කුරුණෑගල වී ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර දිස්ත්‍රික්කය තුළින්ම නිපදවා ගනී

කාබනික කෘෂි ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට  බලය දී ඇති බැවින්, එළඹෙන ඔක්තෝමබර් මාසයේ සිට කාබනික පොහොර, කාබනික වල් නාශක, දිලීර නාශක හා කෘමි නාශක වෙළෙඳපොළේ දී හිඟයකින් තොරව මිල දී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (01) කුරුණෑගල දී සඳහන් කෙළේය.

ඉදිරි මහ කන්නය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙන ආකාරය නිරීක්ෂණය සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ,මාවතගම,  කරදගොල්ල, ඉබ්බාගමුව, මැල්සිරිපුර, මඩහපොල, කුඹුක්ගැටේ, රඹේ, ඇහැටුවැව, ගල්ගමුව, අඹන්පොල, මාහෝ, දිවුලගොඩ, නිකවැරටිය, අවුලේගම හා වාරියපොල යන ගොවිජන සේවා මධ්‍යස්ථාන 15ක හා ඒවාට  සම්බන්ධ ගොවි ජනතාව මේ වන විටත් කාබනික පොහොර නිෂ්පාදනට  කැප වී සිටින ආකාරය අමාත්‍යවරයා ගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම සෑම ගොවිජන මධ්‍යස්ථානයක්ම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100ක් බැගින් නිෂ්පාදනය කිරීමට සුදානම්ව පැවැති අතර දිස්ත්‍රික්කයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 4200ක් පමණ  දිස්ත්‍රික්කය තුළම නිෂ්පාදනය කර ගැනීමට ගොවීන් හා මහ පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටින බවත් මේ වන විටත් තම පොහොර අවශ්‍යතාවයෙන් 45%ක් පමණ නිෂ්පාදනය කර ඇති බව මෙම චාරිකාවේ දී අනාවරණය විය.

මෙහි දි අදහස් දැක්වු අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේ ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ගොවීන් විසින්ම නිපදවා ගැනීම නිසා ඔවුන්ට අවශ්‍ය කාබනික නයිට්‍රජන් පොහොර හෙක්ටයාර් එකකට කිලෝගෑම් 300ක් හා පොටෑසියම් කිලෝ ගෑම් 45ක් බැගින් නොමිලේ ලබා දෙන බවය.

“ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන් අනුව කුරුණෑගල ගොවීන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමට කැපවීම ගැන සතුටු වෙනවා. අක්කරයට කාබනික පොහොර කිලෝ 250ක් අවශ්‍ය වෙනවා. එය නිෂ්පාදනය කර ගන්න රජය රු. 12,500 බැගින් ගොවීන්ට ලබා දෙනවා. ඒ අතර තරුණ කණ්ඩායම් මහ පරිමාණයෙන් කාබනික් පොහොර නිෂ්පාදනයට යොමු වෙනවා නම් ඔවුන්ට අඩු පොළියට බැංකු ණය ලබා ගන්න සහය වෙනවා වගේම කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර ලබා දෙන්නටත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගන්නවා. ”

එමෙන්ම මහවාරි ක්‍රමය යටතේ වී ගොවිතැන් කරන ගෙවීන්ට මහ කන්නය සඳහා දින 30ක් අඛණ්ඩව ජලය ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා යැයි ද අමාත්‍යවරයා අදහස් කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී ගොවිජන සේවා නිලධාරීන් ගේ ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ අමාත්‍යවරයා සෑම ගොවිජන සේවා ම්‍යස්ථානයකම කම්කරුවන් පස් දෙනා බැගින් ලබා දීම සදහා එවලේම අදාළ ඉහළ නිලධාරීන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කොට පියවර ගත්තේය.

එමෙන්ම ගොවීන්ට වී ගොවි තැන සඳහා වැදගත් වන පැරෂුට් තැටි සඳහා දැනට අය කරන බද්ධ අඩු කිරීම සඳහා ද එවලේම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතාට දුරකථනයෙන් කතා කර පියවර ගත්තේය. ඒ අනුව දැනට රු.45ක් පමණ වන පැරෂුට් තැටියක් බදු අඩු කිරීමෙන් පසු රු.20ක් පමණ මිලකට ලබා ගත හැකි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම චාරිකාවේ දී  කාබනික පොහොර නිෂ්පාදනට කැප වී සිටින කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර (කෘ.ප.නි.ස) නිළධාරීන් අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව ඔවුන්ට අවශ්‍ය මුව ආවරණ හා විෂ බීජ නාශක දියර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දීමට පියවර ගන්නැයි ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය කරන කාබනික පොහොර අතිරික්තයක් පැවතිය හොත් එම පොහොර තොග රජය මිල දී ගන්නා බව ද අමාත්‍යවරටා මෙහි දී අවධාරණය කළේය.

Agri image 04

මෙම නිරීක්ෂණ චාරිකාවද කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රි සුමිත් උඩුකුඹුර, මංජුල දිසානායක යන මහත්ම මහත්මීන් ද ප්‍රාදේශීය සභා සභාපතිවරු හා කුරුණෑගල දිස්ත්‍රික් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ටී.එම්.ජී. තෙන්නකෝන් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් ද සහභාගී වුහ.

ඡායාරූප සහ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *