෙනවා.

අලුත්ගම බීජ ගම්මානය තුළ අඩි 1500 ටනල් 40ක මෙම මිරිස් බීජ නිෂ්පාදනය කෙරෙන්නේ. දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ ද වර්ග අඩි 2000 ටනල් 20ක මිරිස් බීජ නිෂ්පාදනය කෙරෙනවා. ගලබඩ හා තවත් ප්‍රදේශ රැසක වගාකොට වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම ඉලක්කයයි. ගලබඩ අක්කර 100ක කාබනික මිරිස් වගා ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වනවා. වතුකරයේ තරුණ පිරිස ඉතා කැපවීමෙන්, උනන්දුවෙන්, කැමැත්තෙන් මෙම ව්‍යාපෘතියේ නිරත වනවා.

වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර ද ගලබඩ වතුයායේ නිෂ්පාදනය කොට මෙම මිරිස් වගාකරුවන්ට නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අනෙකුත් සියලු පහසුකම් ද රජයෙන් ලබාදී ඇති අතර, තවදුරටත් අවශය පහසුකම් සියල්ල රජය මඟින් ලබාදෙන බව, ගලබඩ මිරිස් වගා ව්‍යාපෘතිය නිරීක්ෂණය කළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම ගොවි ජනතාවට ප්‍රකාශ කළා.

වතුකරයේ තරුණතරුණියන් 200කට මෙම වගා ඉඩම් ලබාදීමද විශේෂත්වයක්. තම වගාව හා කාබනික මිරිස් වගාව සිදුකිරීම පිළිබඳවත් ඊට ලැබෙන සහයෝගය පිළිබඳවත් ව්‍යාපෘතියේ නිරත තරුණ පිරිස අදහස් පළකළා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මඟපෙන්වීම යටතේයි මෙම කාබනික මිරිස් වගාව සිදු කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *