බඩඉරිඟු ඇතුළු අතිරේක භෝග වගා කරන තිරප්පනේ ගොවීන්ගේ ගැටලු සොයා බලයි

රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට වත්මන් රජය ගත් තීරණය සම්බන්ධයෙන් ගොවීන්ගේ පවතින මතය විමසා බැලීම සඳහා සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයේ බඩඉරිඟු ඇතුළු අතිරේක භෝග වගා කරන ගොවීන් හමුවී ඔවුන් සමඟ සාකච්ජා කර ගොවි බිම්ද නිරීක්ෂණය කරනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 75,000 කට ආසන්න භූමි ප්‍රමාණයක දිස්ත්‍රික්කය පුරා ගොවි ගෙවිලියන් 10,000ක් බඩ ඉරිඟු වගාව සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ලෙස වගා කිරීම සිදු කරනු ලබයි.

මාස් කන්නයේ වැසි ජලයෙන් බහුලව බඩඉරිඟු වගාව සිදු කරන අතර ඒවා මිනිස් පරිභෝජනයට, ත්‍රීපෝෂ නිෂ්පාදනය හා කුකුල් කෑම ඇතුළු සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අලෙවිය සිදු කිරීම මගින් උපයා ගන්නා මුදල එම ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. සුළු පරිමාණයෙන් සිදු කළ බඩ ඉරිඟු වගාව අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් අනුරාධපුර ප්‍රචලිත කිරීම සිදු කර ඇත.

එහිදී ගොවීන් කියා සිටියේ කාබනික පොහොර භාවිතා කර මීට පෙර බඩඉරිඟු වගා කර නොමැති බැවින්, ගොවීන් මහා පරිමාණයෙන් වගා කිරීමට බියක් දක්වන බවයි.එබැවින් පසුගිය වසරවල මෙන් විශාල බඩඉරිඟු අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි බවද ගොවීන් පැවසීය.පසුගිය කන්න වලදී මේ වන විට වගා කටයුතු සඳහා බිම් සකස් කළ නමුත් මේ වන තෙක් ගොවීන් හේන් සුද්ධ පවිත්‍ර කිරීමටවත් කටයුතු කර නොමැති බවද ගොවීන් පෙන්වා දුන්හ.

එහිදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාර්ථකවම බඩඉරිඟු වගා කළ අතර වගාව අත්හැරීමෙන් ගොවීන්ට ආර්ථික ගැටලු ඇතිවන බවත් රටේ ආහාර ගැටලු ඇතිවිය හැකි බවත්ය.ගොවීන්ට තිබෙන ගැටලු අදාළ බලධාරීන්ට ලබා දීමට තමා කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.රජය නයිට්‍රජන් දියර පොහොර ලබා දීමට කටයුතු කරන බැවින් නැවත වගා කටයුතු ආරම්භ කිරීමට හැකි බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. වගාවට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය සහ කාබනික වල් නාශක භාවිතයෙන් අස්වැන්න අඩු නොවන පරිදි වගා කටයුතු කළ හැකි බවද අමාත්‍යරයා පැවසීය.

අනතුරුව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා හා ගොවීන් පිරිසක් සමඟ ගොවීන් අතැර දමා ඇති බඩඉරිඟු හේන් නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ මහතා නිදහස් බඩඉරිඟු ගොවි සංසදයේ සභාපති ඒ.ටී.එම් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

news.lk ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *