ජාන මංකොල්ලය, ආගන්තුක දිලීර රෝග ආදී ප්‍රහාරයන් රැසකට මුහුණ දී ඇති බිබිලේ පැණි දොඩම් මේ වනවිට නව කෘමි උවදුරකට මුහුණදි තිබෙන බව වාර්තා වේ.
මේ වනවිට බිබිලේ දොඩම් අවාරය වන නමුත් යහමින් හටගෙන ඇති දොඩම් ඵලදාව මෙලෙස කෘමි උවදුරට මුහුණදී ඇත.
බුළුපිටිය, පිටකුඹුර, හමනව, නාගල, සේරව, නෙල්ලියද්ද, ගල්ගමුව යන ගම්මානවල දොඩම් වගාව බහුලව දක්නට තිබේ.
මෙවර අවාරයේ හටගත් දොඩම් ගෙඩිවල කිසියම් කෘමියකු යුෂ උරාබීම නිසා කුණු වී බිමට වැටෙන බව ගොවියෝ පවසති. සුදු පාට සළඹයකු දොඩම් ගස්වල විශාල වශයෙන් සිටින බව ගොවියෝ කියති.
මේ පිළිබදව බිබිල කොටගම ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරි සුනිල් දොඩම්පගේගෙන් විමසු විට ඔහු පැවසූවේ, “මේ දිනවල මේ ප්‍රදේශවල දොඩම් අවාරයේ හැදී තිබෙනවා. සලඹයෙක් තමයි ගෙඩියට හානි කරන්නේ. සවස 06ට 07ට විතර තමයි මේ සතා ඵලදාවට හානි කරන්නේ. කිසිම බෙහෙතක් නැහැ. ගිනි මැලයක් ගැසිය යුතුයි. සතාගේ තුඩ අඟල් දෙකක් විතර තියෙනවා. ගෙඩියට විදලා දවස් දෙකෙන් ගෙඩිය බිමට වැටෙනවා. කෘමිනාෂක නැහැ. ගොවීන් කළ යුත්තේ සවස් වෙද්දී වගා භුමිවල ගිනි මැල ගැසීමයි.” යනුවෙනි.