සුළු හා මධ්‍ය පරිමාණ මල් වගා කරුවන්ගේ වර්තමාන තත්ත්වය හා ගැටලු

වර්තමානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ දැකිය හැකි නව ප්‍රවණතාවක් වන්නේ, නවතාවයක් සහිතව නවීන තාක්ෂණය ප්‍රශස්ත මට්ටමින් උපයෝගී කරගනිමින් කළ හැකි කෘෂි ව්‍යාපාර සදහා වැඩි  නැඹුරුවක් පැවතීමයි. මල් හා විසිතුරු පත්‍ර වගාව ද එවැනි ආකර්ෂණීය කර්මාන්තයකි. විශේෂයෙන් තරුණ හා කාන්තා ශ්‍රමය ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීමටත් ඒ හරහා ඔවුන් තිරසාර ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමේ කාර්යයත් සදහා පවතින රාජ්‍ය ප්‍රතිපත්ති සඵල කරගැනීමට මෙවැනි කර්මාන්තයන් පිළිබද විධිමත් අධ්‍යයනයන් සිදුකිරීම වඩාත් කාලෝචිත වේ.

ශ්‍රී ලංකාව තුළ මල් හා විසිතුරු පත්‍ර වගා කෙරෙන අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කයන් හි මල් වගාව කෙරෙහි වඩා හිතකර වූ පාරිසරික තත්වයක් පවතින නමුත්  වර්තමානයේ සුළු හා මධ්‍ය පරිමාන මල්වගාකරුවන්ට නිෂ්පාදන හා අලෙවි ගැටලු රාශියකට මුහුණ  දීමට සිදු ව ඇති බව මෙම අධ්‍යයනය විසින් අනාවරණය කෙරෙන අතර එම ගැටලු අවම කරගනිමින් මෙම කර්මාන්තය ඵලදායක මට්ටමකට ගෙන ඒමට සුදුසු  ඉදිරි පියවර ගැනීම සදහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට මෙන් ම මෙම කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා සෘජුව ම දායක වන ආයතන සදහා මෙම අධ්‍යයන වාර්තාවේ අන්තර්ගතය, සොයාගැනීම් සහ නිර්දේශ ප්‍රබල පිටුබලයක් සපයනු ඇත.

හැදින්වීම

ගෙවීගිය දශක කිහිපය තුළ මල් කර්මාන්තය විසින් අත්පත් කර ගෙන ඇති සැලකිය යුතු මට්ටමේ වර්ධනය නිසා වර්තමානයේ එය ගෝලීය වශයෙන් ඉතා වේගයෙන් පැතිර යන කර්මාන්තයක් බවට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව තුළ ද මල් හා විසිතුරු පැළ වගාව ආදායම් උත්පාදන කාර්යයෙහි ලා ඉතා වැදගත් දේශීය කර්මාන්තයක් බවට පත්ව ඇත.

මල් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්තයන් හි පවතින ආකර්ශනීයභාවය නිසා විශේෂයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාවත්, ග්‍රාමීය මට්ටමේ සුලභව පවතින කාන්තා ශ්‍රමයත් එම කර්මාන්තය වෙත උරා ගැනීමේ

හැකියාව ඉහළ මට්ටමක පවතී. එසේම වැඩි දියුණු කළ මල් ප්‍රභේද වගා කිරීමටත් නිවර්තන හා සෞම්‍ය කලාපයට අයත් ශාක වර්ධනයටත් සුවිශේෂී වූ පාරිසරික තත්වයක් හිමි ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්වලට අයත් බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් හි මල් වගාව ප්‍රචලිත කිරීමේ ඉහළ විභවයක් ද  පවති. එසේ වුවත්, මල් වගාවට වැදගත් වන අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව මෙම දිස්ත්‍රික්කයන් හි මල් නිෂ්පාදනය ඉහළ නැංවීමට බාධා වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ මල් වගා අංශය තුළ සැඟවී ගත් ගැටලු හා සීමාවන් ඉදිරියට පැමිණ ඇති බැවින් මෙම කර්මාන්තයේ වර්ධනයට එය බාධාවක් වී ඇත. එබැවින්  මෙම දිස්ත්‍රික්කයන් හි සුළු හා  මධ්‍ය පරිමාණ මල් වගාකරුවන් මුහුණ දෙන ගැටලු හා දුෂ්කරතාවන්  පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර එම දිස්ත්‍රික්කයන් හි මල් කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමේ පුළුල් අරමුණින් 2015 වර්ෂයේ දී බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් හි සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන් මුහුණු දෙන ගැටලු හා සීමාවන් පිළිබද විධිමත් ඇගයීමක් සිදුකරන ලදි.

විශේෂිත අරමුණු වූයේ, 1) නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ගේ සමාජ- ආර්ථික තත්ත්වය විමර්ශනය කිරීම, 2)ප්‍රදේශයට අදාළව මල් වගාවේ ස්වභාවය, නිෂ්පාදනය හා අලෙවි රටාව අධ්‍යයනය කිරීම, සහ  3) වගාකරුවන් මුහුණ දෙන ගැටලු හා සීමාවන් හඳුනාගැනීම හා ප්‍රදේශය තුළ මල් කර්මාන්තය දියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමයි.

ක්‍රමවේදය

අධ්‍යයනය සදහා තොරතුරු සපයා ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික්ක සහ බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකෙහි  සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාව වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  වූ නුවරඑළිය, වලපනේ, වැලිමඩ සහ බණ්ඩාරවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත්  මල් වගාකරුවන් 140 දෙනෙකු සමීක්ෂණයට ලක් කළ අතර ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන්ගෙන් ද දත්ත හා තොරතුරු සපයා ගන්නා ලදී.

අධ්‍යයන  ප්‍රදේශ සහ නියැදියට අයත් වූ මල් වගාකරුවන් සංඛ්‍යාව

  දිස්ත්‍රික්කය  ප්‍රා.ලේ.කොට්ඨාසය  නියැදියට අයත් වූ මල් වගාකරුවන් සංඛ්‍යාව
නුවරඑළිය1.නුවරඑළිය 2.වලපනේ47* 23
බදුල්ල1.වැලිමඩ 2.බණ්ඩාරවෙල35 35
 එකතුව140

*නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් සුළු මා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන් වැඩි ප්‍රමාණයක් අයත් වූයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වූ බැවින් නියැදියට අයත් වූ සංඛ්‍යාව ද වලපනේට සාපේක්ෂව වැඩි විය.

අධ්‍යයනයේ ප්‍රධාන සොයා ගැනීම්

සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ගේ සමාජ- ආර්ථික තත්ත්වය: අධ්‍යයන ප්‍රදේශය තුළසුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ගේ සමාජ ආර්ථික ලක්ෂණ විග්‍රහ කිරීමේ දී, ඔවුහු 58%ක් කාන්තා මල් වගාකරුවන් වූ අතර 79%ක්  වයස අවුරුදු 35ට වැඩි කාණ්ඩයටත් 21%ක් වයස අවුරුදු 16 – 35 අතර වු තරුණ වයස් කාණ්ඩයටත් අයත්  වූ 18%ක් අ.පො.ස. සා.පෙළ සමත් හා 21%ක් අ.පො.ස. උසස් පෙළ සමත්  වූ 79%ක්  මල් වගාව තම ප්‍රධාන ජීවනෝපාය ලෙසින් සිදු ‍කරන්නා වූ කණ්ඩායමකි. ඔවූන්ගේ මුළු මාසික ආදායම විමසීමේ දි වගාකරුවන්ගේ 63%ක් ම අයත් වූයේ,මුළු මාසික ආදායම රු.25,000 හෝ ඊට වැඩියෙන්  ලබන්නා වූ කාණ්ඩයට වේ. රු.100,000 ඉක්මවන මල් වගාකරුවන් ද  14%ක් විය.

ප්‍රදේශයට අදාළව මල් වගාවේ ස්වභාවය, නිෂ්පාදනය හා අලෙවි රටාව: සමස්ත නියැදියෙන් 46%ක් කැපූ මල් වගාවට ද 36%ක් බඳුන්ගත මල් වගාව සදහා ද  දෙවර්ගයම සිදු කිරීමට 16%ක් ද යොමු වී සිටියහ. සමස්ත නියැදියෙන් 80%ක් ම මල් වගාවට භාවිතා කරන භූමි ප්‍රමාණය වූයේ අක්කර 1/4 හෝ ඊට අඩු  ප්‍රමාණයක් වූ අතර සමස්ත නියැදියේ 54%ක්  තම වගා කටයුතු සඳහා පවුලේ ශ්‍රමය පමණක් භාවිතා කරන අතර 46% ක් පවුලේ ශ්‍රමයට අමතරව කුලී ශ්‍රමයද භාවිතා කර ඇත.  අධ්‍යයන නියැදියෙන් 75%ක් ම ප්‍රදේශයේ පවතින කුමන හෝ මල් සංගමයක සාමාජිකත්වය ලබාගෙන ඇත. එයින් සුවහස් මල් සංගම්වල සාමාජිකත්වය ලබා ඇති පිරිස සාපේක්ෂව ඉහළ ය(63%). එතෙකුදු වුවත් සමස්ත නියැදිය තුළ 80%ක් ම ඔවුන් විසින් සකස් කරන ලද තවාන්වලින් අවශ්‍ය මල් පැළ සපයා ගෙන ඇත. දිස්ත්‍රික්ක දෙකෙහි ම ප්‍රධාන අලෙවි ජාලය වූයේ, නිෂ්පාදකයාඑකතු කරන්නා පාරිබෝගිකයා යන ජාලයයි. කැපූ මල් හා බඳුන්ගත මල් පැළ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින මාස මෙන් ම ඉහළ ආදායම් ලබන මාස වන්නේ මැයි, ජුනි, දෙසැම්බර් හා ජනවාරි යන මාස පමණි.

වගාකරුවන් මුහුණ දෙන ගැටලු:

වගාවට අවශ්‍ය නව බීජ හා රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම ප්‍රධාන ගැටලුවක් වී ඇත. වගාව පිළිබඳ දැනුම හා පුහුණුව ලබාගැනීමේදීත් නිෂ්පාදන හා අලෙවි තොරතුරු ලබා ගැනීමේදීත් අවිධිමත් මාර්ගයන් භාවිතා කර ඇති අතර නවතාවයෙන් යුතු දැනුම හා තාක්ෂණය වගාකරුවන් වෙත ලැබීමේ ප්‍රමාදය ද ගැටලුවක් වී ඇත.ඒ අනුව  සමස්ත වගාකරුවන්ගෙන් 90%ක් ම සඳහන් කළ පරිදි මල් වගාව සදහා ව්‍යාප්ති සේවය ලබාදීම සම්බන්ධ ප්‍රබල ගැටලුවක් පවතී. වගාව සඳහා ඉහළ වියදමක් දැරීමට සිදුවීමත්(59%), මාර්ග අබලන්වීම හා දුෂ්කර වීමෙන් ගැනුම්කරුවන්ගේ පැමිණීම අඩුවීම හා ප්‍රවාහනයට බාධා වීමත්(57%), ස්ථිර වෙළඳපොළක් හා මිලක් නොමැතිවීමත්(54%) යන තත්වයන් වගාකරුවන්ගේ ආදායමට අහිතකර ලෙස බලපා ඇත.  එසේම දේශගුණික,කාලගුණික ව්‍යසනවලට මුහුණදීමට සිදුවීමත්(47%), මහා පරිමාණ මල් වගාකරුවන්ගේ බලපෑමත්(46%), ඉඩම් සඳහා ස්ථිර ඔප්පු නොමැති වීම හා වගා භූමි හිඟයත් (44%), පුහුණු  ශ්‍රමය සපයා ගැනීමේ අපහසුවත්(39%) මල් වගාකරුවන් පෙළන ප්‍රධාන ගැටලු අතර විය.

නිගමන හා නිර්දේශ

නිගමන: ග්‍රාමීය මට්ටමේ පවතින සුලභ කාන්තා ශ්‍රමය උපයෝජනයටත් තරුණ ප්‍රජාවගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීමටත් මෙම අංශය සතුව පවතින හැකියාව ඉතා ඉහළ ය. එසේ වුවත්, අධ්‍යයන ප්‍රදේශයට අදාළව සුළු හා මධ්‍ය පරිමාණ  මල් වගා අංශය තුළ සැගවී ගත්තා වූ  විවිධ අලෙවි හා නිෂ්පාදන  ගැටලු එම කර්මාන්තයේ ප්‍රවර්ධනයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව මෙම අධ්‍යයනයේ දී තහවුරු වු ප්‍රධානත ම කරුණ විය. ඒ අනුව, අධ්‍යයන ප්‍රදේශය තුළ තරුණ හා කාන්තා  ශ්‍රමය ඵලදායී ලෙස උපයෝජනය කරමින් සෘජු හා වක්‍ර මට්ටමින් රැකියා අවස්ථා බිහි  කිරීමට දායක කරගත හැකි මට්ටමේ කර්මාන්තයක් ලෙසින් මෙය ප්‍රවර්ධනය කිරීමටත්, අපයනය වෙළෙඳපොළ කරා ප්‍රවිශ්ට විය හැකි මට්ටමේ වගාකරුවන් දිරිගන්වමින් මල් අපනයන අංශය දියුණු කිරීම සඳහා අධ්‍යයන ප්‍රදේශය තුළ සුළු හා මධ්‍ය පරිමාණ මල් වගා අංශයේ පවතින ගැටලු හා දුෂ්කරතා අවම කිරීමේ කාර්යයේ දී මල් වගා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළව දැනටමත් විශාළ කාර්යභාරයක් සිදුකරන ප්‍රධාන ආයතන දෙක වූ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට සහ අපනයන සංවර්ධන මණ්ඩලයට තව දුරටත් ඔවුන්ගේ කටයුතු ඵලදායක හා කාර්යක්ෂම අයුරින් සැලසුම් කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් මෙම අධ්‍යයනය විසින් නිර්දේශ කරනු ලබන යෝජනා පහත ඉදිරිපත් වේ.

නිර්දේශ:

දේශීය මෙන් ම විදේශීය වෙළඳපොළට ගැළපෙන පරිදි ඉහළ ගුණාත්මයෙන් යුතු ඉහළ නිෂ්පාදනයන් සඳහා අවශ‍්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය අධ්‍යයන ප්‍රදේශය තුළ සුලභ කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම. ඒ සදහා  දැනට මල් වර්ග කිහිපයකට සීමා වී ඇති පටක රෝපණ තාක්ෂණය වගාකරුවන්ගේ අවශ්‍යතාවය අනුව වැඩි මල් වර්ග ප්‍රමාණයකට යොදා ගැනීමට සුවහස් මල් සංගම් හරහා ප්‍රදේශයේ වගාකරුවන්ගේ මල් පැළ අවශ්‍යතාවය වාර්ෂිකව ඇස්තමේන්තු කර නිපදවන මල් වර්ගවල පැළ ප්‍රමාණය ඉහළ දැමීම. එම අවශ්‍යතාව සැපිරීමට පටක රෝපණ තාක්ෂණය භාවිතයට වෙන් කරන මූල්‍යමය ප්‍රතිපාදන ඉහළ දැමීම මගින් පටක රෝපණ මධ්‍යස්ථානවලට අවශ්‍ය තාක්ෂණික පහසුකම් හා මානව සම්පත් ප්‍රමාණය වැඩි කිරීම සිදු කළ යුතුය. එසේම අධ්‍යයන ප්‍රදේශය තුළ ස්ථාපිතව ඇති පර්යේෂණ මධ්‍යස්ථානවල ද  මල් වගාව සම්බන්ධයෙන් වන පර්යේෂණ වැඩි කිරීමට අවශ්‍ය  රාජ්‍ය අනුග්‍රහය ලබාදීම.

මල් වගාව ආශ්‍රිත රෝග හා පළිබෝධ පාලනය සඳහා නව තාක්ෂණික දැනුම ලබා දීමේ පුහුණු වැඩසටහන්, බද්ධ කිරීම වැනි වගා කටයුතු  සම්බන්ධ තාක්ෂණය ලබාදීමේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා විදේශීය වෙළඳපොළට සුදුසු පරිදි මල් නිපදවීමට  අපේක්ෂා කරන වගාකරුවන් හඳුනාගනිමින් දේශීය මෙන් ම විදේශීය පුහුණුවීම් සඳහා යොමු කිරීම. මේ සදහා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය කාර්යක්ෂම කිරීම (ව්‍යාප්ති සේවක සංඛ්‍යාව හා පහසුකම් සැපයීම හරහා), ප්‍රදේශය තුළ සුවහස් මල් සංගම්වල ක්‍රියාකාරීත්වය විධිමත් කිරීම හා මල් වගාකරුවන්ට පහසුකම් සැපයීම විධිමත්ව සිදු කිරීම සඳහා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීවරයෙකුගේ අධීක්ෂණයට යටත් කිරීම සහ ප්‍රදේශය තුළ මල් එකතු කරන්නන් හරහා සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන් වෙත මහා පරිමාණ මල් වගාකරුවන්ගෙන් ලැබිය යුතු නව දැනුම ලබාදීමට අදාළ ආයතන මැදිහත් විම.

නීෂ්පාදන වියදම අවම කිරීම මඟින් ආදායම ඉහළ නැංවීම ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම. මේ සදහා ප්‍රදේශය තුළ මල් එකතු කිරීමට  ප්‍රාදේශීය මට්ටමේ මල් එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, උග්‍ර ජල ප්‍රශ්නය සඳහා නල ළිං සහ වැසි ජල ටැංකි හඳුන්වාදීම මඟින් ජල බිල්පත් වියදම අවම කිරීම සහ පසු අස්වනු හානියෙන් මල් නිෂ්පාදකයාට ඔහුගේ ආදායමින් අහිමි වන මුදල රැක ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ලෙස මල් කොළඹට ප්‍රවාහනය සඳහා මල් ප්‍රවාහනය සඳාහා ම වෙන් වූ  දුම්රිය මැදිරියක් වෙන් කිරීමට රජය මැදිහත් වීම.

සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ට තම නිෂ්පාදන සදහා ස්ථාවර  මිලක් ලබා දීමටත් ඒ මගින් අපනයන විභවය ඉහළ නැංවීමත්  සදහා අදාළ ආයතන මැදිහත් වී සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්  හා මහා පරිමාණ වගාකරුවන් අතර මිල ගණන් පිළිබද අවබෝධතා ගිවිසුමක් (Memorandum of Understanding-MOUs) ඇති කිරීම.    

 නව අලෙවි දිශානතීන් හඳුන්වාදීම. මේ සඳහා උනන්දුව, කුසලතාවය හා හැකියාව පවතින මල් නිෂ්පාදකයින් තෝරා ගනිමින් (විශේෂයෙන් තරුණ මල් වගාකරුවන්) ඉලෙක්ට්‍රොනික් අලෙවිය (e-marketing) හඳුන්වාදීමේ වැඩසටහන්  ආරම්භ කිරීම, පෞද්ගලික රෝහල්වල මල් අලෙවි කුටි ව්‍යාප්ත කිරීම හා සමාජීය වශයෙන් විශේෂිත අවස්ථා සැමරීම සඳහා මල් භාවිතය ඉහළ නැංවීමට ප්‍රජා ආකල්පමය වෙනස්කම් සිදු කිරීමට වැඩසටහන් සැකසීම

සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ගේ වගා වපසරිය, නිෂ්පාදන ප්‍රමාණය ලේඛන ගත කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කිරීම හා යම් කිසි කාලසීමාවකට යටත්ව යාවත්කාලීන කෙරෙන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ගේ දත්ත පද්ධතියක් වගකිව යුතු ආයතනවල පවත්වා ගැනීම සිදු කළ යුතු බවයි.

සුසිලා ලූර්දු – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය                               

Leave a Reply

Your email address will not be published. Required fields are marked *