කාබනික පොහොර භාවිතයට මෙරට ජනතාව හුරු කර වීම සඳහා රජය විසින් ගෙන ඇති රසායනික පොහොර තහනම ප්‍රඥාගෝචර වේ.
අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාද්වීපයේ කෙත් වතු එකල සරුසාර වූයේ රසායනික පොහොරින් නොවේ. ගොවියන් විසින්ම කොළ අතු එකතු කොට සාදන ලද කොම්පෝස්ට් පොහොර සහ ගොම සහ කුකුල් පොහොර ඇතුළු ස්වාභාවික සත්ත්ව පොහොරවලිනි. එකල වී වගාව මෙන්ම එළවළු වගාව ද සශ්‍රීක විණි. මිනිසුන් හඳුනා නොගත් ලෙඩ රෝගවලින් මිය ගියේ නැත. ඔවුහු බොහෝ ආයුෂ දැරූහ.

මේ වන විට හඳුනා නොගත් වකුගඩු රෝග ඇතුළු රෝග ගණනාවකින් ජනතාව මිය යති. මෙයට හේතුව ලෙස විද්වතුන් හඳුන්වා දෙනු ලබන්නේ රසායනික පොහොර තුළ පවතින විෂ රසයනිකයන් ආහාර දාම දිගේ මිනිසාගේ ශරීරය තුළට නැවත පැමිණෙන බවය. ඉදිරි පරම්පරාව හෝ මෙවැනි රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා මේ මොහොතේ සිට හෝ රසායනික පොහොරවලට නැවතීමේ තිත තබා ස්වාභාවික පොහොරින් රට ස්වයංපෝෂිත කිරීම ආරම්භ කළ යුතු වේ.
රසායනික පොහොර ගෙන්විම රජය විසින් නතර කරනු ලැබූ විට රට පුරාම සිටින ගොවියන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතුය. වසර එකොළහකට වැඩි කාලයක් පුරා කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන අනුරාධපුර නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිදෝගම සුහදගම එස්.කේ.රේනිස් මහතා පොල් වගාවට, එළවළු වගාවට, පලතුරු වගාවට, කෙසෙල් වගාවට මෙන්ම බුලත් වගාවට ද කාබනික පොහොර යොදමින් සාර්ථක අස්වැන්නක් ලබා ගෙන ඇති බව සඳහන් කරයි.
මෙ වන විට එම ගොවි මහතා කාබනික පොහොර කිලෝ 10,000 ක් පමණ නිෂ්පාදනය කරමින් නාච්චාදූව ගොවි ජනතාවට ද අලෙවි කරනු ලබයි. රජය හෝ යම් අයෙක් රේනිස් මහතාට උදව් කරනවා නම් ගුණාත්මක බවින් වැඩි කාබනික පොහොර කිලෝ 25000 ක් පමණ ලබා දීමට හැකි බව ද ඔහු පවසයි.
ඒ වාගේම ගුණාත්මක බවින් වැඩි ඉස්තරම් කාබනික පොහොර හදන ආකාරය පිළිබඳව ද යම් ආයතනයක් හෝ යම් අයෙක් ඉල්ලීමක් කළ හොත් ඒ සඳහා කටයුතු කර දීමට ද ඔහු සූදානම්ය.
වගාවන් සඳහා කාබනික පොහොර එක් කිරීම සම්බන්ධව එස්.කේ. රේනිස් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

“මෙතෙක් කලක් රාජ්‍ය නායකයෙක් මේ වාගේ රටට වැදගත් තීන්දුවක් ගත්තේ නැහැ. හැමෝම රසායනික පොහොර නතර කිරීමට බය වුණා. රසායනික පොහොර නිෂ්පාදනය කරන මහා පරිමාණයේ බහු ජාතික සමාගම්වලින් ලැබෙන මුදල ගැන හිතා රාජ්‍ය නායකයින් මේ වාගේ තීරණ ගත්තේ නැහැ. කාබනික පොහොර හදන්න බැහැ, විකුණන්න බැහැ, අස්වැන්න නැහැ, වී වගාව කරන්න බැහැ, පොල් වගාවට දාන්න බැහැ, යන බොරු බිල්ලෝ පෙන්වා ජනතාව බය කරලා තිබෙන්නේ.
නමුත් අපේ රටට සහ දුප්පත් ජනතාවට ආදරය කරන ජනාධිපතිතුමා රසායනික පොහොර නතර කිරීමට තද දැඩි තීරණයක් ගෙන තිබීම අප අගය කරන්න ඕනෑ. දැන් ගොවි ජනතාව කාබනික වගාවට යන්න සුදානම් වෙලා ඉන්නේ.
කාබනික පොහොර යොදන්න කිසිම අයුරකින්වත් බිය විය යුතු නැහැ. පොල් ගසකට කාබනික පොහොර කිලෝ 30 ක් දමන්න ඕනෑ. දැනට තිබෙන පොල් අස්වැන්න දෙගුණ වෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ. මම කාබනික පොහොර යොදලා තිබ්බටු පැළ දෙකක් සිටවා තිබෙනවා. අක්කර කාලක් පමණ ඒ ගස් විහිදිලා තිබෙනවා. ඒ තිබ්බටුවලට මම කාබනික පොහොර දාලා තිබෙන්නේ. සති දෙකකට මම රුපියල් 3000ක් උපයා ගන්නවා.
පොල් වගාවට මම කාබනික පොහොර දාලා අස්වැන්න වැඩි කර පෙන්වා දුන්නාට පොල් සංවර්ධන මණ්ඩලයෙන් මට දිරි දීමනාවකුත් දුන්නා. මගේ අක්කර දෙකක පොල් වගාවට මම කාබනික පොහොර යොදා තිබෙනවා. මම හොඳ අස්වැන්නක් ගන්නවා.
රසායනික පොහොර නතර කරන එකට විරුද්ධව කටයුතු කරන්නේ ඖෂධ නිෂ්පාදකයින් වගේම රසායනික පොහොර නිෂ්පාදකයින්. ඒ වාගේම බේත් මාපියාකාරයින්.
අපේ ප්‍රදේශවලට අවශ්‍ය පොහොර ටික අපි හදා දෙන්නම්. ගොවි ජනතාව ඒ සදහා සූදානම් වී සිටීම නිසා අනුරාධපුරයේ මේ වන විට කාබනික පොහොර හදන එක තරගයක් වෙලා.

කාබනික පොහොරින් සරු වූ පොල් වගාවක්
චිත්‍රාරත්න කළුආරච්චි විසින් ජූනි 23 වැනිදා දිනමිණ පුවත්පතට සම්පාදිත වාර්තාවකි