කළුතර දිස්ත්‍රික්කයේ හොඳම කාබනික ගෙවත්ත මෙන්න !

වගා කරන්න ඉඩකඩම්, කාල වේලාව සහ වස විසෙන් තොර පොහොර නැතැයි බොහෝ දෙනා මැසිවිලි නඟති. එහෙත් කිසිදු මැසිවිල්ලක් නොනඟා කාබනික පොහොරවලට අනුගත වෙමින් ගොවිතැන නිසියාකාරව කර ගෙන යන අය ද නැතුවා නොවේ.

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සහකාර නිලධාරිවරයකු වසර කිහිපයක සිට තම ගෙවත්තෙහි සාර්ථක භෝග වගාවක් කරමින් සම්මානයට ද පාත්‍ර වී තිබීම සතුට දනවනසුළුය.

අගලවත්ත, යටියන. සර්වෝදය මාවතේ පර්චස් 13ක ඉඩමක සිය නිවෙස තනා ජිවත් වන සනත් නාකන්දල මහතා අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සහකාර නිලධාරිවරයෙකි. සිය රාජකාරි කාල වේලාවෙන් අනතුරුව විවේකය විනෝදයෙන් ඵලදායි ලෙස යොදා ගත් ආදර්ශවත් නිලධාරියකු ලෙස ඔහු ඇගයීමට ලක්ව තිබේ.

බොහෝ දෙනකු මුහුණ දෙන ප්‍රශ්නයක් වන්නේ තමන්ට අවශ්‍ය භව බෝග වගා කර ගැනීමට ඉඩකඩම් නොමැතිවීමය. අනෙක් කරුණ වන්නේ වගා කටයුතු වෙනුවෙන් වැය කිරීමට කාලයක් නොමැති බව ය. මෙම ප්‍රශ්න දෙකටම සනත් නාකන්දල මහතා සාර්ථක ලෙස පිළිතුරු සපයා දී තිබේ. රාජ්‍ය සේවකයකු ලෙස සිය රාජකාරි කාලය උපරිමයෙන් ඒ වෙනුවෙන් කැප කර රාජ්‍ය සේවයේ හිත දිනා ගෙන ඇති සනත් නාකන්දල මහතාට ඇත්තේ පර්චස් 13ක ඉඩමකි. එම ඉඩම වගා බිමක් බවට පත් කර ගන්නට හෙතෙම සමත්ව සිටියි.

කිසිදු තරගයක්, ප්‍රදර්ශනයක් ඉලක්ක කර නොගෙන පවුලේ සාමාජිකයන් සඳහා වස විසෙන් තොර ආහාර සපයා ගැනීමේ අරමුණින් වසර ගණනාවක සිට වගා කරන සනත් නාකන්දලගේ ගෙවත්තට සම්මාන. සහතික ලැබිම ද විශේෂත්වයකි. 2008 ජාතික ගෙවතු වගා තරගාවලියේ බස්නාහිර පළාතේ රාජ්‍ය සේවක ගෙවතු අතරින් දෙවැනි ස්ථානය හිමි වුයේ සනත් නාකන්දල මහතාගේ ගෙවත්තට ය. 2013 කළුතර දිස්ත්‍රික් ගෙවතු වගා තරගයේ දෙවැනියාය. 2016 – 2018 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ඇතුළු පසු ගිය වසර දහයක පමණ මෙරට සෑම ගෙවතු වගා වැඩසටහනකදිම සනත් නාකන්දල මහතාගේ ගෙවත්තට ප්‍රථම හෝ දෙවන ස්ථානය හිමි ව තිබේ.

උඩරට, පහත රට වැවෙන එළවළු වර්ග විස්සක් පමණ, දේශීය පලතුරු වර්ග දහයක් දොළහක්, දේශීය අල බතල වර්ග හතරක් හෝ පහක්, මිරිස්, ගම්මිරිස්. කහ. ඉඟුරු, කුරුඳු, ඇතුළු කුළුබඩු, මෙරට සහ විදේශීය වශයෙන් ජනප්‍රිය මල් වර්ග, උඩවැඩියා, ඕලු, නෙළුම්, මෙරටින් වඳ වෙමින් යන දේශීය පලා වර්ග, වැල් වර්ග, දිය ගොඩ වැවෙන පලා වර්ග හතරක් හෝ පහක්, දේශීය වෙදකමට හා නිතර අත් බෙහෙත් සඳහා අවශ්‍ය වන හෙළ ඔසු පැළ, කෙසෙල්, අළු කෙසෙල්, පොල්, පුවක්, බුලත්, ආදි සියල්ල මේ කුඩා ඉඩ තුළ සරුවට වැවී තිබේ. මී මැසි පාලනය, විසිතුරු මසුන්, විසිතුරු පක්ෂීන්, කුකුළන්, ඇතුළු සත්ව පාලනයේ වාසිය වගාවටත් නිවෙසේ සාමාජිකයන්ගේ සෞඛ්‍යයටත් හේතු වන බව ද සනත් නාකන්දල මහතා ඔප්පු කර තිබේ.

මෙතරම් කුඩා ඉඩක මෙවැනි භෝග ප්‍රමාණයක් වගා කළ හැකි දැයි කෙනකුට සාධාරණ ප්‍රශ්නයක් මතු විය හැකිය. සනත් නිකන්දල මහතා ඒ සඳහා අහස පොළොව දෙකම ප්‍රයෝජනයට ගන්නවාට අමතර ජංගම වගාවන් ද යොදා ගෙන ඇති අයුරු දැක ගත හැකිය. තම ගෙවත්තේ කිසිදු බිම් අඟලක් අපතේ නොදමා ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය දැක ගත හැකිය. ගෙවත්තේ සියලු වගා සඳාහා තමා විසින් සකසා ගන්නා කාබනික පොහොර, කාබනික කෘමිනාශක, කාබනික දියර පොහොර යොදමින් වස විසෙන් තොර ගොවිතැන පිළිබඳ ව ප්‍රායෝගික පාඩමක් කියා දී තිබේ.

කුමන ආකාර වගාවක් ගැන කතා කළ ද මේ දිනවල කතාබහට ලක් වන අනෙක් ජනප්‍රිය ප්‍රශ්නය පොහොර සහ කෘෂි රසායන පිළිබඳ ගැටලුව ය. තම පවුලේ සාමාජිකයන්ගේ පරිභෝජනය වෙනුවෙන් වගා කරන නාකන්දල මහතා කිසිදු රසායනික පොහොරක් හෝ කිසිදු කෘෂි රසායනික වර්ගයක් භාවිතා නොකර ජෛව පාලන ක්‍රම යොදා ගැනීමට කටයුතු කර ඇත. නිවෙසේ මුළුතැන්ගෙයින් ඉවත දමන සියල්ල ගෙවත්තේ පෝෂණය වෙනුවෙන් යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය, කාබනික දියර පොහොර නිෂ්පාදනය, කාබනික කෘමිනාශක නිෂ්පාදනය පිළිබඳ ව සනත් නාකන්දල සතුව ඇත්තේ හසල දැනුමකි.

දිනෙන් දින ඉහළ යන බඩු මිල සමඟ ජීවන වියදම දරා ගත නොහැකි බොහෝ දෙනාට ගෙවතු වගා සංකල්පයෙන් විශාල අස්වැසිල්ලක් ලබා ගත හැකි බව සනත් නාකන්ද මහතා තහවුරු කර තිබේ. නිවෙසින් බැහැර කරන මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය , ගෙවත්තේ ගහෙන් කොළෙන් ලැබෙන කාබනික අපද්‍රව්‍ය කොම්පෝස්ටි පොහොර බවට පත් කර ගැනිමට කිසිදු මුදලක් වැය නොවේ. ඉවත දමන නෙදිරන ප්ලාස්ටික්, බෝතල. කෝප්ප. ඇතුළු භාජන වගා බඳුන් බවට පත් වීමෙන් පරිසර සංරක්ෂණයට ද හේතු වී තිබේ.

වසර ගණනාවක සිට ගෙවතු වගාවේ නිරත නාකන්දල මහතා එය සිදු කරන්නේ කිසිවකුගේ ඉල්ලිමකට, හෝ තරගයක් වෙනුවෙන් නොවේ. තමාගේ බිරියත් දරු දෙදෙනාටත් වස විසෙන් තොර පෝෂ්‍යදායි ආහාර සපයා ගැනීම සහ රාජ්‍ය සේවකයකු ලෙස අවවාදයට වඩා ආදර්ශය උතුම් කොට පෙන්වීම පමණක් මේ ගෙවතු වගාවේ අරමුණ වී තිබේ. එමෙන්ම තම නිවෙසට කරවල, මාළු වැනි දෑ හැර වෙන කිසිම එළවළු, පලතුරු, පළා ආදිය මතක ඇකි කලෙක මිල දී නොගැනීම ඔහුගේ ආර්ථිකයට විශාල ශක්තියක් වීමට ද හේතු වී තිබේ. රාජකාරියට යෑමට පෙර උදේම පැයක් හමාරක් ව්‍යායාම කිරීමටත් හවස වැඩ ඇරී පැමිණ ගෙවත්තේ සිදු කරන රාජකාරිය ඇවිදින මංතීරු හෝ ව්‍යායාම් උපකරණවලින් ලබා ගන්නා නීරෝගි බවට වඩා විශාල සතුට ගෙන දෙන්නක් බවට පත්ව ඇත. තම බිරිය හා දරුවන් ද ගෙවත්තේ කටයුතුවලින් ලබන සතුට, වින්දනය, පවුලේ සමඟියට ද හේතු වී තිබේ.

මෙවර ද කළුතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකවරයා සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණ ගෙවත්ත නිරික්ෂණය කර ඔවුන්ගේ ඇගයීමට ලක් විය. පර්චස් 13ක බිමක නිවෙස සහිත වගා බිමේ පාරම්පරික කෘෂි හා ගෘහ උපකරණ එකතු කර පාසල් දරුවන්ට අධ්‍යාපනය මෙන්ම ප්‍රායෝගික අධ්‍යාපනය දෙන කෞතුකාගාරයක් ද නිරිමාණය කර අතීත දැනුම අනාගතයට දායාද කිරීමට ද අගනා උත්සාහයක් ගෙන ඇති අයුරු දැක ගත හැකිය.

පී. සෝමරත්න – දිනමිණ පුවත්පත අසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *