ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට වහා පියවර ගන්නැයි අගමැතිගෙන් නියෝගයක්

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමඟාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පස්වරුවේ නියෝග කළේය.

ජල සම්පාදන අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

ඒ අනුව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කරමින් එම ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර අමාත්‍යංශය හා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජලසම්පාදන අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී මෙසේ ද සඳහන් කළේය.

“දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබා දීමේ වැඩසටහන අප විසින් කඩිනම් කළ යුතුයි. පානීය ජලය නොමැති වීම නිසා වියළි කලාප වල ජනතාව විශාල වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. මේ සඳහා අවශ්‍යවන පානීය ජල ව්‍යාපෘති සඳහා අනුග්‍රහය විදේශ ආධාර හෝ ප්‍රදානයන් ලෙස ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

පරිසරය රැකගැනීම වගේම අලුතින් ගස් රෝපණය කිරීමත් කළ යුතුයි. ඒ වගේම ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් විධිමත්ව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයයි. ඒ සඳහා පරිසර අමාත්‍යංශය එක්ව වැඩපිළිවෙලක් සකස් කරන්න” යැයි අග්‍රාමාත්‍යවරයා  උපදෙස් දුන්නේය.

මේවන විට දිවයිනේ සියලු ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි නල මගින් ආරක්ෂිත පානීය ජලය ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මකවන බවත් ඒ අනුව ඉදිරි වසර තුනක කාලයේ දී සියලුම පවුල් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජලසම්පාදන අමාත්‍යංශයේ නිලධාරීන් මෙහි දී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *