වනජීවි සම්පත් හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවිර දිසානායක
කොරෝනා වසංගතයට දෙවෙනි වන්නේ වන අලි – මිනිස් ගැටුමයි. ශ්‍රී ලංකාව තුළ අලි මිනිස් ගැටුමට වසර 100කට වඩා ඉතිහාසයක් තිබේ. එදා මෙදා කාලය තුළ මෙම ගැටුම අඩුවී නොමැති අතර වර්තමානය වෙන විට එය තව තවත් උග්‍රවි තිබේ.
මෙතෙක් පත්වු කිසිම රජයකට අලි – මිනිස් ගැටුමට විසඳුමක් සෙවීමට නොහැකි වි තිබේ. මෙයට ප්‍රධාන හේතුව ලෙස වන අලි කළමණාකරණයේ ඇති දුර්වල කම යැයි බොහෝ දෙනෙක් පවසති. එය නිතර ඇගිලි දිගු වන්නේ වනජීවි දෙපාර්මේන්තුවට බව ප්‍රසිද්ධ රහසකි. අලින්ගේ නිජබිම් අහිමිවිම, නව සංවර්ධන යෝජනා ක්‍රම, අලි ගහනය වැඩිවීම, මහජනතාවගේ නොසැලිකිලිමත් ක්‍රියා යන කරුණු මෙම ගැටුම වර්ධනය හේතු වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්විමෙන් පසුව වන අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ඒ වෙනුවෙන්ම අමාත්‍යංශයක් පිහිටවනු ලැබුවේ මෙම ගැටලුවේ ඇති වැදගත් කම නිසාය. මෙම ගැටලුව නිරාකරණය කිරිම සඳහා ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් වගකීම ලබා දි අත්තේ වනජීවි සම්පත් හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවිර දිසානායක මහතා වෙතටය.

වනජිවි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගන්න අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මෙහි ඇති භාරදුර කම පිළිබඳ සඳහන් කළ අතර ඒ සඳහා සුවිශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවද සඳහන් කළේය. අලි මිනිස් ගැටුම වැළැක්වීම මෙන්ම වන අලින් ගේ රැකවරණය වෙනුවෙන් රුගෙන ඇති පියවර පිළිබඳව වනජීවි සම්පත් වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවිර දිසානයක මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.
- ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්මෙවීන් අනතුරුව වනජීවි රාජ්‍ය අමාත්‍යංශය ඔබට භාරදි තිබෙනවා. ඇත්තටම මෙම වගකීම මහා භාරදුර එකක්. දැනට මෙම වන අලි මිනිස් ගැටුම අවම කිරිම සඳහා ඔබ අරගෙන තියෙන පියවර මොනවාද?
අද ලංකාවේ කොරෝනා උවදුරට දෙවෙනි වෙන්නේ වනඅලි – මිනිස් ගැටුමයි. අලි – මිනිස් ගැටුම නිසා මිනිසුන්ගේ මෙන්ම අලින් ගේ ජීවිත අකාලයේ අහිමි වෙනවා. එය අවම කර ගැනිම සඳහා පියවර ගැනීමේ වගකීම තියෙන්නේ මගේ අමාත්‍යංශයට. වසර 70කට අධික කාලයක් කිසිම රජයකට කිසිම නායකයෙකුට විසඳන්න බැරි ප්‍රශ්නයක් තමයි අද මා ඉදිරියේ තිබෙන්නේ. එයට විසඳුම් ලබාදීම සඳහා අපේ අමාත්‍යංශය දැඩි කැපවීමකින් කටයුතු කරනවා. දැනටමත් අපි ලංකාව පුරා වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.
- මොනවද දැනට මෙම ගැටලුව අවම කිරීම සඳහා අරගෙන තියෙන පියවර ?
අපි මුලින්ම මේ ගැටලුව හඳුනා ගැනීම තමයි කළේ. ඒ අනුව මේ රටේ බොහෝ පිරිසක් අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා විවිධ යෝජනා රාශියක් අරගෙන ආවා. නව නිපැයුම් සංවිධාන ගණනාවක් සමග අපි සාකච්ඡා කළා. සමහර ඒවා අත්හදා බැලුවා. සමහර ඒවා අත්හදා බලමින් සිටිනවා. අපි අත් හදා බලමින් සිටින සමහර ක්‍රම යම් සාර්ථකභාවයක් පෙන්නුම් කරමින් තියෙනවා.
ඉතිහාසයේ අලි මිනිස් ගැටුමට ඇති එකම විසඳුම අලි වැට කියලා තමයි කවුරුත් විශ්වාස කළේ. අපේ දෙපාර්මේන්තුව විසින් පවත්වාගෙන යන අලි වැට කිලෝමිටර් 4750ක් තියෙනවා. ඒවා රැක ගැනිමට සිවිල් ආරක්ෂක භටයින් 4500ක් පමණ යොදවා තියෙනවා. මෙයට අමතරව අපේ වනජීවි නිලධාරින් විශාල පිරිසක් මේ සඳහා යොමුවි සිටිනවා. නමුත් අලියා ගම්වදින එක නවත්වන්න බැරිවෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි අලුත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරමින් ඉන්නේ.

- ඔබ කියන ඔය අලුත් වැඩසටහන් මොනවද කියන්න පුළුවන්ද?
අපි මේ වෙනවිට කරන ලද අත්හදා බැලීම් වලින් කිපයක් සාර්ථක බව පෙන්නුම් කරමින් තියෙනවා. මේවායේ සාර්ථක අසාර්ථකභාවය ගැන කියන්න හරියටම තව ටික කාලයක් යනවා. මොකද අපි අලියා ගේ ගමන් මග වළක්වන්න කටයුතු කළාට අලියා හරිම බුද්ධිමත් සතෙක්. ඌ විවිධ දේවල් කරලා අපි යොදන බාධකය විනාශ කරන්න බලනවා. දැනට අපි එක් පර්යේෂණ කටයුත්තක් සිදුකළා. අම්පාර අට්ඨාලචේන කුණුවළ වටා අඟලක් කැපීම එක් කටයුත්තක්. එහි වැඩ කටයුතු දැන් තියෙන්නේ අවසන් අදියරේ. දැනටමත් වන අලින්ට එම අඟල විශාල බාධාවක් වෙලා තියෙනවා. ඉදිරි දින කිහිපය තුළදී මෙහි සාර්ථක අසාර්ථකභාවය කුමක්ද ? අලියා මෙම බාධාවට ගන්නා විකල්ප ක්‍රියා මාර්ග මොනවද කියලා අපි විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂා කරනවා.
මෙයට අමතරව අපි පදියතලාව මුඩගල ප්‍රදේශයේ එල්ලෙන විදුලි වැටක් අත්හදා බලමින් තියෙනවා. එහි ඉදිකිරීම් වැඩකටයුතු තවම අවසන් නැහැ. දැනට ඉදිකිරීම් කරල තියෙන තැන් වලින් වන අලිය ගම්වදින්නේ නැහැ. මෙහි සාර්ථක අසාර්ථකභාවය අලියා දක්වන ප්‍රතිචාර පිළිබඳව වැටේ වැඩ අවසන් කරපුවාම දැන ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳවත් විශේෂ කණ්ඩායමක් යොදවලා සොයා බලමින් සිටිනවා.
මෙයට අමතරව ජාතික විදුලි වැට පද්ධතිය අනුව ලංකාවේ අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල මෙම ගැටුම අවම කිරීම සදහා තවත් විදුලි වැට කිලෝමිටර් 1500ක් ඉදිකරන්න මූලික කටයුතු කර අවසන්. අලිවැටවල් ඉදිකිරීම සඳහා සුදුසු ප්‍රදේශ අපි මේ වෙනවිට හඳුනා ගෙන අවසන්. මේ වෙන විටත් ඉදිකිරීම් සඳහා අවශ්‍ය දේවල් සුදානම් කරගෙන අවසන්. නමුත් කොරෝනා වසංගතයත් සමග ජී.අයි. බට හිඟයක් ලංකාවේ තියෙනවා. ඒක නිසා මිලදී ගැනීම් වල යම් බාධාවන් නිසා යම් ප්‍රමාදයක් ඇතිවෙලා තියෙනවා. නමුත් ඉදිරි මාසය තුළ ඒ ගැටලුව විසඳනවා. ඒ ඉදිකිරීම් විශාල ප්‍රමණනයක් සිදුකරන්නේ යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින්. ඒක නිසා වැඩි කාලයක් යන්න පෙර මේ තත්වය යම් පාලනයක් කිරිමට හැකිවෙනවා.
මෙයට අමතරව ලංකාවේ ඉංජිනේරු මහතෙකු විසින් නවිකරණය කරන ලද තාක්ෂණික අතින් ඉහළ එල්ලෙන විදුලි වැටක් නිර්මාණය කරලා තියෙනවා. ඔහු එම අලිවැට වැල්ලවාය අනාපල්ලම ප්‍රාදේශීය සභා කුණුවල වටා ඉදිකර තිබෙනවා. දැනට මාස 10යක් වෙනවා අලි තවම ඒකට එන්නේ නැහැ. ඒ වගේ පර්යේෂණ අලිවැටක් අම්පාර සමනබැද්ද සිට විරගොඩ දක්වා ඉදිකිරීමට මා උපදෙස් දී තිබෙනවා.

- අලි වැට ගැසිමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සොයන්න පුළුවන්ද ?
අලිවැට ගැසිමෙන් පමණක් මේ ගැටලුව විසඳන්න බැහැ. මේ ගැටලුවට අපේ රටේ ජනතාවත් සක්‍රියව දායක වෙලා තියෙනවා. අසීමිතව සිදුකරන හේන් වගාව නිසා අලියා ගැවසෙන කැලෑ ප්‍රමණනය අඩුවෙලා තියෙනවා.ඒක නිසා තමයි අලි ගම්වැදීම වැඩිවෙලා තියෙන්නේ. ඒක නිසා කැලෑ ඇතුලේ අලියා ප්‍රිය කරන තෘණ වර්ග සිටුවන්න වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙයට අමතරව කැලෑවල ඇති වැව්වල බෙරු වැනි අලියා කෑමට කැමැති ආහාර ව්‍යාප්ත කරන්න කටයුතු සුදානම් කරනව.
ඒ වගේම අපේ රටේ හේන් ගොවින් විශාල පිරිසක් කියනවා හේන් වටා වැට ගසන්න කියලා. නමුත් එහෙම කරපු තැන්වල කිසිම අලි වැටක් සාර්ථක වෙලා නැහැ. ඒ වැටවල් අලියා කඩලා වගාවල ඉතිරිවෙලා තියෙන නිරි වගාව භුක්ති විඳිනවා.ඒක නිසා අපි තීරණයක් අරන් තියෙනවා නිවෙස් අසලින් වැට ගැසිමට. හේන් ගොවියාගේ වගාව ආරක්ෂා කිරීමත් අපේ වගකීමක් ලෙස දකිනවා. එයට අපි වගා කරන කාලය තුළදී ‘සංචරණ වැටක්‘ ගැසීමට අවස්ථාව ලබාදෙනවා. වගාව අවසන් වු පසු ඒ වැට ඉවත් කළ යුතුයි. නැවතත් වගාව කරද්දී වැට සවි කළ යුතුයි. ඒ සඳහ අවශ්‍ය ද්‍රව්‍ය අපි ලබා දෙනවා. අපේ නිලධාරින් ගේ අධීක්ෂණය යටතේ ගොවි සමිති විසින් ඒ වැටවල් ඉදිකර ගැනීම සිදුකළ යුතුයි.
මෙයට අමතරව අද බොහෝ ස්ථානවල අලිමංකඩවල් හරස් කරලා සංවර්ධනය කරලා තියෙනවා. ඒ පැරැණි අලිමංකඩවල් නැවත විවෘත කරන්න කටයුතු කළ යුතුයි. දැනටමත් අපි මහියංගණයේ ගිරාදුරුකොට්ටේ ප්‍රදේශයේ එවැනි අලිමංකඩක් නැවත විවෘත කරන්න කටයුතු කරමින් ඉන්නවා.ඒ සඳහා මහවැලි අධිකාරියේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.
- අලින් වෙනුවෙන් අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ ඉදිකරන ලද අලි ගාල පිලිබඳව විවිධ චෝදනා තියෙනවා. ඇත්තටම එය සාර්ථකද?
හොරොව්පතාන අලි ගාල පිළිබඳව විවිධ චෝදනා තියෙනවා. මම ඇමතිවරයා හැටියට මේ පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලුවා. එතැනින් යම් අලි පිරිසක් පැනල ගිහින් තියෙනවා. එම ස්ථානයට අරන් ගිය අලි කීප දෙනෙක් මියගිය බවට වාර්තා වෙනවා. ආහාර නැතිව අලි මිය ගිය බවට යම් චෝදනා තියෙනවා. මම විශේෂ නියෝජිතයින් පිරිසක් යවා මේ ස්ථානය පිළිබඳව වාර්තාවක් ලබා ගත්තා. ඒ අනුව අපි මුලිකවම මෙම ස්ථානයේ වන අලින්ගේ සුපෝෂණ කටයුතු ආරම්භ කරන්න උපදෙස් දිලා තියෙනවා. මෙම භුමිය තුළ ඇති තෘණ වගාවන් කිරීමට හැකි භුමි හඳුනාගෙන එම කටයුතු ආරම්භ කරන්නත් මෙම ස්ථානයේ සිටින අලින්ට බාහිරින් කෑම ලාබදීමටත් අවශ්‍ය උපදෙස් දි අවසන්. මෙයට අමතරව මෙම ස්ථානයේ ගෙනත් දාන අලි පිළිබඳව අපි හරියට සොයා බලා නැහැ. ඉදිරියේදි මෙම වන අලින් පිළිබඳව සොයා බලන්න, ඔවුන්ගේ සුපෝෂණ කටයුතු අධික්ෂණය කරන්න, ප්‍රතිකාර ලබාදෙන්න විශේෂ වනජීවි සෞඛ්‍ය වෛද්‍ය ඒකකයක් ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරන්න අපේ පශු වෛද්‍යවරුන්ගෙන් අදහස් යෝජනා ගන්නවා. ඉදිරි මාස කිහිපය තුළ හොරොව්පතාන අලි සුරකුම් මධ්‍යස්ථානය මාගේ සෘජු අධික්ෂණය තුළ වැඩි දියුණු කිරිමට කටයුතු කරනවා.

ඔබ යෝජනා කරන මෙම වැඩසටහන් වලින් විතරක් මෙම ගැටුම අවසන් කරන්න පුළුවන්ද ? ඒකට අවශ්‍ය මානව සම්පත වනජීවි දෙපාර්මේන්තුවේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා නේද ?
ඇත්තටම මේ සියලු කටයුතු කරන්න අපිට ඉන්න සේවකයින් මදි. ඒ නිසා තමයි අපි අලි මිනිස් ගැටුම නැවතීම සඳහා සිවිල් ආරක්ෂක බලකායෙන් 5000ක් විතර වනජීවි දෙපාර්මේන්තුවට අනුයුක්ත කරගෙන තියෙන්නේ. මෙයට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මම කරන ලද ඉල්ලීමකට අනුව බහු කාර්ය දෙපර්මේන්තුවෙන් අපිට 25,000ක් බඳවා ගන්න අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙනවා. එයින් 3000ක පිරිසක් දැනට අපි බඳවා ගෙන තියෙනවා. ඒ පිරිස දැනට පුහුණු කර වනජීවි කාර්යාලවලට මෙන්ම අලිවැට සංරක්ෂණ කටයුතුවලට යොදවා තියෙනවා.
මේ සියල්ල සිදුකරනවා වගේම, මෙම දෙපාර්මේන්තුව වෙනුවෙන් විශාල කැපවිමක් කරන සේවකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය වැඩ කරන්නේ ඉතා අඩු පහසුකම් යටතේ. මම ඒ සඳහා දැනටමත් මගේ විශේෂ නියෝජිතයින් රට පුරා යවලා ඒ අඩුපාඩු පිළිබඳ තොරතුරු ලබා ගනිමින් සිටිනවා. සියලුම ජාතික වනඋද්‍යන වැඩි දියුණු කරන්න විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් තියෙනවා. සේවක උසස්විම්, දීමනා නොලැබීම පිළිබඳව අවුරුදු ගණන් නොවිසිඳුන ප්‍රශ්න සියල්ල දැන් තියෙන්නේ මා ඉදිරියේ. එම විවිධ තරාතිරම්වලට අයත් පිරිස්වලට ලබාදීමට ඇති හිඟ මුදල් උසස් විම් පිළිබඳව මගේ දැඩි අවධානය යොමුවි තියෙනවා. උදාහරණයක් හැටියට දෙහිවල සත්තුවත්ත ඇතුළු ආයතන හයකට හදිසි අනතුරු දීමනාව අවුරුදු ගණනාවකින් ලබාදීලා තිබුණේ නැහැ. අපි ඒ අයට එම දීමනාව ඉතා කෙටි කාලයකදී ලබාදීමට කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම අපේ ආයතනවල වැඩ කරන ගැටලු ඇති හැමදෙනාගේම ප්‍රශ්නවලට ඇහුන් කන්දිලා ඒවාට සාර්ථක පිළිතුර දිය යුතුයි. ඒවාට පිළිතුරු දෙනවා. එතකොට තමයි නිවැරුදි සේවාවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ දෙපාර්මේන්තුවේ වන අලින් ඇල්ලීම පිළිබඳව කටයුතු කරන අය වෙනුවෙන් දීමනාවක් ලබාදෙන්න ඉල්ලීම් කරල තිබුණා. ඒවා ලබාදෙන්න මම අනුමැතිය ලබාදිලා තියෙනවා. ඒ වගේම ස්ථිර කර නොමැති සේවේච්ඡා සේවකයින් ස්ථිර කරන්නත් මම අනුමැතිය දිලා තියෙනවා.
අලිපාලන ඒකක සඳහා කැබ් රථ 50ක්, යතුරු පැදි 100ක් ලබාදීමටත් මූලික වැඩ කරල අවසන්. ඒවගේම අලි ගැටලු ඇති ප්‍රදේශවලට කඩිනමින් වනජීවි බීට්ටු කාර්යාල ආරම්භ කිරීමට කටයුතු කරනවා. මෙම මාසය අවසන් වෙනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනජීවි බීට්ටු කාර්යාල 05ක් ආරම්භ කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිට්ටු කාර්යාල 03ක් ආරම්භ කරනවා. අනෙක් දිස්ත්‍රික්වල අවශ්‍යතාවය අනුව තව බීට්ටු කාර්යාල වැඩි කිරීමේ මුලික කටයුතු ආරම්භ කරන්න දැනටමත් උපදෙස් ලබාදී තිබෙනවා. වනජීවී දෙපාරේමේන්තුවේ පිරිස් බලය ගම දක්වා ව්‍යාප්ත කිරීම තුළින් මෙම ගැටලුව අවම කර ගැනිමට හැකිවෙනවා. වනඅලි කළමණාකරණය සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා. එහි වැඩ කටයුතු මේ වසර අවසන් කිරීමට පෙර පටන් ගන්නවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රම උපායන් අපි දැනටමත් සකස් කරමින් යනවා.
ඒ වගේම අලි ප්‍රහාරවලින් මියයන අය වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල් පවා අපි වැඩි කරලා තියෙනවා. නිවාසවලට වෙන හානි දීමනා වැඩි කරලා තියෙනවා.මෙම ගැටලුව විසඳීමට අපිට තනිවම බැහැ. රජයේ අනෙක් ආයතන මෙන්ම මහජනතාවගේ සහය මෙම ගැටලුව පාලනය කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. කොරෝනා උවදුර නිසා අපේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යම් මන්දගාමි බවක් පවතිනවා. නමුත් අපේ සියලු කාර්යන් හැකි අයුරින් නොඅඩුව කරගෙන යනවා
ඒවගේම මගේඅමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා‍්, අධ්‍යක්ෂක ජෙනරාල් සුරිය බංඩාර මහතා ඇතුළු සියලුම නිලධාරින් කරන සේවාව මා අගය කරනවා. වනජීවින් මෙන්ම වනය ආරක්ෂා කරන සතා සිවුපාවා ආරක්ෂා කරන එම නිලධාරින් වෙනුවෙන් ලබාදීමට හැකි සහනයක්ම ලබාදෙනවා. වසර දෙකක් තුළ මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදිමට හැකි වුණේ නැත්නම් මම මෙම තනතුරෙන් ඉල්ලා අස්වෙනවා.
සංවාද සටහන – වසන්ත චන්ද්‍රපාල