පොළොන්නරුවේ මහා පරිමාණ සහල් ගබඩා පරීක්ෂා කළ විශේෂ මෙහෙයුම

පොළොන් දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු මෙට්‍රික් ටොන් 1000කට ආසන්න සහල් තොගයක් රජයේ භාරයට ගත්තේය.

නිපුන, අරලිය, ලත්පඳුර, නිව්රත්න, හිරු සහ සූරිය යන සහල් මෝල් වල තිබූ සහල් තොග මෙලෙස පවරා ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි

රජය විසින් පනවනු ලැබු මිල ගණන් වලට වෙළඳපොළට සහල් නිකුත් නොකිරීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ කණ්ඩායම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සහායට පාරිභෝගික සේවා අධිකාරියේ සහ සතොස නිලධාරීහු ද පොලීසියද එක් ව සිටියහ.

පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂාකර, හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන, පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම සහල් තොග රජයේ භාරයට ගත් බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.

සතොස සහ ආහාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ 70ක් පමණ පොළොන්නරුවට  රැගෙන ගොස් තිබූ අතර, මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු ව තිබී රජයේ භාරයට ගත් එම සහල් තොග සතොස හරහා අලෙවි කිරීමට අද පස්වරුවේම කොළඹට රැගෙන එනු ලැබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *