
වසවිසෙන් තොර ගොවිතැනක් සඳහා රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර පමණක් භාවිතා කරමින් දේශීය ගොවිතැන සම්පූර්ණයෙන්ම කාබනික වගාවක් බවට පරිවර්තනය කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙනඇති මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමුකොට බැලීම කාලෝචිත වේ.
ශ්‍රී ලංකාව තුළ වගාකටයුතු සඳහා කාබනික පොහොර භාවිතය පිළිබඳව විමසා බැලීමේදී පෙනීයන්නේ බොහොමයක් ගොවීන් දැනටත් රසායනික පොහොර සමඟ තම වගාබිම් හෝ ගෘහාශ්‍රිතව නිෂ්පාදනය කරගන්නා කාබනික පොහොර හෝ තම ප්‍රදේශයෙන් පහසුවෙන් සපයාගතහැකි කාබනික ද්‍රව්‍යයන් යම්යම් ප්‍රමාණවලින් තම වගාකටයුතු සඳහා භාවිතා කර ඇති බවයි. ඒමෙන්ම පසුගිය වසර කිහිපය තුළ දේශීය වෙළඳපොලෙහි කාබනික නිෂ්පාදන සඳහා වන ඉල්ලුම ඉහළ යාමත් සමඟ ගොවීන් කාබනික වගාවන් සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු අතර ඒහි ප්‍රතිඵලයක් ලෙස කාබනික පොහොර සඳහා රටතුළ වෙළඳපොලක් නිර්මාණය වීමෙන් බොහෝ පිරිසක් වාණිජමය මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනයට පෙළඹි ඇත.
කෙසේවුවද ශ්‍රී ලංකාව තුළ මේ වන විට වාණිජමය මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැනට දේශියව නිෂ්පාදනය කරන කාබනික පොහොර ප්‍රමාණය පිළිබඳව හෝ ඒම නිෂ්පාදකයින් පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා ගැනීම අසීරු වී ඇත. දේශීය කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම අත්‍යවශය වී ඇති මොහොතක දැනට රටපුරා ව්‍යාප්තව සිටින වාණිජමය මට්ටමේ කාබනික පොහොර නිෂ්පාදකයින්ගේ තොරතුරු කඩිනමින් රැස්කර ගැනීම කාබනික පොහොර නිෂ්පාදනය පුළුල් කිරීමේ ඉදිරි සැලසුම් සකස් කිරීිමේ ක්‍රියාවලිය සඳහාද වැදගත්වනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව දැනට සිදුකර ඇති පර්යේෂණ මගින් දේශීය කාබනික පොහොර නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා මහා පරිමාන නිෂ්පාදකයින් වැඩි වශයෙන් සම්බන්ධ වීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබේ. ඒ අනුව දැනට මෙම ව්‍යාපාරයේ නියැලී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට මහා පරිමාණ නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය මූල්‍ය හා යටිතල පහසුකම් සලසා දීමත් දැනට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ආයතන කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කරගැනීමත් දේශීය කාබනික පොහොර නිෂ්පාදනය ඉහල නැංවීමට කඩිනමින් ගතහැකි ක්‍රියාමාර්ග අතර වේ.
දේශීය වෙළඳපොලෙහි දැනට ඇති ප්‍රධානම කාබනික පොහොර වර්ගය ලෙස කොම්පෝස්ට් හඳුනාගත හැකි අතර , දියර කාබනික පොහොර නිෂ්පාදන කිහිපයක්ද මේවන විට වෙළඳපොළට හඳුන්වා දී ඇත. වෙළඳපොලෙහි හමුවන කොම්පෝස්ට් නිෂ්පාදන ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වෙන්කළ හැකිවේ. ඒනම් නාගරික ඝන අපද්‍රව්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට් හා අනෙකුත් කාබනික ද්‍රව්‍යයන් අම්‍රුව්‍ය ලෙස යොදාගනිමින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොහොරයි. කෙසේ වුවද බොහෝරටවල නාගරික අපද්‍රව්‍ය මඟින් නිපදවන කොම්පෝස්ට් සෘජුවම වගා කටයුතු සඳහා යොදාගැනීම අනුමත නොකරන අතර ඊට ප්‍රධාන හේතු ලෙස දක්වන්නේ ඒ්වායේ බැරලෝහ සාන්ද්‍රණය සාපේක්ෂව වැඩිවීම, බෝගවලට අත්‍යවශ්‍ය ප්‍රධාන පෝෂක ප්‍රශස්ත මට්ටමින් නොපැවතීම හා එම කොම්පෝස්ට් වල වැලි ප්‍රතිශතය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීමයි. කෙසේවුවද මෙම නාගරික අපද්‍රව්‍ය ක්‍රමවත්ව වෙන් කිරීමෙන් අනතුරුව කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගැනීමෙන් මෙම ගැටළු බොහෝදුරට අවම කර ගැනීමට හැකියාව පවතී.
එමෙන්ම නාගරික අපද්‍රවය වලින් නිපදවන කොම්පෝස්ට් වල සංයුතිය පරික්ෂාවට ලක්කොට අදාළ පෝෂක සැපයිය හැකි වෙනත් කාබනික ප්‍රභවයන් සමඟ මිශ්‍ර කිරීමෙන් පසුව ඒවා කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමෙන් කාර්යක්ෂම ප්‍රතිඵල ලබා ගත හැකි බව විවිධ පර්යේෂණයන් මඟින් පෙන්වා දී ඇත. එබැවින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිලධාරීන්ද නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සෘජුවම දායක කර ගැනීමෙන් කාෂිකාර්මික කටයුතු සඳහා යොදා ගත හැකි ඉහළ ගුණාත්මකබවකින් යුතු කාබනික පොහොර වෙළඳපොලට නිකුත් කිරීමට හැකියාව ලැබේ.
ශ්‍රී ලංකාව තුල වර්තමානය වනවිට කසල කළමනාකරණය ප්‍රධාන පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇති බැවින් එම කසල යොදා ගනිමින් නියමිත ප්‍රමිතියකින් යුතු කොම්පෝස්ට් නිෂ්පාදනය දිවයිනේ සෑම ප්‍රදේශයකම ආරම්භ කිරීමෙන් දේශීය කාබනික පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීමට වැඩි දායකත්වයක් ලබා දීමට හැකි වනවා සේම කසල කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කර ගැනීමටද උපකාරීවේ.
තවද අදවනවිට ලෝකයේ බොහෝ රටවල් සම්ප්‍රදායිකව කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගැනෙන අමුද්‍රවයන්ට අමතරව ඒ සඳහා භාවිත කළහැකි විවිධ ප්‍රභවයන් (උදා: මත්ස්‍ය කර්මාන්තයේ අපද්‍රවයන් , සත්ව නිෂ්පාදන සැකසුම් කර්මාන්තවල අපද්‍රවයන්, මුහුදු ඇල්ගේ) හදුනා ගෙන ඇති අතර දේශීයවද එවැනි අමුද්‍රවයන් යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කල යුතුවේ.වගාවට යොදනු ලබන පොහොර වල ගුණාත්මකභාවය එම වගාවේ අස්වැන්න ප්‍රමාණය තීරණය කරන ප්‍රධාන සාධක අතරින් එකකි. කුමන හෝ අමුද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කලද ඒවායේ නියමිත පෝෂකයන් නියමිත ප්‍රමාණයන්ගෙන් අඩංගු නොවන විටදී එවැනි කාබනික පොහොර යෙදීමෙන් අපේක්ෂිත මට්ටමේ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිවේ. එනිසා වෙළඳ පොලට නිකුත් කරන කාබනික පොහොරවල නියමිත ප්‍රමිතියක් පවත්වාගැනීම අත්‍යවශය වේ.
දැනට කොම්පෝස්ට් පොහොර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිර්ණායකයන් ඉදිරිපත් ඇති නමුත් එම ප්‍රමිති සහතිකය ලබාගැනීම කාබනික පොහොර අලෙවිකිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන බැවින් එම ප්‍රමිති සහතිකය ලබානොගත් කාබනික පොහොර නිෂ්පාදනද වෙළදපොලෙහි බහුලවේ.
කෙසේ වුවද ඉදිරියේදී මෙම තත්වය අවම කර ගනිමින් ගුණාත්මකභාවයෙන් යුතු කාබනික පොහොර වෙළදපොලක් නිර්මාණය කිරීම සඳහා මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලිය අනිවාර්ය කිරීමත්, නිරන්තරයෙන් එම නිෂ්පාදන ක්‍රියාවලීන් එම ප්‍රමිතිනට අදාලව සිදුවනවාද යන්න සොයා බැලීම සඳහා ක්‍රමවේදයක් සකස් කරගැනීමත්, අදාල ප්‍රමීතීන්ට අනුකූල නොවන නිෂ්පාදන වෙළඳපොලෙහි අලෙවි කිරීමට අවස්ථාවක් ලබා නොදීමටත්, මෙම ප්‍රමිතිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුකිරීම සඳහා අවම වශයෙන් දිස්ත්‍රික් මට්ටමින් හෝ අදාළ පහසුකම් සලසා දීම කෙරෙහිත් අවදානය යොමු කිරීම වැදගත්වේ.
කාබනික පොහොර භාවිතයේදී මුනුන පෑමට සිදුවන ප්‍රදානම ගැටළුවක් වන්නේ බෝගවල පෝෂක අවශ්‍යතා සැපයීමට ඒවා විශාල ප්‍රමාණවලින් වගබිම්වලට යෙදීමට සිදුවීමයි. නමුත් අද වනවිට ලෝකයේ බොහෝ රටවල මෙයට පිලියමක් ලෙස සාන්ද්‍රනයෙන් ඉහල විවිධ කාබනික දියර පොහොර වර්ග වෙළදපොළට හඳුන්වා දී ඇති අතර ඒවා භාවිතයට මෙන්ම ප්‍රවාහනයටද පහසු වන බැවින් එවැනි පොහොර නිෂ්පාදන ක්‍රම ලංකාව තුලද ප්‍රචලිත කිරීම තුලින් කාබනික පොහොර නිෂ්පාදනයට මෙන්ම භාවිතයටද වැඩි නැඹුරුතාවයක් ඇති කරගත හැකිවේ.
තවද එක් එක් බෝග කාණ්ඩවල පෝෂක අවශ්‍යතාවයන් පදනම් කරගනිමින් ඒ ඒ බෝග සඳහා සුවිශේෂිවු රසායනික පොහොර මිශ්‍රණයන් වෙළඳපොලෙහි මිලදීගැනීමට පැවතියද මේ වන විට දේශීය වෙළඳපොළෙහි ඕනැම බෝගයක් සඳහා භාවිතා කිරීමට ඇත්තේ එකම කොම්පෝස්ට් පොහොර මිශ්‍රණයකි. නමුත් මුළුමනින්ම කාබනික පොහොර යොදමින් වගා කටයුතු සිදුකිරීමේදි බෝගවල සියළුම පෝෂක අවශ්‍යතාවයන් එම කාබනික පොහොර මඟින් සැපයීමට සිදුවන නිසා ඒ ඒ බෝගවල පෝෂක අවශ්‍යතාවයන්ට අනුව විශේෂයෙන්ම නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් අවශ්‍යතාවය පදනම් කර ගනිමින් එක් එක් බෝග කාණ්ඩ සඳහා විශේෂිත වු කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත්වේ.
මේ වන විටත් වෙනත් රටවල එසේ එක් එක් බෝග කාණ්ඩ වලට සුවිශේෂි වු කාබනික පොහොර නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දී ඇත. එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයේදී භාවිත කරන සම්ප්‍රදායික ක්‍රමයන් වෙනුවට දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් හදුන්වා දීම, නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට අවශ්‍යවන යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමුකිරිම හා කාබනික පොහොර නිෂ්පාදකයින්ට ඒවා භාවිත කිරීමට දිරිගැන්වීම ආදියෙන් දේශීය කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට උපකාරීවේ.
දේශීය කෘෂිකාර්මික කටයුතු මුළුමනින්ම කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිදුකිරීමේදි ඒ සඳහා අවශ්‍ය වන මුළු කාබනික පොහොර ප්‍රමාණයේත් දැනට පවත්නා දේශීය කාබනික පොහොර නිෂ්පාදනයත් අතර විශාල පරතරයක් පවතින බැවින් කාබනික පොහොර සඳහා ඉදිරියේදී ඉහළ ඉල්ලුමක් සහ වෙළඳපොලක් නිර්මාණය වනු ඇත. ශ්‍රී ලංකාව තුළ දැනට පවත්නා නිරෝධායන නීතී හමුවේ කාබනික පොහොර ආනයනය කිරීමට අවස්ථාවක් නොමැතිඅතර ඒම නිරෝධායන නීතී ලිහිල් කොට හෝ කාබනික පොහොර ආනයනය ආරම්භ කිරීම වෙනත් ගැටලු රාශියකට මූලාරම්භයක් වීමට ඉඩ ඇති හෙයින් ශ්‍රී ලංකාව තුළදීම අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීම කෙරෙහි අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අවධානය යොමුකිරීම වැදගත්වේ.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් කාබනික පොහොර නිෂ්පාදකයින්, අමුද්‍රව්‍ය සපයන්නන්, අලෙවිකරන්නන් හා පාරිභෝගිකයින් මුහුණ පා ඇති ගැටළු හඳුනා ගැනීමටත්, ඒම ගැටලු අවම කර ගනිමින් දේශීය කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට ගතහැකි ක්‍රියාමාර්ග හඳුනා ගැනීමත් අරමුණුකර ගනිමින් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මඟින් “වාණිජමය මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනයේ අභියෝග හා ප්‍රවණතාවයන්” යන මැයෙන් පර්යේෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
නදීෂා මිහිරන්ති ඩයස්, පර්යේෂණ නිලධාරිනී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය