කෘෂිකර්මාන්තය වූ කලී දැඩි අවදානම් සහිත වූ කර්මාන්තයකි. කෘමි රෝග, වසංගත රෝග, දිලීර රෝග මෙන්ම කාලගුණයේ සිදුවන විවිධ අනපේක්ෂිත තත්ත්වයන් ද කෘෂිකර්මාන්තය කෙරෙහි සෘණාත්මකව බලපානු ලබයි. එසේම අස්වනු නෙළිමේ අවදියේදී, ඒචා අලෙවි කරගැනීමට නොහැකි තරමේ මිල පහළ යාමේ අවදානමට ද ඇතැම් විට කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට මුහුණ දීමට සිදු වේ.
මේ සියලු ආකරයෙන් සලකා බලන විට ගොවීන් දැඩි අවදානමක් සහිතව අඛණ්ඩව එහි නියැලෙමින් දේශීය පරිභෝජනයට අවශ්‍ය බත බුලත සපයමින් සිටී. නමුත් ඔවුන් එහි රදවා තබා ගැනීමට නිසි ක්‍රමවේදයක් දිගුකාලීනව නොසැලසුවහොත් ඉදිරියේදී ඔවුන් කෘෂිකර්මාන්තයෙන් ඉවත්වීමේ අවදානමක් පවතී.
කෘෂිකර්මාන්තයේ ආයෝජන අවධානම අවම කිරීමේ එක් උපක්‍රමයක් වශයෙන් ‘කෘෂිකාර්මික රක්ෂණ ක්‍රමය‘ හඳුන්වා දිය හැකිය. නමුත් දශක ගණනාවක සිට ක්‍රියාත්මක වන කෘෂිකාර්මික රක්ෂණ ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු මෙතෙක් ඉටුවී ඇද්ද යන්න ප්‍රශ්නාර්ථයක් වන්නේ ඒ කෙරෙහි ගොවි ප්‍රජාවගේ ස්වේච්ඡා සහභාගීත්වය ඉතාමත් අඩු මට්ටමක පැවතීමත්, කෘෂිකාර්මික රක්ෂණ ක්‍රමය කෙරෙහි ඔවුන්ගේ නිසි අවබෝධය අවම මට්ටමක පැවතීමත් හේතුවෙනි.
එසේ වුවත් කෘෂිකාර්මික රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවීන්ට සිදුවන වගා අලාභ හා හානි වෙනුවෙන් වාර්ෂිකව විශාල මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇති අතර ඇතැම් වර්ෂවල අය වූ වාර මුදල් ප්‍රමාණය ඉක්මවා වන්දි මුදල් ගෙවීම් සිදු කර තිබේ. මෙහි නව ප්‍රතිපත්තිමය තීන්දුවක් වශයෙන් 2018 වර්ෂයේ සිට රජය මඟින් වී ඇතුළු ප්‍රධාන භෝග පහක් ආවරණය වන පරිදි. අක්කරයකට රුපියල් 40,000.00 රක්ෂණ ආවරණයක් ලබා දීමට කටයුතු කර ඇත. නමුත් දීර්ඝකාලීනව මෙම තත්ත්වයන් ක්‍රියාත්මක වුවහොත්, විශාල වශයෙන් වගා හානි සිදුවන අවස්ථාවක එය රජයට දැරිය නොහැකි අනවශ්‍ය බරක් හා පීඩනයක් විය හැකිය. ඒ අනුව බලන විට ගොවීන්ගේ ඉල්ලුමෙන් ජනිත වූ කාර්යක්ෂම හා කඩිනම් රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාවය බොහෝ කලක සිට මතුවෙමින් පවතී.
ශ්‍රී ලංකාව ඇතුළු බොහෝරටවල ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික වගා රක්ෂණ ක්‍රමයන් වෙනුවට කාර්යක්ෂම හා ඵලදායී රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම සඳහා විවිධ රටවල සංවිධාන හා ආයතනවල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් දර්ශක මත පදනම් වූ කෘෂිරක්ෂණ ක්‍රමයන් හඳුන්වා දෙන ලදී.
දර්ශක මත පදනම් වූ කෘෂිරක්ෂණ ක්‍රමයන් අතරින් කාලගුණ වගා රක්ෂණය එක් ක්‍රමයකි. මෙහිදී එහි දර්ශක වශයෙන් වර්ෂාපතනය, උෂ්ණත්වය, සුලඟේ වේගය වැනි කාලගුණික දත්ත පදනම් කරගෙන ගොවීන්ට සිදුවන වගා හානි සඳහා වන්දි ගෙවීම් සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව ඇතුළු බොහොමයක් රටවල් මෙහිදී යොදා ගනු ලබන්නේ ‘වර්ෂාපතන දර්ශකයයි‘. යම් ප්‍රදේශයක සම්මත වර්ෂාපතනය දර්ශකයට සාපේක්ෂව එම ප්‍රදේශයට ඇතිවන වර්ෂාපතනයේ අඩු වැඩි වීම් අනුව වගා හානි සඳහා වන්දි ගෙවීම් සිදු කරයි.

කාලගුණික වගා රක්ෂණ ක්‍රමය 2010 වර්ෂයේ යල කන්නයේ සිට ශ්‍රී ලංකාවේ කුරුණෑගල හා කලුතර යන දිස්ත්‍රික්කවල ගොවීන් 570 දෙනෙකුගෙන් ආරම්භ විය. දිවයිනේ ප්‍රමුඛතම ආයතනයක් වන සණස රක්ෂණ සමාගම විසින් වී වගාව සඳහා මෙම කාලගුණික වගා රක්ෂණ ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මේ තුළින් අපේක්ෂා කරන ලද්දේ වැඩි වර්ෂාපතනය හෝ අඩු වර්ෂාපතනය හේතුවෙන් වගාවට සිදුවන හානි සඳහා ගොවි ප්‍රජාවට සහනයක් සැලසීමයි.
යම් ප්‍රදේශයක සම්මත වර්ෂාපතන දර්ශකය සහ වගා අදියරයට අයත් කාලය සඳහා කාලගුණ මධ්‍යස්ථානයේ නිරීක්ෂිත වර්ෂාපතන දර්ශකය අතර දැක්වෙන මිලිමීටර ප්‍රමාණයේ වෙනස සැලකිල්ලට ගෙන කාලගුණ වගා රක්ෂණයට දායක වී ඇති ගොවීන් සහා වන්දිගෙවීම සිදු කරනු ලබයි. මෙහි නිරීක්ෂණ වර්ෂාපතනය යනු ගොවි මහතාගේ කුඹුරට අදාළ කාළගුණ මධ්‍යස්ථානයේ සටහන්වන වර්ෂාපතන අගයයි. ඊට අමතරව දින හතරක් තිස්සේ අඛණ්ඩව පවතින වර්ෂා තත්ත්වයකදී ද (Flash rain) මේ මඟින් ආවරණය සපයයි. මේ ක්‍රමයේදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ වගා හානි තක්සේරුවක් සිදු කිරීම සඳහා ගොවි බිමට යාමට සිදු නොවීමයි. ඒ අනුව බලන විට මෙය මෙහෙයුම් වියදම් අවම, කාර්යක්ෂම හා පක්ෂපාතීත්වයෙන් තොර ක්‍රමයක් බැවින් සාධාරණ හා කාර්යක්ෂමව වන්දි ගෙවීම සිදු කළ හැකිය. සාම්ප්‍රදායික වගා රක්ෂණ ක්‍රමය හා සැසඳීමේදී කාලගුණ වගා රක්ෂණයක දැකිය හැකි ධනාත්මක මෙන්ම සෘණාත්මක කරුණු ද කිහිපයකි.
වගා හානි ඇස්තමේන්තුව සඳහා ක්ෂේත්‍රයට යායුතු නොවන බැවින් පරිපාලන හා මෙහෙයුම් පිරිවැය පහළ මට්ටමක පැවතීමත්, ඒ අනුව වන්දි ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් හා විනිවිදභාවයකින් යුක්ත වීමත් මෙහි පවතින ධනාත්මක කරුණු වශයෙන් පෙන්වාදිය හැකිය. එසේම මේ ක්‍රමය මඟින් ආවරණය වන්නේ වැඩි වර්ෂාව, අඩු වර්ෂාව මඟින් වගාවට සිදුවන හානි පමණක් වීම හා දැනට සීමිත බෝග ප්‍රමාණයක් පමණක් ආවරණය වීම (වී, තේ, පොල්) ඉහළ ආරම්භක පිරිවැයක් පැවතීම මෙහි පවතින සෘණාත්මක ලක්ෂණ කිහිපයකි.
කාලගුණ වගා රක්ෂණ ක්‍රමය මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකට සීමා වී ඇත. මඩකලපුව, වව්නියාව ඒ අතර ප්‍රධාන වේ. කෙසේ නමුත් කාලගුණ වගා රක්ෂණ ක්‍රමය හඳුන්වා දී වසර දහයක් පමණ ගත වී ඇතත් සමස්ථ වී ගොවීන්ගෙන් මේ සඳහා දායක වී ඇත්තේ 1%කටත් වඩා අඩු ප්‍රමාණයකි (0.5%). මෙයින් ගම්‍ය වන්නේ මෙම ක්‍රමය තවමත් ගොවීන් අතර ප්‍රචලිත වී නොමැති බවයි.
මෙහිදී ආයතනික අංශයෙන් බලන විට ගැටලු හා බාධක රාශියක් පවතී. නිසි ලෙස ක්‍රියාත්මක වන කාලගුණ මධ්‍යස්ථානවල හිගතාවය සහ කාලගුණ මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීම, නිසි පරිදි දත්ත ලබා ගැනීමේ අපහසුතාවය, වසර 30කට පෙර දත්ත ලබාගැනීමේ අපහසුතාවය, මෙහිදී ප්‍රධාන වේ. විවිධ නවීන තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් කාලගුණික රක්ෂණ ක්‍රමය ජනප්‍රිය කරවීම සඳහා සණස රක්ෂණ සමාගම මෙන්ම, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයද වර්තමානයේ උත්සුක වෙමින් සිටී.
සාම්ප්‍රදායික රක්ෂණ ක්‍රමයේ පවතින බොහෝ අඩුපාඩු මගහරවා ගනිමින් කාලගුණික වගා රක්ෂණ ක්‍රමයේ පවතින ධනාත්මක ලක්ෂණ ද, සාම්ප්‍රදායික රක්ෂණ ක්‍රමයේ පවතින ධනාත්මක ලක්ෂණ ද අවධානයට ලක් කරමින් ඒකාබද්ධ වගා රක්ෂණ ක්‍රමයක් සැකසීම තුළින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කෘෂිකාර්මික රක්ෂණ ක්‍රමයක් කෙරෙහි අවතීර්ණ වීමේ හැකියාව ඉදිරියේදී පවතී.
එසේම කෘෂිකාර්මික රක්ෂණය කෙරෙහි නිසි අවබෝධයක් හා එහි වැදගත්කම පිළිබඳව ගොවි ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ඔවුන්ගේ ස්වේච්ඡා සහභාගීත්වය ද මේ කෙරෙහි ලබා ගත හැකි ය. ඒ තුළින් ඉල්ලුමෙන් ජනිත වූ රක්ෂණ ක්‍රමයක් නිර්මාණය වීමෙන් ගොවි ජනතාවගේ වගා හානි සඳහා නිසි පරිදි වන්දි ගෙවීමේ ක්‍රමයක් ඇති කර ගත හැකි අතර වගා හානියක දී රජයට දැරීමට සිදුවන අනවශ්‍ය පීඩනය ද අවම කර ගැනීමේ හැකියාව පවතී.
කොවිඩ් 19 වසංගතය හමුවේ දේශීය කෘෂිභෝග වගාවන් කෙරෙහි නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින මෙම කාලය තුළ දේශීය කෘෂිකර්මය සුරක්ෂිත කිරීමේ මෙහෙවර උදෙසා කෘෂි රක්ෂණයට ඉමහත් මෙහෙයක් කළ හැකිව පවතී. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට අනුව පසුගිය වසර කිහිපය තුළ මෙන්ම ඉදිරියේදී ද කාලගුණයේ සිදුවන අනපේක්ෂිත වෙනස්වීම් ඉහළ යා හැකිය.
ඒ අනුව එම තත්ත්වයන්ට ඉදිරියේදී මුහුණ දීම සඳහා කාලගුණික වගා රක්ෂණ ක්‍රමය ඉතාමත් කාලෝචිත මෙන්ම ඉතාමත් කාර්යක්ෂම ක්‍රමයක් බවට පත්කරගත හැකිය. ඒ සඳහා සියළුම අදාළ රාජ්‍ය .ආයතන හා පෞද්ගලික අංශයන් ඒකාබද්ධව වැඩ පිළිවෙළක් මේ සඳහා දියත් කිරීම තුලින් එහි පවතින බොහෝ අඩුපාඩු හා දුර්වලතා මගහරවා ගැනීමේ හැකියාව පවතී. එසේම කෘෂිකර්මයට අදාළ සියලුම දත්ත හා තොරතුරු විනිවිදභාවයකින් යුක්තව ලබා ගැනීම සඳහා ඒකාබද්ධ දත්ත මධ්‍යස්ථානයක් පවත්වා ගැනීම ද බෙහෙවින් කාලෝචිතය.

රෝෂිණී රඹුක්වැල්ල – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය