දේශීය ගොවියා ආරක්ෂා කළ ආනයන තහනමේ සම්පූර්ණ වාසිය ‘මාතලේ මුංඇට ගොවීන්ට‘

  • දේශීය ගොවීන් ආරක්ෂා කළාට ජනපතිතුමාට පින් දෙනවා
  • ජීවිතේට මෙවැනි මිලක් ලබා ගෙන නැහැ
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපරිම සහාය
  • මුංඇට කිලෝව පාරිභෝගිකයින්ට රු. 500-600 ලබා ගත හැකියි
  • රසායනික පොහොර – පළිබෝධ නාශක නැති නිසා වසවිෂත් නෑ
  • ඉවත ලන පොතුවලින් බිම්මල් වගාව ජයටම

ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශීය මුංඇට කිලෝවක් සඳහා ගොවියකුට රුපියල් 760 ත් 780 ත්  අතර  ඉහළ මිලකට ලබාගැනීමට මේ දිනවල හැකි වී ඇති බව දේශීය මුං ගොවීන් පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වගාකරුවන් ශක්තිමත් කිරීම සඳහා විදේශ රටවලින් මුං ඇට ගෙන්වීම නවතා දැමීම නිසා මුං වගාව බොහෝ ගොවීන් සිදුකළ බව දේශීය මුං ගොවීහූ  පවසති.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශවල වැඩි වශයෙන් මෙවර මුංඇට  වගා කොට මේ දිනවල අස්වැන්න නෙළීම ආරම්භ කොට තිබේ.

විල්ගමුව  ප්‍රදේශයේ මුං වගාකරුවෝ මේ දිනවල පවතින දැඩි අව් රශ්මියේ මුං ඇට පෑහීම වෙන්කර ගැනීම පිරිසුදු කර කරගැනීම ආදී කටයුතුවල නිරතවන අයුරු එහි ගිය අපට දැක ගැනීමටට හැකි විය.

ලග්ගල විල්ගමුව ප්‍රදේශයේ මුං ගොවීන් කියා සිටින්නේ පසුගිය වසරවල මුංඇට බීජ කිලෝවක් රුපියල් 200 සිට රුපියල් 350 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ගැනීමට හැකියාව තිබුණු බව ය

එහෙත් මේ දිනවල කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව හරහා තම මුං ඇට බීජවලට මිලදී ගැනීම් සිදු කරන බැවින් කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවට තම අස්වැන්න කිලෝවක් රුපියල් 780කට  මිලදී ගන්නා බව ගොවීහූ පැවසූහ.

මුං ඇට ලබාගෙන ඉවත් කරන පොත්ත උපයෝගී කරගෙන තමන් සාර්ථක ලෙස බිම් මල් වගාව ද සිදු කරන බව ගොවින් පැවසුහ.

වසර ගණනාවක් තිස්සේ මුං ඇට වගා කළ ගොවි ගෙවිලියෝ දැඩි සිනහ මුසු මුහුණින් අප සමග කියා සිටියේ තම ජීවිත ඉතිහාසයේ කිසිම දිනක මුංඇට සඳහා මෙවැනි විශාල මිලක් ලැබී නැති බවය.

ගොවීන් කියා සිටියේ මෙවර පොහොර  සහ අනෙකුත් කෘමිනාශක ද්‍රව්‍ය නොමැති නිසා සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වුවද ලැබුණු අස්වැන්නට ඉහළ මිලක් ලැබුණු බවය.

තවත් ගොවීන් පිරිසක් කියා සිටියේ මිල ඉහළ යෑම් ස්තුතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය යුතු බවය.

තවත් පිරිසක් කියා සිටියේ ජනාධිපතිවරයා ගත් තීන්දු තීරණ නිසා තමාගේ අතමිට  ඉතිහාසගත ආකාරයෙන් වැඩි වී ඇති නිසා ජනපතිවරයාට පින් සිද්ධවෙන බවය.

ලග්ගල  විල්ගමුව ආදී ප්‍රදේශවල යුහුසුළුව මේ දිනවල මුං  අස්වැන්න නෙලමින් සිටිති.

අපේ බොහෝ දෙනෙක් වසර  ගණනාවක් ඉඳලා මුං ඇට වගා කරනවා. හැබැයි මේ වගේ මිලකට ජීවිතේ පළවෙනි වතාවට තමයි විකුණන්නේ

වැඩි වශයෙන් මෙවර මුං ඇට වගා කර ඇති  වීල්ගමුව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ ලේඩියන්ගල  ඉහළ කොටසේ පදිංචි මුං ගොවියෙකු වූ සරත් ඒකනායක මහතා තම සතුට මෙසේ පළ කළේය

“අපේ බොහෝ දෙනෙක් වසර  ගණනාවක් ඉඳලා මුං ඇට වගා කරනවා. හැබැයි මේ වගේ මිලකට ජීවිතේ පළවෙනි වතාවට තමයි විකුණන්නේ. අපි මුං ඇට බීජවලට දෙන නිසා තමයි හොඳ මිලක් හම්බ වෙන්නේ. හැබැයි වෙළඳපොළේ මුං ඇට ආහාරයට ගන්න අයට රුපියල් 500කට වගේ ගන්න පුළුවන්. අපි  කෘෂිකර්ම දෙපාර්දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙලා තමයි මේ වගාව කරන්නේ.”

“ජනාධිපතිතුමාට අපි ස්තූතිවන්ත වෙනවා දේශීය වගා කරන ආහාර පිටරටින් ගෙන්වන එක නවත්තලා අපටම වගා කරන්න දීපු එක ගැන. ඒ නිසාත් තමයි අපට මේ ටික වගා කරන්න පුළුවන් වුණේ. ඒ වගේම අපේ බීජ අරගෙන ගිහිල්ලා ලංකාව පුරා මුං  වගා කරන්න පුළුවන් වෙනවා.”

අපි මේ සැරේ හරිම සතුටෙන් ඉන්නේ, මොකද වන අලින්ගෙන් සතුන්ගෙන් බේරගෙන තමයි වගාව සිද්ධ කළේ. අපේ ජනාධිපතිතුමාට තමයි ගොඩක් ස්තුතිවන්ත වෙන්නෙ මේ වගේ මිල අපිට ලබාදීම ගැන.

මුං  වගා කරන ගෙවිලියක වූ ඒ. ජී. කුසුමාවති මහත්මිය.

 “අපිට කුඹුරු නැහැ. අපි හේන් වල මුං ඇට, කව්පි, උඳු වගේ දේවල් කාලයක් තිස්සේ වගා කර ගන්නවා. අහස් දියෙන් වගේම වතුර ගහලා වගා කරනවා. මේ සැරෙත් අපි නංගිගේ කුඹුරු සහ හේන ඉල්ලගෙන මුං වගා කළා. හැබැයි අපි තාම විකුණුවේ නැහැ. ආරංචියි නම් තියෙනවා රු.600 ඉක්මවලා මිලදී ගන්නවා කියලා. අපි කවදාවත් එවැනි මිලකට මුංඇට  විකුණලා නෑ”

“අපි මේ සැරේ හරිම සතුටෙන් ඉන්නේ, මොකද වන අලින්ගෙන් සතුන්ගෙන් බේරගෙන තමයි වගාව සිද්ධ කළේ. මේ සැරේ පොහොර  රසායනික ද්‍රව්‍ය මොනවත් තිබුණෙ නැහැ. ඒ නිසා අස්වැන්න ටිකක් අඩුයි. හැබැයි අස්වැන්න අඩු වුණාට කමක් නෑ මිල තියෙනවා. අපේ ජනාධිපතිතුමාට තමයි ගොඩක් ස්තුතිවන්ත වෙන්නෙ මේ වගේ මිල අපිට ලබාදීම ගැන.

දඹුල්ල කාංචන කුමාර ආරියදාස සහ නාවුල ඉන්දික අරුණ කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *