‘සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය‘ අනුව වී, වියළි මිරිස්, රතු ලූනු, ලොකු ලූනු, ඇතුළු අතිරේක භෝග 13කින් රට ස්වයංපෝෂිත කිරීම අපේක්ෂා කෙරේ. එකී අරමුණ ජය ගැනීම වෙනුවෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් ‘අහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශේෂ වැඩසටහන‘ නමින් විශේෂ වැඩපිළිවෙළක් ද දියත් කර ඇත.

මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛ භෝගයක් වන දේශීය රතු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ එහිදී මුහුණ දීමට සිදුවන අභියෝග ජය ගැනීමට මග පෙන්වීමක් වන මෙම ලිපිය පදනම් වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා සුසිලා ලූර්දු මහත්මිය විසින් සිදුකරන ලද ‘මොණරාගල දිස්ත්‍රික්කයේ රතුලූනු නිෂ්පාදන පද්ධතිය : තිරසරභාවය පිළිබඳ ගැටලු සහ වැඩි දියුණු කිරීමේ අවස්ථා‘ යන සමාජ – ආර්ථික පර්යේෂණයේ සොයා ගැනීම් මතය.
රතුලූනු (Allium Cepa L) කුළුබඩු භෝගයක් වන අතර එය ශ්‍රී ලාංකිය ජනයාගේ ආහාරයට එක්කර ගන්නා එළවළු භෝගයක් මෙන් ම ඖෂධීය බෝගයක් ලෙසින් ද ඉතා වැදගත්වේ. වියළි කලාපීය ප්‍රදේශයන් හි හා මුහුදු මට්ටමේ සිට මීටර 2000 දක්වා උස් බිම්වල රතුලූනු බහුල ලෙස වගා කිරිමේ හැකියාව පවතී. රතුලූනුවල වර්ධනයට අධික වර්ෂාව අහිතකර බැවින් එය මිලිලීටර් 750 නොඉක්මවිය යුතුය. නමුත් වර්ධක අවධිය තුළ තෙත් සිසිල් කාලගුණයක් ද බල්බිකා මෝරන අවස්ථාවේ සහ අස්වනු සකසන විට වියළි කාලගුණයක් ද අවශ්‍ය වේ. ගල් බොරලු හා ජලය රඳා පවතින මැටි පස සුදුසු නොවන අතර හොඳින් ජලය බැස යන වැලි සහිත ලෝම පස හා මැටි සහිත ලෝම පස යන පරාසය තුළ පවතින පසක් මීට සුදුසු වේ. වර්ෂා ජලයෙන් මෙන්ම අමතර ජල පහසුකම් හා උස්සාන ජල සම්පාදනයෙන් රතු ලූනු වගාව සිදු කෙරේ. නිර්දේශිත බීජ ප්‍රභේද ලෙස වර්තමානයේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ, යාපනය දේශීය, තින්නවේලි රතු, වෙල්ලාරයි, වේදාලම් සහ මොනරාගල දිස්ත්‍රික්කයට ආවේනික ‘තෙළුල්ල‘ වරණයයි (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, 2020).
ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශ, ඉලක්ක සහ ප්‍රගතිය
ආර්ථිකමය වශයෙන් ඉහළ වටිනාකමක් උසුලන රතුලූනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්තව පැවතියේ යාපනය අර්ධද්වීපයේ වුවත් 90 දශකයෙන් පසුව ඇරඹි යුධමය වාතාවරණය නිසා එහි නිෂ්පාදන තත්ත්වය යම් පසුබෑමකට ලක්විය. එම තත්ත්වය නිසා පුත්තලම (කල්පිටිය) ආශ්‍රිත රතුලූනු වගා තීරය ඉහළ නිෂ්පාදන තත්ත්වයක් පෙන්නුම් කරමින් ඉදිරියට පැමිණි නමුත් වර්තමානය වන විට නැවතත් යාපනය ආශ්‍රිත ප්‍රදේශයන් හි අස්වැන්න ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.
වගු අංක 1: ප්‍රධාන රතුලූනූ නිෂ්පාදන ප්‍රදේශ, ඉලක්ක සහ ප්‍රගතිය
දිස්ත්‍රික්ක | ඉලක්කගත වපසරිය(හෙක්.) | 2019 ජුනි මාසය වන විට වගා ප්‍රගතිය | අපේක්ෂිත නිෂ්පාදන ප්‍රමාණය (මෙ.ටො.) | |
වගා කළ වපසරිය (හෙක්.) | ඉලක්කගත වපසරියේ ප්‍රතිශතයක් ලෙස (%) | |||
යාපනය | 1870 | 1223 | 66 | 13644 |
පුත්තලම | 1010 | 351 | 35 | 6458 |
මුලතිව් | 456 | 51 | 12 | 574 |
වව්නියා | 400 | 401 | 101 | 4880 |
ත්‍රිකුණාමලය | 249 | 203 | 82 | 2479 |
අනෙකුත් ප්‍රදේශ | 356 | 93 | 27 | 913 |
එකතුව | 4341 | 2322 | 54 | 28948 |
මූලාශ්‍රය: http://www.harti.gov.lk
ප්‍රධාන රතුලූනූ නිෂ්පාදන ප්‍රදේශයන් හි ඉලක්කගත වගා වපසරිය සහ ප්‍රගතිය පිළිබඳ සැලකිලිමත් විමේ දී රතුලූනූ නිෂ්පාදනයෙන් ඉදිරියෙන් සිටින යාපනය සහ පුත්තලම වගා ඉලක්කවලට සාපේක්ෂව වගා කර ඇති භූමි ප්‍රමාණය පිළිවෙළින් හෙක්ටයාර 66%ක් සහ 35%ක් වේ (වගු අංක 1). මෙම ප්‍රධාන වගා ප්‍රදේශයන් හි ඉලක්ක සම්පූර්ණ වීමට නම්, පිළිවෙළින් භූමි ප්‍රමාණය හෙක්ටයාර 34%ක් සහ 65%ක් දක්වා සපුරා ගැනීමේ අවශ්‍යතාවය පවතී.
ප්‍රධාන රතුලූනූ නිෂ්පාදන ප්‍රදේශ අතර වව්නියාව හැර මුලතිව්, ත්‍රිකුණාමලය මෙන් ම මොනරාගල වැනි දිස්ත්‍රික්ක ඇතුළත් අනෙකුත් ප්‍රදේශවල වගා ඉලක්ක සපුරා ගැනීමට නම් තව දුරටත් වගා කළ භූමි ප්‍රමාණය ඉහළ යෑමේ අවශ්‍යතාවයක් පවතී. නිෂ්පාදන ප්‍රමාණය සහ ඵලදායිතාවය ඉහළ නංවා ගැනීම වර්තමානයේ රතු ලූනු වගාවේ පවතින අභියෝගයවේ. මෙම අභියෝගයන්ට මුහුණ දීමේ දී ගොවීන්ගේ පාර්ශ්වයෙන් පවත්නා ගැටලු මෙන්ම ඊට අදාළ සහය යාන්ත්‍රණයන් හි පවත්නා ගැටලු හඳුනා ගැනීමත් ඊට විසඳුම් සෙවීමත් අත්‍යවශ්‍ය කාරණයක් වේ.
නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අනුව වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු පලතුරු, මිරිස්, ලූනු, අර්තාපල් ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණය යන විෂයයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයට පැවරී ඇත. ඒ අනුව මෙම විෂයයන් සම්බන්ධයෙන් වූ සුවිශේෂී ප්‍රමුඛතා 16, ගොවියාට සාධාරණ මිලක්, සෞඛ්‍යාරක්ෂිත ආහාර, කෘෂි අස්වනු ඉහළ නැංවීම, බීජවලින් ස්වයංපෝෂිත වීම, පසු අස්වනු කළමනාකරණය නව්‍ය තාක්ෂණය සහ ජල කළමනාකරණය යනුවෙන් කාණ්ඩ 7ට ගොනු කර ඇත. රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂයයන් යටතේ වූ බෝගයක් වූ ලූනු වගාව සම්බන්ධයෙන් මෙම කාණ්ඩ 7ට අදාළ තත්වයන් වෙත ළඟා වීමේ දී ලොකු ලූනු මෙන්ම රතු ලූනු වගාව සම්බන්ධයෙන් ද වන අවධානය ඉතා වැදගත් වේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්යේෂණ , සිදු කෙරී ඇති පර්යේෂණයන් හි සොයා ගැනීම් ජනගත කිරීම වඩාත් කාලෝචිත වේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ තෙළුල්ල ප්‍රදේශය විශේෂ රතුලූනු වගා පද්ධතියක් ලෙස ප්‍රවර්ධනය වීම
මොනරාගල දිස්ත්‍රික්කය වී වගාව, එළවළු හා පලතුරු වගාවට අමතරව ක්ෂේත්‍ර බෝග වගාව සඳහා ඉහළ දායකත්වයක් සපයන දිස්ත්‍රික්කයක් වන අතර බහුතරයක් ගොවීන් ගොවිපළ මට්ටමේ දී බෝග විවිධාංගිකරණය කිරීම මෙහි ආවේනික ලක්ෂණයකි. අතිරේක ආහාර බෝග වගාව තුළ මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, උඳුවලට අමතරව රතුලූනු වගාව සඳහා ද ඉහළ වැදගත්කමක් දිස්ත්‍රික්කය තුළ පවතී.
ශ්‍රී ලංකාවේ රතුලූනු නිෂ්පාදනයේ දී යාපනය අර්ධද්වීපය, පුත්තලම, වව්නියාව වැනි දිස්ත්‍රික්ක වැදගත් වන අතර මොණරාගල දිස්ත්‍රික්කයේ තෙළුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශය විශේෂිතව සකස් වු නිෂ්පාදන පද්ධතියක් ලෙසින් රතුලූනු වගාව සඳහා වැදගත්කමක් උසුලනු ලබයි. ශ්‍රී ලංකාවේ රතුලූනු වගා කරන අනෙකුත් ප්‍රධාන ප්‍රදේශයන්ට සාපේක්ෂව “පුංවි යාපනය” නමින් ප්‍රචලිත මොණරාගල දිස්ත්‍රික්කයේ තෙළුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශය විශේෂ වීමට මූලික හේතුව වන්නේ, වසර ගණනාවක පටන් ගිනිකොණදිග වියළි කලාපීය ප්‍රදේශයේ මොණරාගල දිස්ත්‍රික්කයේ රතුලූනු වගාව විශේෂ නිෂ්පාදන පද්ධතියක් ලෙසින් තෙළුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශය තුළ ප්‍රවර්ධනය වීමයි.
තෙළුල්ල රතුලූනු වගාව විශේෂ වගා පද්ධතියක් ලෙසින් ප්‍රවර්ධනය වීම ඇරඹුණේ, 1980 දශකයේ දී පමණ වේ. තෙළුල්ල හා ඒ අවට ගම්මානයන් හි ගොවීහු තම පරිභෝජන අවශ්‍යතාවය සඳහා ඔවුන් විසින් හඳුනාගත් විශේෂ ක්‍රමවේදයකට අනුව ගෙවත්තේ හෝ හේනේ පැවති විශාල තුඹස් යම් මට්ටමකට උස්ව සිටින සේ සමතලා කොට වෙනත් ප්‍රදේශවලින් මෙම ප්‍රදේශයට එළවළු මිල දී ගැනීමට පැමිණි වෙළෙන්ඳන්ගෙන් ලබාගත් රතුලූනු බීජ ඒ මත වගා කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් හා කෙරුණු සාකච්ඡාවල දී පැහැදිලි වු ආකාරයට යාපනය ප්‍රදේශයෙන් පැමිණි වෙළෙඳුන්ගෙන් යාපනය දේශීය හෙවත් “ජැෆ්නා ලෝකල්” නම් බීජ ප්‍රභේදය මෙම ප්‍රදේශයේ ගොවීන් විසින් ලබා ගෙන ඇත.
පසුකාලීනව තෙළුල්ල ගොවීන් එම බීජ දිගින් දිගටම භාවිතා කරමින් “තෙළුල්ල වරණය” (Thelulla Selection) යන නාමයෙන් හඳුන්වා ගෙන ඇත. තුඹසට අයත් පස වර්ෂා කාලයටත් දිගු වියළි භාවයක් රැකගැනීමේ සමත්කමක් දැක්වීම රතුලූනු වගාවට වඩාත් හිතකර තත්ත්වයක් වු නිසා ගොවීන්ට සතුටුදායක ඵලදාවකට හිමිකම් කීමේ හැකියාව ලැබී ඇත. මෙසේ අඛණ්ඩව රතුලූනු වගාවේ නියැළීමෙන් එම ප්‍රදේශය තුළ රතුලූනු වගාවට ඉහළ විභවයක් පවතින බවට රජයේ නිලධාරීන් මෙන් ම ගොවීන් ද හඳුනාගත් අතර 1990 දශකය වන විට ප්‍රදේශය තුළ ප්‍රවර්ධනය වු රතුලූනු නිෂ්පාදන පද්ධතිය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිණි.
මෙකල යුධමය වාතාවරණයක් පැවති නිසා යාපනය අර්ධද්වීපයේ රතුලූනු නිෂ්පාදනය අඩාල වීමෙන් වෙනත් ප්‍රදේශයන්හි රතුලූනු වගා විභවයන් දියුණු කිරීමේ අපේක්ෂාවන් රජය සතු වු බැවින් ඉන්දියාවෙන් ගෙන්වන ලද රතුලූනු බීජ තෙළුල්ල ප්‍රදේශයේ ගොවීන්ට බෙදා දී ඇත. එයින් රතුලූනු නිෂ්පාදනය හා වගා වපසරිය ද යම් ආකාරයකින් ඉහළ මට්ටමකට අවතීර්ණ විය. ඒ අනුව”පුංචි යාපනය” යන නමින් තෙළුල්ල ප්‍රදේශය හඳුන්වා දීමට තරම් ශ්‍රී ලංකාවේ සමස්ත රතුලූනු නිෂ්පාදනයට එකල මොනරාගල දිස්ත්‍රික්කයෙන් සැපයු නිෂ්පාදන දායකත්වය ඉහළ මට්ටමක පැවති බවට කරුණු අනාවරණය වී ඇත.

“පුංචි යාපනය” – වර්තමාන තත්ත්වය
රතුලූනු නිෂ්පාදන පද්ධතිය තුළ වෙනත් සමාජ-ආර්ථික හා පාරිසරික කරුණු ගණනාවකගේ බලපෑමෙන් වර්තමානය වන විට යට කී තත්ත්වයෙහි වෙනසක් පෙන්නුම් කරමින් සමස්ත රතුලූනු නිෂ්පාදනයට මොණරාගල තෙළුල්ල ප්‍රදේශයේ දායකත්වය සාපේක්ෂව පහළ බැස ඇත. යුධමය වාතාවරණය පහව යෑමෙන් නැවත ප්‍රතිෂ්ඨාපිත යාපනය අර්ධද්වීපයේ නිෂ්පාදනය සඳහා වන ඉල්ලුම ඉහළ යාමත්, යල කන්නයේ පවතින උග්‍ර ජල හිඟය නිසා ජල සම්පාදනයට වන පිරිවැයත්, මහ කන්නයේ වර්ෂාව වැඩිවීමෙන් ඇති වන දිලීර හා පළිබෝධ නාශක පිරිවැයත්, ශ්‍රම පිරිවැයත් හේතුවෙන් රතුලූනු ගොවීන්ගේ ශුද්ධ ලාභය ඉතා පහළට ඇද දමා ඔවුන්ගේ ආර්ථික තිරසරභාවය අවිනිශ්චිත තත්ත්වයකට පත් වී ඇත. පසෙහි සාඵල්‍යතාව හීනවීම, වන අලි තර්ජනය වැනි සමාජීය හා පාරිසරික දුෂ්කරතාවන්ගෙන් ද රතුලූනු ගොවීන් පීඩා විඳින බව අනාවරණය විය. මෙවන් පසුබිමක් මත වෙළඳපළ තුළ සිල්ලර මිල ගණන් හා සැසදීමේ දී ගොවියාට (නිෂ්පාදකයාට) රතුලූනු කිලෝග්‍රෑම් 1කට ලැබෙන මිල පහළ මට්ටමක පවතී. මේ සඳහා සමාජීය, ආර්ථික හා පාරිසරික වශයෙන් බලපාන හේතු රාශියක් පවතී. බෝග නිෂ්පාදන පද්ධතීන් තුළ පවතින මෙම සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු හඳුනාගැනීමකින් තොරව එම නිෂ්පාදන පද්ධතීන් හි තිරසාරභාවය අපේක්ෂා කිරීම නිෂ්ඵල වේ.
මෙවැනි පසුබිමක කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මෙම ප්‍රදේශයන් හි රතුලුනු ඇතුළු අතිරේක බෝග වගාවන් සහ එළවළු සඳහා ක්‍රියාත්මක කළ පස් අවුරුදු දේශගුණික විපර්යාස සුහුරු ව්‍යාපෘතිය(Climate change Smart Project) ප්‍රදේශයේ රතුලුනු වගාව සම්බන්ධයෙන් වර්තමානය වන විට යම් සාධනීය තත්වයක් නිර්මාණය කර ඇත. තෙළුල්ල ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් අන්තර් පළාත් වසම් වූ පුබුදුවැව, මහආර සහ වෙහෙර යාය ගම්මානවලත් පළාත් වසම් වු තෙළුල්ල ජනපදය, ඇතිලිවැව, තෙළුල්ල, බලහරුව, කුඩාඔය,දෙබරාව සහ කිතුල්කොටේ යන වසම්වලත් 2020 යල කන්නය සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් රතුලූනු වගාව ක්‍රියාත්මක කර ඇත. මේ සදහා “යාපනය දේශීය” බීජ ලබා දී ඇත. පෙර වගා කන්නවලට සාපේක්ෂව මෙම ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ රතුලූනු ගොවීන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට සමත් වී ඇත(වගු අංක 2). එසේ වුවත් මෙවර ගෝලීය වසංගතයේ බලපෑම හේතුවෙන් සැම දා මුහුණපෑමට සිදුවන වෙළඳපොළ ගැටලුවට වෙනත් මුහුනුවරකින් මුහුණ දීමට ගොවීන්ට සිදු වී ඇත.
වගු අංක 2: තෙළුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශයේ පළාත්/අන්තර් පළාත් වසම්වලට අයත් රතුලූනූ වගා වපසරිය සහ අස්වනු ප්‍රමාණය – 2017 යල සිට 2020 යල
වගා කන්නය | පළාත් ප්‍රදේශ | අන්තර් පළාත් ප්‍රදේශ | ||
වගා වපසරිය(හෙක්.) | මුළුඅස්වැන්න (මෙ.ටො.) | වගා වපසරිය(හෙක්.) | මුළු අස්වැන්න (මෙ.ටො.) | |
2017 යල | 20.0 | 192 | 5.5 | 52.8 |
2017/2018 මහ | 3.9 | 37.4 | 3.9 | 37.4 |
2018 යල | 6.1 | 58.5 | 2.4 | 23.04 |
2018/2019 මහ | 8.8 | 84.4 | 2.4 | 23.04 |
2019 යල | 4.0 | 38.4 | 0.2 | 1.92 |
2019/2020 මහ | 1.6 | 15.3 | 1.0 | 9.6 |
*2020 යල | 25.3 | 242.8 | 12.8 | 122.88 |
මූලාශ්‍රය : තෙළුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය, 2020 දෙසැම්බර් 16
* දේශගුණික විපර්යාස සුහුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක විම.
ගැටලු මොනවාද ?
කෙසේ වුව ද තෙළුල්ල රතුලූනු වගා පද්ධතියේ තිරසාරභාවය තහවුරු නොවීමට බලපාන ගැටලු රාශියක් පවතින අතර ඒවාට තිරසර විසඳුම් ලැබේ නම් ප්‍රධාන රතුලූනු වගා ප්‍රදේශයන්ට අමතරව විකල්ප රතුලූනු වගා ප්‍රදේශ ලෙසින් මෙම විශේෂ රතුලූනු වගා පද්ධතිය දේශීය ආර්ථිකයට ඉහළ වටිනාකමක් එක් කරනු ඇත.
භෝග නිෂ්පාදන අංශය තුළ අතිරේක ආහාර බෝගයන් හි නිෂ්පාදනය හා ඵලදායීතාවය ඉහළ නැංවීමට නිවැරදි සැලසුම් සකස් කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආර්ථික, සමාජීය හා පාරිසරිකව බෝග නිෂ්පාදකතාවයට බලපාන හිතකර හා අහිතකර තත්ත්වයන් හඳුනා ගැනීමේ අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය කෙරෙන විද්‍යාත්මක තොරතුරු ලබා දීම සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ගෝලීය විචලතා හමුවේ තිරසරභාවය සඳහා කෘෂි පර්යේෂණ – ප්‍රතිපත්ති – තාක්ෂණික නිලධාරින්ගේ ධාරිතා සංවර්ධනය සඳහා වු පර්යේෂණ ආයතනයේ (Capacity Development of Agrarian Research – Policy –Technology Personnel in Sri Lanka on Global Change & Sustainability- APN) මූල්‍ය අනුග්‍රහය ද සහිතව ගිනිකොණදිග වියළි කලාපයේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් තෙළුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශයේ රතුලූනු වගා පද්ධතිය අධ්‍යයන ප්‍රදේශය ලෙස තෝරා ගනිමින් සිදු කළ අධ්‍යයන අනාවරණයන් අනුව තෙළුල්ල රතුලූනූ නිෂ්පාදන පද්ධතියේ තිරසාරභාවය සඳහා බලපාන ප්‍රධාන ගැටලු සහ ඒ සඳහා වූ පිළියම් පහත සාකච්ඡා කෙරේ.
තෙළුල්ල රතුලූනූ නිෂ්පාදන පද්ධතිය තුළ වගා කෙරෙන රතුලූනු විශේෂය සඳහා වෙළඳපොළ තුළ පවතින්නේ අඩු ඉල්ලුමක් වීම රතුලූනූ වගා කරන ගොවීන්ට පවතින ප්‍රධාන ගැටලුවක් වේ. මේ සඳහා බලපාන හේතුවක් වන්නේ, තෙළුල්ල වරණය රතුලූනු ප්‍රභේදය වෙළඳපළ තුළ පාරිභෝගික ආකර්ෂණය පැහැර ගැනීමට සමත් නොවීමයි. යාපනය, කල්පිටිය වැනි ප්‍රදේශවලින් වේදාලන් වැනි පාරිභෝගික ආකර්ෂණය වැඩි වශයෙන් පවතින රතුලූනු යුධමය වාතාවරණය පහව යෑමත් සමඟ වෙළඳපළට වැඩියෙන් පැමිණි නිසා පාරිභෝගිකයින්ගේ ඉල්ලුම අඩු විම සිදු වේ. මෙම තත්වයට විසඳුම් ලෙස තෙළුල්ල රතු ලූනූ ගොවීන් තම අස්වනු ගබඩා කර තබා ගනිමින් ප්‍රධාන රතුලූනු වගා ප්‍රදේශයන් හි රතුලූනු වෙළඳපොළට පැමිණීම හිඟ වන විට තම අස්වැන්න වෙළඳපොළට මුදා හැරීමට හුරු වී සිටිති. ගබඩා කර තබා ගැනිමේ පහසුකම් නොමැති විට මෙම විසඳුම ද ගැටලුකාරී තත්වයකට මඟ පාදනු ලබයි.
මේ හා බැඳුනු තවත් ගැටලුවක් වන්නේ, නව බීජ ප්‍රභේද හඳුන්වා දීම අවම වීමයි. වර්තමානය වන විට මෙම ප්‍රදේශයට නව බීජ ප්‍රභේදයක අවශ්‍යතාව දැඩිව පවතී. පෙනුම ආකර්ශණීය නොවුව ද රසය සහ ගබඩා කර තබා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමේ පැවතීම තෙළුල්ල වරණය රතුලූනු ප්‍රභේදයේ විශේෂත්වය වේ. එසේ වුවත් මෙම ප්‍රභේදය වඩාත් පැරණි බැවින් නව බීජ ප්‍රභේදයක අවශ්‍යතාවය පැන නැගී ඇත. මේ සඳහා විසඳුම් ලෙසින් වෙනත් බීජ ප්‍රභේද ගොවීන්ට හඳුන්වා දීම සිදු කර තිබුණ ද ඒවා ප්‍රදේශයේ තත්වය අනුව නොගැළපෙන බව නිලධාරීන්ගේ හා ගොවීන්ගේ අදහසයි. නව බීජ විශේෂයක් හඳුන්වා දෙන්නේ නම් එයින් ලැබෙන අස්වැන්න කල් තබා ගත හැකි වීම ඉතා වැදගත් වේ. වෙළදපොළ තුළ තරඟකාරීත්වයක් පවතින අස්වැන්නක් ලැබීමට ප්‍රදේශයට ගැළපෙන වැඩි දියුණු කළ බීජ ප්‍රභේද වගා කිරීම සඳහා ගොවීන්ගේ කැමැත්තක් පවතින අතර ඒ සඳහා ඔවුහු රාජ්‍ය අනුග්‍රහය අපේක්ෂා කරති. ඒ අනුව මෙම විශේෂිත වගා පද්ධතියට ගැලපෙන නව බීජ විශේෂ පිළිබඳ පර්යේෂණ සිදු කිරීම අවශ්‍ය බව අධ්‍යයනය අනුව නිගමනය කළ හැකිය.
අනෙක් අතට ශ්‍රම පිරිවැය, පොහොර රසායනික ද්‍රව්‍ය සඳහා වන පිරිවැය, ජල හිඟයට පිළියම් ලෙස වතුර පොම්ප කිරීම වැනි කාර්යයන්හි දී බලශක්ති (විදුලිය) පිරිවැය ඉහළ යෑමෙන් ගොවියා ලබන ශුද්ධ ලාභය අඩුවීම ද පවතින ගැටලුවකි. පැළ මැක්කා, ලූනු කොළ කන දළඹුවා, බල්බ කුණු වීම, දම් පැල්ලම් රෝගය සහ කොළ දැවීමේ රෝගය (ඩිස්කෝ රෝගය) අධ්‍යයන ප්‍රදේශය තුළ යල මහ දෙකන්නයේ ම රතුලූනු වගාව ආශ්‍රිතව පවතින දිලීර හා පළිබෝධ හානි ලෙස හඳුනාගත හැකි වේ. මේ සඳහා ගොවීන්ට කෘමි හා පළිබෝධනාශක වැඩි වශයෙන් භාවිතා කිරීමට සිදු වන අතර ඊට අමතරව වල්නාශක සඳහා ද ඉහළ පිරිවැයක් දරනු ලබයි. රතුලූනු වගාව ශ්‍රම සූක්ෂම වගාවක් බැවින් වගාව ආරම්භයේ පටන් අස්වැන්න නෙළීම සහ සකස් කිරීම ආදී කටයුතු සඳහා පවුලේ ශ්‍රමයට අමතරව කුලී ශ්‍රමය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි. එයට හේතු වී ඇත්තේ වර්තමානයේ ගොවි පවුල්වල සාමාජිකයින් සංඛ්‍යාව සාපේක්ෂව ඉතා අඩු වීමයි. සමස්තයක් ලෙස අධ්‍යයන ප්‍රදේශය තුළ පවුලේ සාමාජික සංඛ්‍යාවේ සාමාන්‍යය අගය04කි. වර්තමානයේ වී වගාව ඇතුළු බොහෝ වගාවන් ශ්‍රමය අඩුවෙන් භාවිතා කළ හැකි ක්‍රමවේදයන් වෙත යොමු වුව ද රතුලූනු වගාව තවදුරටත් ශ්‍රම සූක්ෂම තත්ත්වයේ ම පැවතීමෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇත.

ගැටලු ජය ගැනීමට යෝජනා
රතුලූනු භෝගය වර්ෂාව හා ජල සම්පාදනයෙන් සිදු කෙරෙන භෝගයකි. වර්තමානයේ ගොවීන්ට මුහුණ දීමට සිදු වී ඇති තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ වෙනස් වන දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ අභියෝගයයි. කාලගුණික විපර්යාසයන් හේතුකොටගෙන තෙතමනය හෝ වියළිභාවය අපේක්ෂිත අවස්ථාවන්ට නොලැබෙන විට වගාවන්ට විවිධ ලෙඩ රෝග වැළඳීමේ ප්‍රවණතාවය මෙම ප්‍රදේශයන් හි ඉහළ මට්ටමින් දැකිය හැකි අතර යල කන්නයේ දී මෙම ප්‍රදේශයන් හි මූලික අවශ්‍යතා සඳහා හෝ ජලය හිඟ වීම සාමාන්‍යය තත්ත්වයකි. ඒ අනුව, අධ්‍යයන ප්‍රදේශය තුළ ජල හිඟයට පිළියම් ලෙස දැනට පවතින ජලය සුරක්ෂිතව උපයෝජනය කිරීම ඉතා වැදගත් වේ. ඒ සඳහා නවීන ජල කළමනාකරණ ක්‍රමවේදයන් අතරින් වඩාත් සුදුසුම ක්‍රමවේදයක් ගොවීන් වෙත හඳුන්වා දිය යුතුය.
රතුලූනු වගාවේ දී විශේෂ කාර්යයක් සිදු කළ යුත්තේ, රතුලූනු පත්‍ර මත පවතින පින්න මත හිරුඑළිය වැටීමෙන් සිදුවන පත්‍ර පිළිස්සීම වැළැක්වීමයි. මේ සඳහා ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම වඩාත් සුදුසු අතර ඒ සඳහා දරන පිරිවැයෙහි ප්‍රතිඵලදායකත්වය විමසීමකින් පසුව ගොවීන්ව මේ සඳහා යොමු කිරීමට රජයේ මැදිහත්වීම සුදුසු වේ.
වන අලි තර්ජනය තෙළුල්ල රතුලූනු ගොවීන් පමණක් නොව බොහෝ ගොවීන් මුහුණ දෙන ගැටලුවකි. එසේම මෙම ප්‍රදේශයන් හි ස්ථාපිත කර ඇති පුද්ගලික කර්මාන්ත ශාලාවල සිදුකෙරෙන අකටයුතුකම් නිසා ද වන අලින් ගම් වැදීමේ තර්ජනය ඉහළ ගොස් ඇත. වර්තමානයේ විදුලි වැටවල් මේ සඳහා භාවිතා කළ ද ගොවීන්ගේ අදහස වූයේ එය මෙම ගැටලුවට පිළියමක් නොවන බවයි. එම වැටවල් ක්‍රියාත්මක වීම උචිත පරිදි සිදු නොවීමෙන් ගොවි බිම් පාගා දැමීම, අස්වැන්න විනාශ වීම දිනෙන් දින වර්ධනය වන කාරණයක් බව ගොවීන්ගේ අදහස විය. එසේම හම්බන්තොට, මොණරාගල වැනි වියළි කලාපීය ප්‍රදේශයන් හි වර්තමානයේ මොණර ගහනය ඉහළ යාම ද වගා හානි සිදුවීමට ප්‍රබල ලෙස බලපා ඇත. මෙය රතු ලූනු ගොවීන්ගේ ආදායම අවිනිශ්චිතභාවයට පත් කිරීමට බලපාන ගැටලුවක් වේ. මෙම ගැටලුව සඳහා විවිධ පිළියම් හඳුන්වා දීම සිදු වුව ද එය ක්‍රමවත් හා විධිමත් යාන්ත්‍රණයක් දක්වා සකස් නොවීම වර්තමානයේ පවතින තත්වය යි.
අධ්‍යයනය මඟින් පෙන්වා දී ඇති ගැටලු සහ ඒ සඳහා යෝජනා කෙරී ඇති විසඳුම් සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහ සැලසුම් සකස් කරන පාර්ශ්වයන්ගේ අවධානය යොමු වීම වැදගත්වන අතර එය නව කෘෂිකාර්මිප්‍රතිපත්තියේ අරමුණු සාධනයට ද මනා පිටුවහලක් වනු ඇත.
විශේෂ ස්තූතිය: තෙළුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ස්ථානභාර කෘෂිකර්ම උපදේශක ලක්මාල් මහතා

එම්, ඩී. සුසිලා ලූර්දු , ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය.